10. පුරේජාත ප්රත්යය
පූර්වයෙහි හටගෙන පසුව හටගන්නා නාම ධර්මයන්ට උපකාර වන ධර්මය, පුරේජාත ප්රත්යය ධර්මය වේ. කලින් හටගන්නා ගසෙහි පසුව මල්ඵල ආදිය හටගැනීමේදී ඒ මල්ඵල හටගැනීමට කලින් උපන් ගස් උපකාර වන්නාක් මෙනි පුරේජාත ප්රත්යය වන්නේ වර්තමාන නිෂ්ඵන්න රූප ධර්මයෝයි. එහි ප්රත්යොත්පන්න වශයෙන් ලැබෙන්නේ අරූප ධර්මයෝ පමණය.
පුරේජාත ප්රත්යය, ආරම්මණ පුරේජාතය, වත්ථුපුරේ- ජාතය යයි දෙවැදෑරුම් වේ.
ආරම්මණ පුරේජාත ප්රත්යය - රූප ධර්මයක් අරමුණු කරමින් චිත්ත වීථියක් උපදනා කල්හි ඒ නාම ධර්මයන්ට ආරම්මණ පුරේජාත ප්රත්යය ශක්තියෙන් උපකාරවන්නේ වර්තමාන රූප ධර්මයෝයි. චක්ඛුවාරික චිත්ත වීථියක් උපදින විට එහි චක්ඛුවිඤ්ඤාණ චිත්තය විසින් අරමුණු කරනු ලබන්නේ පළමු අතීත භවාඞ්ගය හා ඒකක්ෂණිකව උපන් රූප ධර්මයකි. ඒ රූප ධර්මය චක්ඛුවිඤ්ඤාණ චිත්තය ඉපදීමට පෙර ඉපිද, ස්ථිතියට පැමිණ සිටිය යුතු. එසේ අරමුණු කිරීමට පෙර ඉපිද පසුව උපදනා චක්ෂුර්විඥානයට උපකාර වන්නේ ඒ රූපයාගේ පුරේජාත ශක්තිය ඇති හෙයිනි. මෙසේ ඒ වර්තමාන රූප ධර්මයාගේ ආරම්මණ පුරේජාත ප්රත්යය ශක්තිය දතයුතු. මෙපරිද්දෙන්ම වර්තමාන අටළොස් නිෂ්ඵන්න රූපධර්මයෝ ආරම්මණ පුරේජාත ප්රත්යය ශක්තියෙන් නාම ධර්මයන්ට උපකාර වෙත්.
වත්ථුපුරේජාත ප්රත්යය, චක්ඛු, සොත, ඝාන, ජිව්හා, කාය, හදය යන ෂට් වස්තූහුම වත්ථුපුරේජාත ප්රත්යය වන ධර්මයෝයි. පූර්වයෙහි උපදනා චක්ෂුර් වස්තුව ආදිය පසුව උපදනා චක්ඛුවිඤ්ඤාණාදීන්ගේ ඉපදීමට වත්ථු පුරේජාත ශක්තියෙන් ප්රත්යය වේ. මේ ෂට් වස්තූන් අතුරෙන් වත්ථු පුරේජාත ප්රත්යය වන චක්ඛු, සොත, ඝාන, ජිව්හා, කාය යන වස්තූහු, මධ්යමායුෂ්ක ප්රසාද වස්තූහුය. එනම් ප්රථම අතීත භවාඞ්ගය හා ඒකක්ෂණිකව උපන් ප්රසාද රූපයෝය. ඉතිරි නාමස්කන්ධයන්ට වත්ථු පුරේජාත ශක්තියෙන් උපකාර වන හදය වත්ථු රූපය නම් ප්රතිසන්ධි ආදී පූර්ව පූර්ව චිත්තයන් හා උපදනා හදය වස්තුහුය. මරණාසන්න කාලයේදී අන්තිම චිත්ත වීථියේ උපදනා මනොද්වාරික චිත්තයන්ට පුරේජාත ප්රත්යය ශක්තියෙන් උපකාර වන්නේ චුති චිත්තයෙන් සතළොස් වන චිත්තය හා උපදනා හදය වස්තු රූපය ය. ඉන්පසු කර්මජ රූපයෝ නූපදින හෙයිනි.
ඇතැම් විටෙක චුති චිත්තයෙන් සතළොස්වන චිත්තය හා උපදනා මේ අන්තිම කර්මසමුට්ඨාන හදයවත්ථු රූපය අරමුණු කරමින් මනොද්වාරාවජ්ජන, කාමජවන, තදාරම්මණ ආදි චිත්තයන් උපදනා කල්හි ඒ මරණාසන්න නාමස්කන්ධයන්ට එකී හදය වත්ථු රූපය වස්ත්වාරම්මණ පුරේජාත ප්රත්යය ශක්තියෙන් ද උපකාර වේ.