අභිධර්මාර්ථ ප්‍රදීපිකා

ත්‍රිරාශිය

ආරම්මණ පුරේජාත ප්‍රත්‍යය

ආරම්මණ පුරේජාත ප්‍රත්‍යය වන ධර්‍මයෝ නම්

වර්‍තමාන නිෂ්ඵන්න රූපයෝ අටළොස් දෙනය.

ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන නාම ධර්‍මයෝ නම්-

පඤ්චවොකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ කාමාවචර සිත් සිව් පනසය (54),

අභිඥා සිත් දෙකය,

අප්‍රමාණ්‍ය දෙක හැර ඉතිරි චෛතසික පනසය,

ප්‍රත්‍යනික ධර්‍මයෝ නම්-

ආරම්මණ පුරේජාත ප්‍රත්‍යය නොලබන අවස්ථාවෙහි වූ, ද්විපඤ්ච විඥානයන් හා මනොධාතු ත්‍රිකය යන තෙළෙස් (13) චිත්තයන් හැර ඉතිරි සිත් සසැත්තෑවය (76)

චෛතසික දෙපනසය (52),

චිත්තජ රූපයෝය,

ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයෝය,

බාහිර රූපයෝය,

ආහාරජ රූපයෝය, සෘතුජ රූපයෝය,

අසංඥසත්ත්ව කර්මජ රූපයෝය,

ප්‍රවෘත්ති කර්මජ රූපයෝය යන මොවුහුය.

වත්ථුපුරේජාත ප්‍රත්‍යය.

වත්ථුපුරේජාත ප්‍රත්‍යය ධර්මයෝ නම්:-

ප්‍රවෘත්ති කාලයෙහි- මධ්‍යමායුෂ්ක චක්ඛු, සොත, ඝාන, ජිව්හා, කාය වස්තුය.

ප්‍රතිසන්‍ධි ආදී පූර්ව පූර්ව චිත්තයන් හා උපදනා හදය වස්තුවය, නිරොධ සමාපත්තියෙන් නැගී සිටින අවස්ථාවෙහි පූර්වයෙහි එක් චිත්තක්‍ෂණයක කාලයේ උපදනා හදයවත්‍ථු රූපය, මරණාසන්න කාලයෙහි චුති චිත්තයෙන් සතළොස් වන චිත්තය හා උපදනා හදයවස්තුවය, යන ධර්මයෝයි.

ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන ධර්මයෝ නම්-

ප්‍රවෘත්ති කාලයෙහි පඤ්චවොකාර භූමියෙහි උපදනාවූ විඥාන ධාතු සතය, චෛතසික දෙපනසය (52).

ප්‍රත්‍යනීක ධර්මයෝ නම්-

චතුවොකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහිවූ ලොභමූල සිත් අටය,

මොහමූල සිත් දෙකය,

මනොද්වාරාවජ්ජනය,

මහා කුසල් සිත් අටය,

මහා ක්‍රියා සිත් අටය,

අරූපාවචර සිත් දොළොසය,

සොවාන් මාර්ග චිත්තය හැර ලොකොත්තර සිත් සතය,

ද්වේෂ, ඉස්සා, මච්ඡරිය, කුක්කුච්ච, අප්‍රමාණ්‍යය හැර

චෛතසික සසාළිසය (46) යන ප්‍රවෘත්ති ප්‍රතිසන්ධි නාමස්කන්ධයෝය, පඤ්චවොකාර ප්‍රතිසන්ධි පසළොස හා චෛතසික පන්තිසය (35), චිත්තජරූප, ප්‍රතිසන්ධි කර්‍මජරූප, බාහිරරූප, අහාරජ රූප, ඍතුජ රූප, අසංඥසත්ත්‍ව කර්‍මජ රූප, ප්‍රවෘත්ති කර්‍මජ රූප යන මේ ධර්‍මයෝය.

පුරේජාත ප්‍රත්‍යය පිළිබඳ විසර්‍ජනාචාර හෙවත් වීථි තුනෙකි.

  1. වීථිය.

අබ්‍යාකතො ධම්මො අබ්‍යාකතස්ස ධම්මස්ස පුරෙජාත පච්චයෙන පච්චයො, ආරම්මණ පුරේජාතං, වත්‍ථු පුරේජාතං.

(අව්‍යාකෘත ධර්‍මය අව්‍යාකෘත ධර්‍මයට ආරම්මණ පුරෙ ජාත වත්‍ථු පුරෙජාත යන පුරේජාත ප්‍රත්‍යය ශක්ති දෙකෙන් ප්‍රත්‍යය වේ)

මෙහි අව්‍යාකෘත ධර්‍මයට පුරේජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වන අව්‍යාකෘත ධර්‍මයෝ නම්—

චක්‍ෂුර්විඥානද්වයට ප්‍රත්‍යය වන වර්‍තමාන රූපාරම්මණය,

ශ්‍රොත විඥානද්වයට ප්‍රත්‍යය වන වර්‍තමාන ශබ්දාරම්මණය,

ඝ්‍රාන විඥානද්වයට ප්‍රත්‍යය වන වර්‍තමාන ගන්‍ධාරම්මණය,

ජිව්හා විඥානද්වයට ප්‍රත්‍යය වන වර්‍තමාන රසාරම්මණය,

කාය විඥානද්වයට ප්‍රත්‍යය වන වර්‍තමාන පොට්ඨබ්බාරම්මණය,

මනොධාතු ත්‍රයට ප්‍රත්‍යය වන වර්‍තමාන පඤ්චාරම්මණය,

මනොද්වාරාවජ්ජනය, කාමක්‍රියා ජවන නවය, තදාරම්මණ එකොළොසය යන මේ ධර්‍මයන්ට ප්‍රත්‍යය වන වර්‍තමාන නිෂ්ඵන්න රූප අටළොසය, දිබ්බචක්ඛු ක්‍රියා අභිඥාවට ප්‍රත්‍යය වන දූර, ප්‍රතිච්ඡන්න, ස්නිග්ධ සූක්‍ෂම වර්තමාන රූපාරම්මණය,

දිබ්බ සොත ක්‍රියා අභිඥාවට ප්‍රත්‍යය වන දූර ප්‍රතිච්ඡන්නාදී වූ වර්තමාන ශබ්දාරම්මණය යන ධර්මයෝ යි.

ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන අව්‍යාකෘත ධර්මයෝ නම්-

කාම විපාක තෙවිස්සය,

කාමක්‍රියා එකොළොසය,

දිබ්බචක්ඛු, දිබ්බසොත ක්‍රියා අභිඥා දෙකය,

විරති ත්‍රය හා අප්‍රමාණ්‍යද්වය හැර චෛතසික තෙතිසය, යන ප්‍රත්‍යොත්පන්න ධර්මයෝ යි.

මෙහිදී එක්වර සුදුසු පරිදි ලැබෙන ආරම්මණ, නිස්සය, පුරෙජාත, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍ය ශක්ති සය අතුරෙන් පුරේජාත ශක්තිය ලැබේ.

මෙහි අනුවාද වශයෙන්:

ආරම්මණ පුරෙජාතං

  1. අරහා චක්ඛුං අනිච්චතො, දුක්ඛතො, අනත්ත- තො, විපස්සති. (රහතන් වහන්සේ ඥානසම්ප්‍රයුක්ත මහා ක්‍රියා කාමාවචර චිත්තයෙන්, ඒ චිත්තයට පූර්වයෙහි හටගත් කර්මජවූ වර්තමාන චක්‍ෂුප්‍රසාද රූපය අරමුණු කරමින් අනිත්‍යය, දුක්ඛය, අනාත්මය යයි විදර්ශනා කරන කල්හි, ඒ කාමාවචර විදර්ශනා ක්‍රියා චිත්තයන්ට චක්‍ෂුප්‍රසාද රූපය ආරම්මණ පුරේජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
  2. සොතං, ඝාණං, ජිව්හං, කායං, රූපෙ, සද්දෙ, ගන්‍ධෙ, රසෙ, පොට්ඨබ්බෙ, වත්‍ථුං අනිච්චතො, දුක්ඛතො, අනත්තතො, විපස්සති.

(රහතන් වහන්සේ කාමාවචර ඥානසම්ප්‍රයුක්ත මහා ක්‍රියා චිත්තයෙන් එයට පූර්‍වයෙහි හටගත් කර්‍මජවූ වර්‍තමාන සොතප්‍රසාද රූපය, ඝානප්‍රසාද රූපය, ජිව්හා ප්‍රසාද රූපය, කායප්‍රසාද රූපය යන රූපයෝද, චතුසමුට්ඨානික වූ වර්‍තමාන රූප, ශබ්ද, ගන්‍ධ, රස, පොට්ඨබ්බ යන රූපයෝද, කම්මසමුට්ඨාන හදයවස්තු රූපයද අරමුණු කරමින් අනිත්‍යය, දුක්ඛය, අනාත්මය යයි විදර්‍ශනා කරන කල්හි ඒ කාමාවචර විදර්‍ශනා ක්‍රියා චිත්තයන්ට ශ්‍රෝතප්‍රසාදාදී වූ ඒ රූපයෝ ආරම්මණ පුරේජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)

3. දිබ්බෙන චක්ඛුනා රූපං පස්සති.

(රහතන් වහන්සේ දිබ්බචක්ඛු ක්‍රියා අභිඥා චිත්තයෙන් දූර, ප්‍රතිච්ඡන්න, ස්නිග්ධ, සුක්ෂ්ම රූපාරම්මණය දක්නා කල්හි, පුරේජාත වූ ඒ රූපාරම්මණය, දිබ්බචක්ඛු ක්‍රියා අභිඥා චිත්තයට ආරම්මණ පුරේජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)

4. දිබ්බාය සොත ධාතුයා සද්දං සුණාති.

(රහතන් වහන්සේ දිබ්බසොත ක්‍රියා අභිඥා චිත්තයෙන් දූර, ප්‍රතිච්ඡන්න, ස්නිග්ධ, සුක්ෂ්ම ශබ්දාරම්මණය දක්නා කල්හි පුරේජාත වූ ඒ ශබ්දාරම්මණය, දිබ්බසොත ක්‍රියා අභිඥා චිත්තයට ආරම්මණ පුරේජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)

5. රූපායතනං චක්ඛු විඤ්ඤාණස්ස පුරේජාත පච්චයෙන පච්චයො.

(පුරේජාත වූ වර්‍තමාන රූපාරම්මණය අරමුණු කරමින් චක්‍ෂුර්විඥානය උපදනා කල්හි ඒ රූපායතනය චක්‍ෂුර්විඥානයට ආරම්මණ පුරේජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)

6. සද්දායතනං, සොතවිඤ්ඤාණස්ස පුරෙජාත පච්චයෙන පච්චයො.

පුරේජාතවූ වර්‍තමාන ශබ්දාරම්මණය අරමුණු කරමින් ශ්‍රෝත විඤ්ඤාණය උපදනා කල්හි ඒ ශබ්දායතනය ශ්‍රෝත විඥානයට ආරම්මණ පුරේජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.

7. ගන්‍ධායතනං ඝාන විඤ්ඤාණස්ස පුරෙජාත පච්චයෙන පච්චයො.

(පුරේජාතවූ වර්‍තමාන ගන්‍ධාරම්මණය අරමුණු කරමින් ඝාන විඤ්ඤාණය උපදනා කල්හි ඒ ගන්‍ධායතනය ඝාන විඥානයට ආරම්මණ පුරේජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)

8. රසායතනං ජිව්හා විඤ්ඤාණස්ස පුරෙජාත පච්චයෙන පච්චයො.

(පුරේජාතවූ වර්‍තමාන රසාරම්මණය අරමුණු කරමින් ජිව්හා විඤ්ඤාණය උපදනා කල්හි ඒ රසායතනය ජිව්හා විඥානයට ආරම්මණ පුරේජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)

9. පොට්ඨබ්බායතනං කායවිඤ්ඤාණස්ස පුරෙජාත පච්චයෙන පච්චයො.

(පුරේජාතවූ වර්‍තමාන පඨවි, තෙජො, වායො සඞ්ඛ්‍යාතවූ පොට්ඨබ්බාරම්මණය අරමුණු කරමින් කාය විඥානය උපදනා කල්හි ඒ පොට්ඨබ්බායතනය කායවිඥානයට ආරම්මණ පුරේජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)

මෙසේ රහතන්වහන්සේගේ විදර්‍ශනා ක්‍රියා චිත්තයෝද, ඒ විදර්‍ශනාවට අරමුණුවන පුරේජාත චක්ඛුප්‍රසාදාදී රූපයෝද, ක්‍රියා අභිඥා චිත්තයෝද, එයට අරමුණු වන රූප ධර්‍මයෝද, චක්ඛුවිඤ්ඤාණාදී පඤ්ච විඤ්ඤාණයෝද එයට අරමුණු වන රූපායතනාදී රූපධර්‍මයෝද අව්‍යාකෘත ධර්‍මයෝයි. මෙය “අව්‍යාකෘත ධර්‍මයට ආරම්මණ පුරේජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවීම” යයි කියනු ලැබේ.

වත්‍ථු පුරේජාතං.
  1. චක්ඛායතනං චක්ඛුවිඤ්ඤාණස්ස පුරේජාත පච්චයෙන පච්චයො. (පුරේජාතවූ චක්‍ෂුර් වස්තුව හෙවත් චක්ඛායතනය, චක්‍ෂුර්විඥානයාගේ ඉපැද්මට වත්‍ථුපුරේජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ)
  2. සෝතායතනං සෝතවිඤ්ඤාණස්ස පුරේජාත පච්චයෙන පච්චයො. (පුරේජාතවූ ශ්‍රෝත වස්තුව හෙවත් සෝතායතනය, ශ්‍රෝත විඥානයාගේ ඉපැද්මට වත්‍ථුපුරේජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ)
  3. ඝාණායතනං ඝාණ විඤ්ඤාණස්ස පුරේජාත පච්චයෙන පච්චයො. (පුරේජාතවූ ඝාන වස්තුව හෙවත් ඝානායතනය, ඝාන විඥානයාගේ ඉපැද්මට වත්‍ථු පුරේජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ)
  4. ජීව්හායතනං ජීව්හා විඤ්ඤාණස්ස පුරේජාත පච්චයෙන පච්චයො. (පුරේජාතවූ ජීව්හා වස්තුව හෙවත් ජීව්හායතනය, ජීව්හා විඥානයාගේ ඉපැද්මට වත්‍ථු පුරේජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
  5. කායායතනං කායවිඤ්ඤාණස්ස පුරේජාත පච්චයෙන පච්චයො. (පුරේජාතවූ කායවස්තුව හෙවත් කායායතනය, කාය විඥානයාගේ ඉපැද්මට වත්‍ථු පුරේජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
  6. වත්‍ථු විපාකාබ්‍යාකතානං කිරියාබ්‍යාකතානං ඛන්‍ධානං පුරේජාත පච්චයෙන පච්චයො

(පූර්‍ව පූර්‍ව චිත්තයන් හා උපදනා හෘදයවස්තු රූපය, පශ්චිමවූ පඤ්චවොකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ, අරූප විපාක සතරය, ද්විපඤ්ච විඥානය යන තුදුස් විපාක නාමස්කන්‍ධයන් හැර ඉතිරි දෙවිසි විපාක නාමස්කන්‍ධයන්ට හා විසි ක්‍රියා නාමස්කන්‍ධයන්ට පුරේජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)

අරූප විපාක චිත්තයෝ අවස්තුකව හටගන්නාහ. ද්විපඤ්ච විඥානයෝ චක්‍ෂුප්‍රසාදාදී වස්තුන් නිශ්‍රය කොටගෙන උපදිති.

මෙසේ චක්ඛායතනාදීවූ වස්තූහු චක්ඛු විඥානාදීවූ අව්‍යාකෘත නාමස්කන්‍ධයන්ට වත්‍ථුපුරේජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවීම “අව්‍යාකෘත ධර්‍මයට පුරේජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවීම” යයි කියනු ලැබේ.