2 විධිය
අබ්යාකතො ධම්මො කුසලස්ස ධම්මස්ස පුරෙජාත පච්චයෙන පච්චයො-ආරම්මණ පුරෙජාතං, වත්ථුපුරෙජාතං
(අව්‍යාකෘත ධර්ම කුසල ධර්මයට ආරම්මණ පුරේජාත වත්ථු පුරේජාත යන පුරේජාත ප්‍රත්‍යය ශක්ති දෙකෙන් උපකාර වේ.)
ආරම්මණ පුරේජාත ප්‍රත්‍යය-
මෙහි කුසල ධර්මයට ආරම්මණ පුරේජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවන ප්‍රත්‍යය ධර්මයෝ නම්:
මහා කුසල් අටට ප්‍රත්‍යය වන වර්තමාන නිෂ්ඵන්න රූප අටළොසය, දිබ්බචක්ඛු කුසලාභිඥාවට ප්‍රත්‍යය වන දූර ප්රතිච්ඡන්නාදීවූ වර්තමාන රූපාරම්මණය,
දිබ්බසොත කුසලාභිඤ්ඤාවට ප්‍රත්‍යය වන දූර ප්රතිච්ඡන්නාදිවූ වර්තමාන ශබ්දාරම්මණය යන ධර්මයෝ යි.
ප්රත්යොත්පන්න වශයෙන් ලැබෙන කුසල ධර්මයෝ නම්- මහා කුසල් සිත් අටය,
දිබ්බචක්ඛු, දිබ්බසොත කුසලාභිඤ්ඤාය, විරති අප්රමාණ්යයන් හැර චෛතසික තෙතිසය,
යන ප්රත්යොත්පන්න ධර්මයෝයි.
මෙහිදී එක්වර සුදුසු පරිදි ලැබෙන ආරම්මණ, නිස්සය, පුරෙජාත විප්පයුත්ත, අත්ථි, අවිගත යන ශක්ති සය අතුරෙන් පුරෙජාත ශක්තිය ලැබේ.
මෙහි අනුවාද වශයෙන්:
- සෙක්ඛාවා පුථුජ්ජනාවා චක්ඛුං අනිච්චතො දුක්ඛතො, අනත්තතො විපස්සන්ති. (ශෛක්ෂයන් වහන්සේ හෝ පෘථග්ජනයෝ හෝ වර්තමානවූ චක්ෂුප්රසාද රූපය අරමුණු කරමින් අනිත්‍යය, දුක්ඛය ය, අනාත්මය යයි මහා කුසල චිත්තයෙන් විදර්ශනා කරන කල්හි, විදර්ශනා කරන ඒ මහා කාමාවචර කුසල යන්ට පුරේජාතවූ ඒ චක්ෂුප්රසාද රූපය ආරම්මණ පුරේජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- සොතං, ඝාණං, ජිව්හං, කායං, රූපෙ, සද්දෙ, ගන්ධෙ, රසෙ, පොට්ඨබ්බෙ, වත්ථුං, අනිච්චතො, දුක්ඛතො අනත්තතො විපස්සන්ති. (ශෛක්ෂයන් වහන්සේ හෝ පෘථග්ජනයෝ හෝ වර්තමානවූ ශ්‍රොතප්‍රසාදය, ඝානප්රසාදය, ජිව්හාප්‍රසාදය, කායප්‍රසාදය චතුසමුට්ඨානික රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ඨබ්බ, කම්මසමුට්ඨාන හදයවත්ථු රූපය අරමුණු කරමින් අනිත්‍යය, දුක්ඛය ය, අනාත්මය යයි කාමාවචර කුසල් සිතින් විදර්ශනා කරන කල්හි ඒ විදර්ශනා කුසල චිත්තයන්ට ශ්රොතප්රසාදාදී වූ අව්‍යාකෘත ධර්මයෝ අරම්මණ පුරේජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
3. දිබ්බෙන චක්ඛුනා රූපං පස්සන්ති.
(ශෛක්ෂ, පෘථග්ජන පුද්ගලයෝ දිබ්බචක්ඛු කුසලාභිඤ්ඤා චිත්තයෙන් දූර ප්රතිච්ඡන්නාදීවූ වර්තමාන රූපාරම්මණය දක්නා කල්හි, ඒ කුසලාභිඤ්ඤා චිත්තයන්ට වර්තමාන රූපාරම්මණය ආරම්මණ පුරේජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
4. දිබ්බාය සොත ධාතුයා සද්දං සුණන්ති.
(ශෛක්ෂ, පෘථග්ජන පුද්ගලයෝ දිබ්බසොත කුසලාභිඤ්ඤා චිත්තයෙන් දූර ප්රතිච්ඡන්නාදීවූ වර්තමාන ශබ්දරම්මණය අසන කල්හි ඒ කුසලාභිඤ්ඤා චිත්තයන්ට වර්තමාන ශබ්දාරම්මණය පුරේජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
මෙසේ චක්ඛුප්රසාදාදීවූ අව්‍යාකෘත ධර්මයෝ කාමාවචර මහා කුසලාභිඤ්ඤා චිත්තයන්ට ආරම්මණ පුරේජාත ශක්තියෙන් ප්‍රත්‍යය වීම “අව්‍යාකෘත ධර්මය කුසල ධර්මයට පුරේජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වීම” යයි කියනු ලැබේ.
වත්ථු පුරේජාත.
වත්ථු කුසලානං ඛන්ධානං පුරේජාත පච්චයෙන පච්චයො.
(පුරේජාතවූ හදයවත්ථු රූපය, පඤ්චවොකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ, කුසල නාමස්කන්ධයන්ගේ ඉපදීමට වත්ථු පුරේජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ)
මෙසේ අව්‍යාකෘත ධර්මය කුසල ධර්මයට පුරේජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.
3. වීථිය
අබ්යාකතො ධම්මො අකුසලස්ස ධම්මස්ස පුරෙජාත පච්චයෙන පච්චයො - ආරම්මණ පුරෙජාතං, වත්ථු පුරෙජාතං.
(අව්‍යාකෘත ධර්මය අකුසල ධර්මයට ආරම්මණ පුරේජාත, වත්ථු පුරේජාත යන පුරේජාත ප්‍රත්‍යය ශක්ති දෙකෙන් උපකාර වේ.)
ආරම්මණ පුරේජාත.
මෙහි අකුසල ධර්මයට ආරම්මණ පුරේජාත ශක්තියෙන් උපකාර වන අව්‍යාකෘත ප්‍රත්‍යය ධර්මයෝ නම්:
වර්තමාන නිෂ්පන්න රූප අටළොසය.
ප්රත්යොත්පන්න වශයෙන් ලැබෙන අකුසල ධර්මයෝ නම්:
අකුසල් සිත් දොළොසය, චෛතසික සත්විස්සය යන ධර්මයෝයි.
මෙහි එක්වර සුදුසු පරිදි ලැබෙන ආරම්මණාදීවූ ප්‍රත්‍යය ශක්ති අටෙන් ආරම්මණ පුරේජාත ශක්තිය ලැබේ.
මෙහි අනුවාද වශයෙන්:
- චක්ඛුං අස්සාදෙති, අභිනන්දති, තං ආරබ්භ රාගො උප්පජ්ජති, දිට්ඨි උප්පජ්ජති, විචිකිච්ඡා උප්පජ්ජති, උද්ධච්චං උප්පජ්ජති, දොමනස්සං උප්පජ්ජති.
(චක්ෂුප්රසාදය අරමුණුකොට ලොභමූල සොමනස්ස සහගත සිතින් ආස්වාදනය කරන කල්හිද, සප්‍රීතික තෘෂ්ණා ප්‍රධාන ලොභමූල සොමනස්ස සහගත චිත්තයෙන් සතුටු වන කල්හිද, ඒ චක්ෂුප්රසාදය අරමුණු කරමින් රාගය උපදනා කල්හි රාගය ප්‍රධාන ලොභමූල චිත්තයටද, දිට්ඨිය උපදනා කල්හි දිට්ඨිගත සම්ප්‍රයුක්ත ලොභමූල චිත්තයටද, විචිකිච්ඡා උපදනා කල්හි විචිකිච්ඡා සම්ප්‍රයුක්ත මොහමූල චිත්තයටද, උද්ධච්චය උපදනා කල්හි උද්ධච්ච සම්ප්‍රයුක්ත මොහමූල චිත්තයටද, දොම්නස උපදනා කල්හි පටිඝසම්ප්රයුක්ත දොෂ මූල චිත්තයටද ආරම්මණ පුරේජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- සෝතං, ඝාණං, ජිව්හං, කායං, රූපෙ, සද්දෙ, ගන්ධෙ, රසෙ, පොට්ඨබ්බෙ, වත්ථුං අස්සාදෙති, අභිනන්දති, තං ආරබ්භ රාගො උප්පජ්ජති, දිට්ඨි උප්පජ්ජති, විචිකිච්ඡා උප්පජ්ජති, උද්ධච්චං උප්පජ්ජති, දොමනස්සං උප්පජ්ජති.
(සෝතප්රසාදය, ඝාණප්‍රසාදය, ජිව්හාප්‍රසාදය, කායප්‍රසාදය, රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ඨබ්බ, හදයවස්තුව අරමුණු කොටගෙන ආස්වාදනය, අභිනන්දනය කරන කල්හිද, එය අරභයා රාගය, දිට්ඨිය, විචිකිච්ඡාව, උද්ධච්චය, දොමනස්සය උපදනා කල්හි ඒ සෝතප්රසාදාදී අව්‍යාකෘත ධර්මයෝ දොළොස් අකුසල චිත්තයන්ට ආරම්මණ පුරේජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
මෙසේ දොළොස් අකුසල චිත්තයන් විසින් අරමුණු කරනු ලබන්නාවූ කම්මසමුට්ඨානවූ චක්ඛුප්රසාදය, සෝතප්රසාදය, ඝානප්රසාදය, ජිව්හාප්‍රසාදය, කායප්රසාදයද, චතුසමුට්ඨානික රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ඨබ්බ යන රූපයෝද, කම්මසමුට්ඨාන හදයවත්ථු රූපයද ඒ අකුසල චිත්තයට පූර්වයෙහි ඉපිද ස්ථිතිප්රාප්තවූ වර්තමාන අව්‍යාකෘත ධර්මයෝයි. එසේහෙයින් “අව්‍යාකෘත ධර්මය අකුසල ධර්මයට ආරම්මණ පුරේජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ” යයි කියනු ලැබේ.
වත්ථු පුරෙජාතං.
වත්ථු අකුසලානං ඛන්ධානං පුරෙජාත පච්චයෙන පච්චයො.
(හදයවත්ථු රූපය අකුසලස්කන්ධයන්ට පුරේජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
මෙහි අකුසල නාමස්කන්‍ධයන්ට වත්ථු පුරේජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වන හදයවත්ථු රූපය නම්:
පඤ්චවොකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහිවූ පශ්චිම පශ්චිම දොළොස් අකුසල චිත්තයන්ට ප්‍රත්‍යය වන වොට්ඨපන මනොද්වාරාවජ්ජනාදි පූර්ව පූර්ව චිත්තයන් හා උපදනා හදය වස්තුවය,
මරණාසන්න අකුසල ජවන් පසට ප්‍රත්‍යයවන චුති චිත්තයෙන් සතළොස්වන චිත්තය හා උපදනා හදයවස්තුවය යන ප්‍රත්‍යය ධර්මයෝ යි.
ප්රත්යොත්පන්න වශයෙන් ලැබෙන අකුසල නාමස්කන්‍ධයෝ නම් පශ්චිම පශ්චිම වූ දොළොස් අකුසල චිත්තයෝයි.
මෙහිදී සුදුසු පරිදි එක්වර ලැබෙන නිස්සය, ආරම්මණ, ආරම්මණාධිපති, ආරම්මණුපනිස්සය, පුරේජාත, විප්පයුත්ත, අත්ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති අට අතුරෙන් පුරේජාත ප්‍රත්‍යය ශක්තිය ලැබේ.
මෙහි අනුවාද වශයෙන්,
වත්ථු අකුසලානං ඛන්ධානං පුරෙජාත පච්චයෙන් පච්චයො.
(යට දක්වනලද හදයවත්ථු රූපය, දොළොස් අකුසල නාමස්කන්‍ධයන්ට පුරේජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
මෙසේ අව්‍යාකෘත ධර්මය අකුසල ධර්මයට ආරම්මණ පුරේජාත, වත්ථු පුරේජාත යන ප්‍රත්‍යය ශක්තිදෙකෙන් උපකාර වන බව දතයුතු.