11. පච්ඡාජාත ප්රත්යය
තමා පසුව ඉපිද තමාට පෙර උපන් ධර්මයට අනුබල දීමේ ශක්තියට පච්ඡාජාත ශක්තිය යයි කියනු ලැබේ. එහෙයින් නාම ධර්මයන් වූ චිත්ත චෛතසික ධර්මයෝ තමන්ට පෙර උපන් රූප ධර්මයන්ගේ පැවැත්මට අනුබල දෙන හෙවත් උපකාර වන ශක්තියට පච්ඡාජාත ප්රත්යය යයි කියති. කලින් හටගත් ගසේ නොනැසී පැවැත්මට පසුව ඇතිවන ජලය, ඍතුව ආදිය උපකාර වන්නාක් මෙනි, පච්ඡාජාත ප්රත්යය ශක්තිය ඇති ධර්මයෝ නම් නාම ධර්මයෝයි. එනම්: චිත්ත චෛතසික ධර්මයෝයි. ප්රත්යොත්පන්න ධර්ම වශයෙන් ලැබෙන්නේ රූප ධර්මයෝයි. සතර අරූප තලයන්හි රූප හටනොගන්නා හෙයින් එහි පවත්නා නාම ධර්මයන්ගේ පච්ඡාජාත ප්රත්යය ශක්තිය නොලැබේ. එසේම අසංඥසත්ත්ව භූමියේද සිත් නූපදනා හෙයින් පච්ඡාජාත ප්රත්යය ශක්තිය ලැබීමට නාම ධර්මයෝ නැත. එබැවින් පච්ඡාජාත ප්රත්යය ශක්තිය ලැබෙන්නේ පඤ්චවොකාර භවයෙහි පමණය.
මව් කුසෙහි පිළිසිඳ ගන්නා සත්ත්වයන්ගේ ප්රතිසන්ධි චිත්තය උපදනා කල්හි, එහි උත්පාදක්ෂණයෙහිදී ඇති වන්නේ කර්මජ රූප පමණය. එහෙයින් ඒ අවස්ථාවෙහි පවත්නා කය එකජ කාය නම් වේ. ප්රතිසන්ධි චිත්තයාගේ ස්ථිතික්ෂණයේදී, එහි උත්පාදක්ෂණයේදී ඇතිවූ කර්මජ රූප කලාපයන්ට ඇතුළත්වූ තේජෝ ධාතුව ස්ථිතිප්රාප්තවූ බැවින් එයින් සෘතුජ රූප කලාපයෝද උපදවත්. එවිට පටිසන්ධි චිත්තයාගේ ස්ථිතික්ෂණයේදී කර්මජ රූප හා සෘතුජ රූප පවත්නා බැවින් එකල්හි පවත්නා කය ද්විජ කාය නම් වේ. ප්රතිසන්ධි චිත්තයට අනතුරුව ප්රථම භවාඞ්ග චිත්තයාගේ පහළවීම සමගම චිත්තජ රූපයෝද පහළවෙත්. එකල්හි පවත්නා කය, කර්මජ, සෘතුජ, චිත්තජ යන තෙවැදෑරුම් රූපකලාපයන්ගෙන් යුක්ත බැවින් එයට තිජ කාය යයි කියනු ලැබේ. යම් කලෙක මේ සිරුරෙහි ආහාරජ රූප කලාපයෝ හටගන්නේද එකල්හි කම්ම, චිත්ත, සෘතු, ආහාර යන සතර සමුට්ඨාන රූප කලාපයෝ ඇතිවන හෙයින් ඒ කය චතුජ කාය නම්. රූපාවචර බ්රහ්ම ලෝකයන්හි ආහාරජ රූප නොලැබෙන හෙයින්, රූපී බ්රහ්මයින්ට ඇත්තේ තිජ කායයෙකි. අසංඥසත්ත්වයෙහි ඇත්තේ කර්මජ රූප හා සෘතුජ රූප පමණක් බැවින් එහි ලැබෙන්නේ ද්විජ කායයෙකි.
රූපස්කන්ධයන් හා නාමස්කන්ධයන් පවත්නා පඤ්ච වොකාර භවයෙහි පළමුව උපදනා රූපස්කන්ධයන්ට පසුව උපදනා නාමස්කන්ධයෝ මේ පච්ඡාජාත ප්රත්යය ශක්තියෙන් උපකාර වෙත්. එබැවින් පච්ඡාජාත ප්රත්යය ශක්තිය ඇති නාම ධර්මයෝ නම් අරූප විපාක සතර හැර ප්රථම භවාඞ්ගාදී වූ පශ්චිම පශ්චිම වූ සිත් පස් අසූවය (85) එහි ප්රත්යොත්පන්න වශයෙන් ලැබෙන්නේ ප්රතිසන්ධි චිත්තය ආදී පූර්ව පූර්ව චිත්තයන් හා ඉපිද ස්ථිතියට පැමිණි රූපයෝයි. මේ නාම ධර්මයන්ගේ පච්ඡාජාත ප්රත්යය ශක්තිය ලැබීමෙන් රූපසන්තතිය නොබිඳී පවතී.