අභිධර්මාර්ථ ප්‍රදීපිකා

සහජාතාධිපති ප්‍රත්‍යය පිළිබඳ ත්‍රිරාශිය—

සහජාතාධිපති ප්‍රත්‍යය වන ධර්මයෝ නම්, තමතමන් අධිපති වන අවස්ථාවෙහි මෝහමූල චිත්තයන් හා හසිතොත්පාදය හැර දෙපනස් (52) සාධිපති ජවන නාමස්කන්‍ධයන්හි ඇත්තාවූ

  1. ඡන්‍දය
  2. වීර්‍ය්‍යය
  3. වීමංසය
  4. සාධිපති ජවන දෙපනසය යන මේ ධර්මයෝයි.

ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන ධර්මයෝ නම් තම තමා අධිපතිවන අවස්ථාවෙහි අධිපතිවන ධර්මය හැර

දෙපනස් සාධිපති ජවනයෝය

විචිකිච්ඡා හැර එක්පනස් (51) චෛතසිකයෝය

සාධිපති චිත්තජරූපයෝය

සහජාතාධිපති ප්‍රත්‍යයාගේ ප්‍රත්‍යනීක ධර්මයෝ නම් සහජාතාධිපති ප්‍රත්‍යය නො ලබන්නාවූද, නොලබන අවස්ථාවෙහි වූ ද,

කාම සිත් සිව්පනසය (54)

මහද්ගත විපාක නවය

චෛතසික දෙපනසය

ඒ ඒ අවස්ථාවෙහි අධිපතිවන ධර්මයෝය

නිරාධිපති චිත්තජ රූපයෝය

ප්‍රතිසන්‍ධි කර්මජ රූපයෝය

බාහිර රූපයෝය

ආහාරජ රූපයෝය

සෘතුජ රූපයෝය

අසංඥසත්ත්‍ව කර්මජ රූපයෝය

ප්‍රවෘත්ති කර්මජ රූපයෝය

අධිපති ප්‍රත්‍යය පිළිබඳ විසර්‍ජනාචාර හෙවත් විථි දසයකි.

1. වීථිය

කුසලො ධම්මො කුසලස්ස ධම්මස්ස අධිපති පච්චයෙන පච්චයො - ආරම්මණාධිපති සහජාතාධිපති

(කුසල ධර්‍මය කුසල ධර්‍මයට අධිපති ශක්තියෙන් ප්‍රත්‍යය වේ, මේ ප්‍රත්‍යවීම ආරම්මණාධිපති, සහජාතාධිපති යන දෙයාකාරයෙන් සිදුවේ)

මෙහි ආරම්මණාධිපති ප්‍රත්‍යය වන කුසල ධර්‍මයෝ නම්:

  1. අර්හත් මාර්ගය හැර ගරු කළ යුතුවූ කුසල් සිත් විස්සය.
  2. චෛතසික අටතිසය (38).

විස්තර වශයෙන් වනාහි -

ගරුකොට අරමුණු කරන්නාවූ මහා කුසල ඥාන විප්‍රයුක්ත සිත් සතරට ප්‍රත්‍යයවන ගරු කළ යුතුවූ ලෞකික කුසල් සතොළොසය (17).

ගරුකොට අරමුණු කරන මහා කුසල ඥාන සම්ප්‍රයුක්ත චිත්තයන්ට ප්‍රත්‍යයවන ගරු කළ යුතුවූ අර්හත් මාර්ගය හැර කුසල් සිත් විස්සය.

චෛතසික අටතිසය (38)

ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන කුසල ධර්‍මයෝ නම් ගරුකොට අරමුණු කරන මහා කුසල් සිත් අට, විරති අප්‍රමාණ්‍ය හැර චෛතසික තෙවිස්සය (23).

මෙහිදී එකවර ලැබිය හැකි ආරම්මණාධිපති, ආරම්මණ ආරම්මණුපනිස්සය යන ප්‍රත්‍ය ශක්ති තුනෙන් ආරම්මණාධිපති ශක්තිය ලැබේ.

මේ වීථියෙහි අනුවාද වශයෙන්—

ආරම්මණාධිපති ප්‍රත්‍යය—

1. දානං දත්‍වා සීලං සමාදියිත්‍වා, උපොසථකම්මං කත්‍වා තං ගරුං කත්‍වා පච්චවෙක්ඛති.

(දන්දී, සිල් සමාදන්ව, පෙහෙවස් රැක, එය ගරු කොට ප්‍රත්‍යවෙක්‍ෂා කරන කල්හි ඒ කුසල චේතනා ප්‍රධාන කාමාවචර කුසලය එය ගරුකොට ප්‍රත්‍යවෙක්‍ෂා කරන්නාවූ කාමාවචර කුසල චිත්තයට ආරම්මණාධිපති ශක්තියෙන් ප්‍රත්‍යය වේ)

දන්දීම, සිල් සමාදන්වීම, පෙහෙවස් රැකීම යනාදී කුසලයන් උසස් අන්දමින් සිදුකොට, නැවත ඒ කුසලයන් ගරු කොට මෙනෙහි කරන කල්හි භවාඞ්ග චලන භවාඞ්ගුපච්ඡේදයන්ට අනතුරුව ඒ කාමාවචර කුසලය අරමුණු කොට මනොද්වාරාවජ්ජනයද, මහා කුසල් සිතක් ප්‍රත්‍යවෙක්‍ෂා ජවන කෘත්‍යයෙන් සත් වරක් ඉපිද නිරුද්ධවූ පසු භවාඞ්ගය වීමෙන් චිත්තවීථිය කෙළවර වේ. මෙහිදී ගරුකොට අරමුණු කරන්නාවූ ඒ ප්‍රත්‍යවෙක්‍ෂා කුසල චිත්තයන්ට ගරුකළ යුතු දානාදි පුණ්‍ය කර්‍මයන් ආරම්මණාධිපති ශක්තියෙන් ප්‍රත්‍යවීම “කුසල ධර්‍මය කුසල ධර්‍මයට ආරම්මණාධිපති ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවීම” යයි කියනු ලැබේ.

2. පුබ්බෙ සුචිණ්ණානි ගරුං කත්‍වා පච්චවෙක්ඛති.

(පෙර උසස් වශයෙන් කරන ලද දානාදි කුසලයන් නැවත ගරුකොට මෙනෙහි කරන කල්හි ඒ ප්‍රත්‍යවෙක්‍ෂා ජවනයන්ට පෙර පවත්වනලද ගරු කළයුතු කුසලය ආරම්මණාධිපති ශක්තියෙන් ප්‍රත්‍යය වේ.)

මේ අනුවාදයෙන් පූර්‍වයෙහි කරනලද ගරු කළයුතු පින්කම් පසුව ගරුකොට ප්‍රත්‍යවෙක්‍ෂා කිරීමේදී උපදනා මහා කුසල ජවනයන්ට ආරම්මණාධිපති ශක්තියෙන් උපකාරවීම “කුසල ධර්‍මය කුසල ධර්‍මයට ආරම්මණාධිපති ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවීම” යයි කියනු ලැබේ.

  1. ඣානා වුට්ඨහිත්‍වා ඣානං ගරුං කත්‍වා පච්චවෙක්ඛති.

(ධ්‍යාන සමාපත්තියෙන් නැගී නැවත එම ධ්‍යානය ගරුකොට ප්‍රත්‍යවේක්‍ෂා කරන කල්හි උපදනා කාමාවචර කුසල ජවනයන්ට ඒ ධ්‍යානය ආරම්මණාධිපති ශක්තියෙන් ප්‍රත්‍යය වේ.)

ධ්‍යානය හෙවත් මහද්ගත කුසලය ගරු කළයුතු, මහත් බවට පැමිණි කුසලයකි. එය උපදවා නැවත එයම ගරු කොට මෙනෙහි කිරීමේදී, ඒ ප්‍රත්‍යවේක්‍ෂා මහා කුසල ජවනයන්ට ආරම්මණාධිපති ශක්තියෙන් ප්‍රත්‍යයවීම, “කුසල ධර්‍මය කුසල ධර්‍මයට ආරම්මණාධිපති ප්‍රත්‍ය ශක්තියෙන් උපකාරවීම” යයි කියනු ලැබේ.

මහද්ගත කුසලය තමා මහත් බවට පැමිණ සිටින බැවින් අනෙකක් ගරුකොට අරමුණු නොකරයි.

  1. සෙක්ඛා ගෝත්‍රභූං ගරුං කත්‍වා පච්චවෙක්ඛන්ති.

(සෝවාන් පුද්ගලයෝ තම තමන්ගේ මාර්‍ග චිත්ත වීථියෙහි උපන් ගෝත්‍රභූ සිත ගරු කොට ප්‍රත්‍යවේක්‍ෂා කරන කල්හි ඒ ප්‍රත්‍යවේක්‍ෂා ජවනයන්ට ඒ ගෝත්‍රභූ සිත ආරම්මණාධිපති ශක්තියෙන් ප්‍රත්‍යය වේ.)

සෝවාන් මාර්ගයට පැමිණීමේදී භවාඞ්ග චලන භවාඞ්ගුපච්ඡේදයන්ට අනතුරුව මනෝද්වාරාවජ්ජනයද ඥානසම්ප්‍රයුක්ත මහා කුසල් සිතක් පරිකර්ම, උපාචාර, අනුලොම, ගෝත්‍රභූ වශයෙන් සතර වරක් හෝ උපාචාර, අනුලොම, ගෝත්‍රභූ වශයෙන් තුන් වරක් හෝ ඉපිද නිරුද්ධ වූ පසු සෝවාන් මාර්ග සිත සහ සෝවාන් ඵල සිත් දෙකක් හෝ තුනක් පිළිවෙලින් ඉපිද නිරුද්ධ වූ පසු භවාඞ්ගය වේ. එයට අනතුරුව ප්‍රත්‍යවේක්‍ෂා ජවන් උපදනා චිත්ත වීථි පිළිවෙලින් ඉපිද නිරුද්ධ වෙති. සෝවාන් පුද්ගලතෙම තමන්ට පෘථග්ජන ගෝත්‍රයෙන් එතරවීමට උපකාර වූ ගෝත්‍රභූ චිත්තය ප්‍රත්‍යවේක්‍ෂා කරන කල්හි භවාඞ්ග චලන, භවාංගුපච්ඡේදයන්ට අනතුරුව ගොත්‍රභූ චිත්තය ගරු වශයෙන් අරමුණුකොට මනොද්ධාරාවජ්ජන චිත්තයද, ඥානසම්ප්‍රයුක්ත මහා කුසල් සිතක් ප්‍රත්‍යවෙක්‍ෂා ජවන් වශයෙන් සත්වරක් ඉපිද නිරුද්ධවූ පසු භවාඞ්ගය වේ. මේ චිත්ත වීථියෙහි ප්‍රත්‍ය වෙක්‍ෂා කරන කාමාවචර කුසල ජවනයන්ට ගොත්‍රභූ සිත ගරුකොට අරමුණුවීම “කුසල ධර්මය කුසල ධර්මයට ආරම්මණාධිපති ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වීම” යයි කියනු ලැබේ.

5. සෙක්ඛා වොදානං ගරුං කත්‍වා පච්චවෙක්ඛන්ති.

(සකෘදාගාමි අනාගාමි ආර්ය පුද්ගලයෝ වොදාන සිත ගරුකොට අරමුණු කරන කල්හි ඒ ප්‍රත්‍යවෙක්‍ෂා කුසල ජවනයන්ට වොදාන සිත ආරම්මණාධිපති ශක්තියෙන් ප්‍රත්‍යය වේ.)

6. සෙක්ඛා මග්ගාවුට්ඨහිත්‍වා මග්ගං ගරුං කත්‍වා පච්චවෙක්ඛන්ති.

(සොවාන්, සකෘදාගාමි, අනාගාමි ආර්ය පුද්ගලයෝ තම තමන් විසින් පැමිණි මාර්ගයෙන් නැගී එය ගරු කොට ප්‍රත්‍යවෙක්‍ෂා කරන කල්හි, ප්‍රත්‍යවෙක්‍ෂා ජවනයන්ට මාර්ග සිත ආරම්මණාධිපති ශක්තියෙන් ප්‍රත්‍යය වේ.)

මේ අනුවාදයන්හි වොදාන සිතත්, මාර්ග සිතත් ගරුකොට ප්‍රත්‍යවෙක්‍ෂා කරන කාමාවචර කුසල ජවනයන්ට ආරම්මණාධිපති ශක්තියෙන් ප්‍රත්‍යයවීම “කුසල ධර්මය කුසල ධර්මයට ආරම්මණාධිපති ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවීම” යයි කියනු ලැබේ.

සහජාතාධිපති ප්‍රත්‍යය-

කුසලා අධිපති සම්පයුත්තකානං ඛන්‍ධානං අධිපති පච්චයෙන පච්චයො

(කුසලාධිපති ධර්මය සම්ප්‍රයුක්ත නාමස්කන්‍ධයන්ට සහජාතාධිපති ශක්තියෙන් ප්‍රත්‍යය වේ.)

මෙහි සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට සහජාතාධිපති ප්‍රත්‍ය ශක්තියෙන් උපකාරවන කුසලාධිපති ධර්‍මයෝ නම්:-

අධිපති ප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි වූ මහා කුසල් අටය,

සෑම කල්හි අධිපති ප්‍රත්‍යය ලැබෙන මහද්ගත ලොකොත්තර කුසල් සතළොසය (17),

චෛතසික අටතිසය (38).

යන මොවුන්ගේ එක් එක් චිත්තයක ඇති අධිපති තුන හා සතර අතුරෙන් එක එකක් වූ ප්‍රත්‍ය ධර්‍මයෝයි.

මේ සහජාතාධිපති ප්‍රත්‍ය ධර්‍මයන්ගේ ප්‍රත්‍යොත්පන්න භාවයට පැමිණෙන ධර්‍මයෝ නම් අධිපතිවන ධර්‍මය හා සම්ප්‍රයුක්ත ධර්‍මයෝයි.

ඡන්‍ද, චිත්ත, විරිය, වීමංසා යන අධිපති ධර්‍මයන් අතුරෙන් එක් කුසල් සිතක එකවර අධිපති ප්‍රත්‍යය වන්නේ එක් ධර්‍මයකි. ඒ අධිපතිවන ධර්‍මය එම සිතෙහි ඒ හා සම්ප්‍රයුක්තවූ නාමස්කන්‍ධයන්ට සහජාතාධිපති ශක්ති යෙන් ප්‍රත්‍යයවීම “කුසල ධර්‍මය කුසල ධර්‍මයට සහජාතාධි පති ප්‍රත්‍ය ශක්තියෙන් උපකාරවීම” යයි කියනු ලැබේ.

2. වීථිය

කුසලො ධම්මො අකුසලස්ස ධම්මස්ස අධිපති පච්චයෙන පච්චයො ආරම්මණාධිපති

(කුසල ධර්‍මය අකුසල ධර්‍මයට ආරම්මණාධිපති ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)

මෙහි අනුවාද වශයෙන්

  1. දානං දත්‍වා, සීලං සමාදියිත්‍වා, උපොසථකම්මං කත්‍වා තං ගරුං කත්‍වා අස්සාදෙති, අභිනන්‍දති, තං ගරුං කත්‍වා රාගො උප්පජ්ජති, දිට්ඨි උප්පජ්ජති.

(දන්දී, සිල් සමාදන්ව, පෙහෙවස් රැක ඒ කුසලය ගරුකොට ආස්වාදනය අභිනන්‍දනය කරන කල්හි එයම ගරුකොට රාගය උපදියි. දිට්ඨිය උපදියි.)

දාන වස්තුන් පරිත්‍යාගකොට ඒ පරිත්‍යාග චෙතනා ප්‍රධාන කාමාවචර කුසලය ගරුකොට ආස්වාදනය කරන කල්හි ලෝභ මූල සොමනස්ස සහගත සිත් සතරෙන් එකක් ජවන කෘත්‍යයෙන් උපදියි. එයට සතුටුවන කල්හි සප්‍රීතික තෘෂ්ණා ප්‍රධාන ලෝභමූල සිත් සතරෙන් එකක් ජවන කෘත්‍යයෙන් උපදියි. එසේම එයට ඇලුම් කරන කල්හි රාග ප්‍රධාන ලෝභමූල සිත් අටෙන් එකක්ද, වරදවා ගන්නා කල්හි ලෝභමූල දිට්ඨිගත සම්ප්‍රයුක්ත සිත් සතරෙන් එකක්ද ජවන කෘත්‍යයෙන් උපදියි, සීලාදි කුසල් පිළිබඳවද මේ පිළිවෙළම වේ.

මෙහිදී ආරම්මණාධිපති ප්‍රත්‍යය ධර්‍ම වශයෙන් ලැබෙන්නේ ලෞකික කුසල් සතොළොසය (17). එහි ප්‍රත්‍යයෝත්පන්නයෝ නම් ගරුකොට අරමුණු කරන ලෝභමූල අකුසල් සිත් අටය.

2. පුබ්බෙ සුචිණ්ණානි ගරුං කත්‍වා අස්සාදෙති, අභිනන්‍දති, තං ගරුං කත්‍වා රාගො උප්පජ්ජති’ දිට්ඨි උප්පජ්ජති.

(පූර්‍වයෙහි කරන ලද දානාදි කුසලයන් ගරුකොට ආස්වාදනය, අභිනන්‍දනය කරන කල්හි එයම ගරුකොට රාගය උපදියි. දිට්ඨිය උපදියි.)

මෙහිදී ආරම්මණාධිපති ප්‍රත්‍යය ධර්‍ම වශයෙන් ලැබෙන්නේ පෙර පවත්වන ලද දාන, ශීල, අෂ්ටාඞ්ගශීල චෙතනා ප්‍රධාන කාමාවචර කුසලයෝයි. ප්‍රත්‍යයෝත්පන්න ධර්‍ම වශයෙන් ලෝභමූල සිත් අට ලැබේ.

3. ඣානං වුට්ඨහිත්‍වා ඣානං ගරුං කත්‍වා අස්සාදෙති අභිනන්‍දති, තං ගරුං කත්‍වා රාගො උප්පජ්ජති දිට්ඨි උප්පජ්ජති.

(ධ්‍යානයෙන් නැගී එම ධ්‍යානය ගරුකොට ආස්වාදනය කරන කල්හිද, අභිනන්‍දත වශයෙන් එයට සතුටුවන කල්හිද, එයම ගරුකොට රාගය උපදියි. දිට්ඨිය උපදියි.)

මෙහිදී ආරම්මණාධිපති ප්‍රත්‍යය ධර්‍ම වශයෙන් ලැබෙන්නේ මහද්ගත කුසල් සිත් නවයයි. ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලෝභ මූල සිත් අට ලැබේ.

මේ කුසල ධර්‍මයන් අරමුණු කරන කල්හි එක්වර ලැබෙන ආරම්මණ, ආරම්මණාධිපති, ආරම්මණුපනිස්සය යන ප්‍රත්‍යය ශක්ති තුන අතුරෙන් මෙහිදී ආරම්මණාධිපති ප්‍රත්‍යය ශක්තිය ලැබේ.

  1. විථිය-

කුසලො ධම්මො අබ්‍යාකතස්ස ධම්මස්ස අධිපති පච්චයෙන පච්චයො, ආරම්මණාධිපති, සහජාතාධිපති

(කුසල ධර්‍මය අව්‍යාකෘත ධර්‍මයට ආරම්මණාධිපති, සහජාතාධිපති ශක්තියෙන් ප්‍රත්‍යය වේ.)

මෙහි අව්‍යාකෘත ධර්‍මයට ආරම්මණාධිපති ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවන ප්‍රත්‍යය ධර්‍මය නම් අර්හත් මාර්‍ග චිත්තයයි.

ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන අව්‍යාකෘත ධර්‍මයෝ නම් ගරුකොට අරමුණු කරන මහා ක්‍රියා ඥාන සම්ප්‍රයුක්ත සිත් සතරය. විරති අප්‍රමාණ්‍යයන් හැර චෛතසික තෙතිසය (33).

මෙහිදී එක්වර ලැබෙන ආරම්මණ, ආරම්මණාධිපති ආරම්මණුපනිස්සය යන ශක්ති තුනෙන් ආරම්මණාධිපති ප්‍රත්‍යය ශක්තිය ලැබේ.

තවද අව්‍යාකෘත ධර්‍මයට සහජාතාධිපති ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වන ප්‍රත්‍යය ධර්‍මයෝ නම් පඤ්චවොකාරභූමියෙහි අධිපති ප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි මහා කුසල් අටෙහි හා මහද්ගත ලොකොත්තර කුසලයන්හිද ඇති අධිපති ධර්‍මයෝයි.

ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන අව්‍යාකෘත ධර්මයෝ නම් චිත්තජ රූපයෝයි.

මහාක්‍රියා ඥානවිප්‍රයුක්ත චිත්තයෝ ලොකොත්තර ධර්මයන් අරමුණු කිරීමට සමත් නොවන බැවින් ආරම්මණාධි පති ප්‍රත්‍යය ධර්මයන්ගේ ප්‍රත්‍යොත්පන්න භාවයට නොගැණෙත්. එසේම රහතන් වහන්සේ ලෞකික ධර්මයන් ගරු නොකරන බැවින් ලෞකික ධර්මයන්ගේ වශයෙන්ද. ඒවා ආරම්මණාධිපති ප්‍රත්‍යොත්පන්නයෝ නොවෙති.

මේ වීථියේ අනුවාද වශයෙන්,

  1. අරහා මග්ගාවුට්ඨහිත්‍වා මග්ගං ගරුං කත්‍වා පච්චවෙක්ඛති.

(රහතන් වහන්සේ අර්හත් මාර්ගයෙන් නැගිට එය ගරුකොට ප්‍රත්‍යවෙක්‍ෂා කිරීමේදී අර්හත් මාර්ගය, එය ප්‍රත්‍යවෙක්‍ෂා කරන ඥානසම්ප්‍රයුක්ත මහා ක්‍රියා සිත් සතරට ආරම්මණාධිපති ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)

රහතන් වහන්සේ අර්හත් මාර්ගය උපදවා ගැන්මෙන් පසුව එම අර්හත් මාර්ගය ප්‍රත්‍යවෙක්‍ෂා කරන කල්හි, භවාඞ්ගචලන, භවාඞ්ගුපච්ඡේදයන්ට අනතුරුව අර්හත් මාර්ගය ගරුකොට අරමුණු කරමින් මනොචාරාවජ්ජනයද, ඤාණසම්ප්‍රයුක්ත මහා ක්‍රියා ජවන් සතරෙන් එක් සිතක් ජවන කෘත්‍යයෙන්ද සත්වරක් ඉපිද නිරුද්ධ වූ පසු භවාඞ්ගය වේ. මෙහිදී ලොකොත්තර කුසලය වූ අර්හත් මාර්ග චිත්තය ගරුකොට අරමුණු කරමින් උපදනා ඥානසම්ප්‍රයුක්ත ප්‍රත්‍යවෙක්‍ෂා මහා ක්‍රියා ජවනයන්ට ඒ මාර්ග කුසලය ආරම්මණාධිපති ශක්තියෙන් ප්‍රත්‍යයවීම “කුසල ධර්මය අව්‍යාකෘත ධර්මයට ආරම්මණාධිපති ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවීම” යයි කියනු ලැබේ.

  1. කුසලාධිපති චිත්ත සමුට්ඨානානං රූපානං අධිපති පච්චයෙන පච්චයො.

(පඤ්චවොකාර භූමියෙහි අධිපති ප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි මහා කුසල් අටෙහි හා මහද්ගත ලෝකෝත්තර කුසලයන්හිද ඇති අධිපති ධර්මයෝ චිත්තජරූපයන්ට සහජාතාධිපති ශක්තියෙන් ප්‍රත්‍යය වෙත්.)

පඤ්චවොකාර භූමියෙහි අධිපති ප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි මහා කුසල් සිත් අටෙහි හා මහද්ගත ලෝකෝත්තර කුසල චිත්තයන්හිද ඇති ඡන්‍දාදී අධිපති ධර්මයෝ ඒ කුසල චිත්තයන් හා සහජාතව උපදනා චිත්තජ රූපයන්ට සහජාතාධිපති ශක්තියෙන් ප්‍රත්‍යයවීම “කුසල ධර්මය අව්‍යාකෘත ධර්මයට සහජාතාධිපති ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවීම” යයි කියනු ලැබේ.

4. වීථිය
  1. කුසලො ධම්මො කුසලස්සව අබ්‍යාකතස්සව ධම්මස්ස අධිපතිපච්චයෙන පච්චයො-සහජාතාධිපති

(කුසල ධර්මය සම්ප්‍රයුක්ත ස්කන්‍ධයන්ට සහ චිත්තජ රූපයන්ටද සහජාතාධිපති ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ.)

මෙහි කුසලාව්‍යාකෘත ධර්මයන්ට සහජාතාධිපති ප්‍රත්‍ය ශක්තියෙන් උපකාරවන කුසල ධර්මය නම් පඤ්චවොකාර භූමියෙහි අධිපති ප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහිවූ මහා කුසල් අටෙහිද මහද්ගත කුසල් නවයෙහිද, මාර්ගසිත් සතරෙහිද ඇති අධිපති ධර්ම තුන හෝ සතර අතුරෙන් එක එකක්වූ ප්‍රත්‍ය ධර්මය ය.

ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන ධර්මයෝ නම් අධිපතිවන ධර්මයෙන් අන්‍යවූ සම්ප්‍රයුක්ත ස්කන්‍ධයන් හා චිත්තජ රූපයෝය.

මෙහි අනුවාද වශයෙන්—

කුසලාධිපති සම්පයුත්තකානං බන්‍ධානං චිත්ත සමුට්ඨානානංව රූපානං අධිපතිපච්චයෙන පච්චයො.

(අධිපති ප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහිවූ මහා කුසල් සිත් අටය, මහද්ගත කුසල් නවය, මාර්‍ග සිත් සතරය යන කුසල් සිත්හි අධිපතිවන ධර්‍මය, සම්ප්‍රයුක්ත ස්කන්‍ධයන්ට හා චිත්තජ රූපයන්ට ද සහජාතාධිපති ශක්තියෙන් ප්‍රත්‍යය වේ)

එක් විසි කුසල් සිත්හි අධිපතිප්‍රත්‍ය ලැබෙන කල්හි එහි ඡන්‍ද, චිත්ත, විරිය, වීමංසා යන සතර අධිපති ධර්‍මයන් අතුරෙන් එක් ධර්‍මයක් එක් වරක අධිපති වශයෙන් යෙදෙන කල්හි එම අධිපතිවන ධර්‍මය ඉතිරි සම්ප්‍රයුක්ත නාමස්කන්‍ධ යන්ට හා චිත්තජ රූපයන්ට සහජාතාධිපති ශක්තියෙන් ප්‍රත්‍යය වීම “කුසල ධර්‍මය කුසලාව්‍යාකෘත ධර්මයන්ට සහජාතාධිපති ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවීම” යයි කියනු ලැබේ.

5. වීථිය

අකුසලො ධම්මො අකුසලස්ස ධම්මස්ස අධිපති පච්චයෙන පච්චයො - ආරම්මණාධිපති - සහජාතාධිපති.

(අකුසල ධර්මය අකුසල ධර්මයට ආරම්මණාධිපති සහජාතාධිපති යන අධිපති ශක්තියෙන් ප්‍රත්‍යය වේ.)

ආරම්මණාධිපති ප්‍රත්‍ය ශක්තියෙන් අකුසල ධර්මයට ප්‍රත්‍යය වන අකුසල ධර්මයෝ නම්:

ගරුකොට අරමුණු කරන ලොභ මූල සිත් අටට ප්‍රත්‍යය වන ගරු කළයුතු ලොභ මූල සිත් අටය.

ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන අකුසල ධර්මයෝ නම් ගරුකොට අරමුණු කරන ලොභ මූල සිත් අටය, චෛතසික දෙවිස්සය (22) යන අකුසල ධර්මයෝ යි.

මෙහිදී එක්වර ලැබෙන ආරම්මණ, ආරම්මණාධිපති ආරම්මණුපනිස්සය යන ශක්ති තුනෙන් ආරම්මණාධිපති ශක්තිය ලැබේ.

සහජාතාධිපති ප්‍රත්‍යය ශක්තියෙන් අකුසල ධර්මයට ප්‍රත්‍යය වන අකුසල ධර්‍මය නම්.

අධිපති ප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන ලෝභ මූල සිත් අටය, ද්වේෂ මූල සිත් දෙකය, විචිකිච්ඡා හැර චෛතසික සවිස්සය යන මොවුන්ගේ එක් එක් චිත්තක්‍ෂණයක ලැබෙන අධිපති ධර්ම තුනෙන් එක එකක් වූ ප්‍රත්‍යය ධර්මය ය.

ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන අකුශල ධර්ම නම් අධිපති වන ධර්මයෙන් අන්‍ය වූ සම්ප්‍රයුක්ත ධර්මයෝ යි.

මෙහි අනුවාද වශයෙන්-

ආරම්මණාධිපති-

1. රාගං ගරුංකත්‍වා අස්සාදෙති, අභිනන්‍දති, තං ගරුංකත්‍වා රාගො උප්පජ්ජති, දිට්ඨි උප්පජ්ජති.

(රාගය ප්‍රධාන ලෝභ මූල චිත්තය ගරුකොට ආස්වාදනය කරන කල්හිද, සතුටු වන කල්හිද, රාගය ගරු කොට අරමුණු කරමින් රාගය උපදියි. දිට්ඨිය උපදියි.)

රාගය ප්‍රධාන ලෝභ මූල චිත්තය ගරුකොට ආස්වාදනය කරන කල්හි භවාඞ්ග චලන, භවාඞ්ගුපච්ඡෙදයන්ට අනතුරුව රාගය ප්‍රධාන ලෝභ මූල සිත ගරුකොට අරමුණු කරමින් මනොද්වාරාවජ්ජනයද, ලෝභ මූල සොමනස්ස සිත් සතරෙන් එකක් ජවන කෘත්‍යයෙන් සත්වරක් ඉපිද නිරුද්ධ වූ පසු භවාඞ්ගය වේ. එසේම රාගය ප්‍රධාන ලෝභ මූල චිත්තය ගරුකොට අරමුණු කරමින් සතුටු වන කල්හි සප්‍රීතික තෘෂ්ණා ප්‍රධාන ලෝභ මූල සොමනස්ස සිත් සතරෙන් එකක් ජවන් වශයෙන් උපදී. එය ගරුකොට ඇලුම් කරන කල්හි රාග ප්‍රධාන ලෝභ මූල සිත් අටෙන් එකක්ද, වරදවා ගන්නා කල්හි ලෝභ මූල දිට්ඨිගත සම්ප්‍රයුක්ත සිත් සතරෙන් එකක්ද ජවන් වශයෙන් උපදී. එකල්හි රාගය ප්‍රධාන ලොභ මූල චිත්තය ගරුකොට අරමුණු කරමින් උපදනා ලොභමූල අකුසල ජවනයන්ට ඒ රාගය ප්‍රධාන ලොභමූල චිත්තය අධිපති ශක්තියෙන් ප්‍රත්‍යයවීම “අකුසල ධර්මය අකුසල ධර්මයට ආරම්මණාධිපති ප්‍රත්‍යයයෙන් උපකාරවීම” යයි කියනු ලැබේ.

2. දිට්ඨිං ගරුංකත්‍වා අස්සාදෙති අභිනන්‍දති, තං ගරුංකත්‍වා රාගො උප්පජ්ජති, දිට්ඨි උප්පජ්ජති.

(දිට්ඨිය ප්‍රධාන ලොභමූල චිත්තය ගරුකොට ආස්වාදනය කරන කල්හිද, සතුටුවන කල්හිද, දිට්ඨිය ගරුකොට අරමුණු කරමින් රාගය උපදියි, දිට්ඨිය උපදියි.)

මෙයද යට දක්වනලද අනුවාදය මෙන් දතයුතු.

සහජාතාධිපති