සහජාතාධිපති ප්‍රත්‍යය—
සහජාත හෙවත් එක්ව උපදනා ධර්මයන්ට අධිපති වන ධර්මයෝ සතර දෙනෙකි.
එනම්:
- ඡන්දය
- චිත්තය
- විරියය
- වීමංසය යන ධර්ම සතරය.
මේ ධර්මයන්ට සහජාතාධිපති ප්‍රත්‍යය ධර්මයයි කියනු ලැබේ. මේ ධර්මයෝද බලවත්වූ කල්හිම අධිපති වෙති. දුර්වලවූ ඡන්දාදී ධර්මයෝ සහජාත ධර්මයන්ට අධිපති නොවෙති. දන්දීමට බලවත් කැමැත්තක් හෙවත් ඡන්දයක් උපන් කල්හි ඒ කැමැත්තට අනුකූලව ඒ දන්දීමේ කෘත්‍යය සිදු කිරීමට උවමනා චේතනාදී අනිකුත් චෛතසික ධර්මයෝද ඒ සමඟම සහජාතව උපදිති. එයින් දන්දීම සිදුවේ. මෙහිදී ඡන්දය අනිකුත් ධර්මයන්ට අධිපති භාවයෙන් ප්‍රත්‍යය වේ. චිත්ත විරිය වීමංසාද මෙසේමය. ඇතැම් සිත්වල මේ ධර්ම සතරම එකවර උපදින්නේ වී නමුත් එයින් එක් ධර්මයක් පමණක් එකවර අධිපති ප්‍රත්‍යය භාවයට පැමිණේ. එක් සිතක උපදනා අධිපති නොවන ධර්ම සියල්ලම ඒ අධිපති ධර්මයට අනුකූලවම ප්රත්යොත්පන්න ධර්ම වශයෙන් පවතී.