අවිද්‍යා නීවරණය
දුක්ඛාර්ය්යසත්යයෙහි ද, දුක්ඛ සමුදයාර්‍ය්‍ය සත්‍යයෙහි ද දුක්ඛනිරොධාර්ය්යසත්යයෙහි ද, දුක්ඛනිරොධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍ය සත්‍යයෙහි ද, අතීතස්කන්ධාදීන් පිළිබඳවද අනාගත ස්කන්‍ධාදීන් පිළිබඳව ද, අතීතානාගත ස්කන්‍ධාදීන් පිළිබඳව ද, හේතුඵල ධර්ම හෙවත් පටිච්ච සමුප්පාද ධර්මයන් පිළිබඳවද, යම්බඳු වූ නොදැනීමක්, නොදැකීමක්, ධර්මාභිමුඛව ගොස් නොදැනීමක්, අනුරූප පරිදි නොදැනීමක්, අවබෝධ නොවීමක්, ප්‍රතිවෙධ වශයෙන් නො දැනීමක්, අනිත්‍යාදි වශයෙන් ධර්මයන් සංග්‍රහ නොකිරීමක්, සමව නොබැලීමක් ධර්ම ස්වභාවය අනුව නොබැලීමක්, කුසලාකුසලාදි ධර්මයන්ගේ ස්වභාවය ප්රත්යක්ෂකර නො ගැනීමක් චිත්ත සන්තානය කිලිටි වීමක්, බාලබවක්, මනාකොට ප්‍රකාරයෙන් නොදැනීමක්, මුළාවක්, බලවත් මුළාවක්, හාත්පසින් මුළාවක්, අනුවණ කමක්, අවිද්‍යා නමැති සැඩ පාරක්, සංසාරයෙහි යොදවන්නාවූ ස්වභාවයක්, අවිද්‍යානුසයක් හෙවත් අවිද්‍යාව නොනැසී මතු මත්තෙහි ලුහුබඳීමින් ශක්තිමත්ව සැඟවී සිටින අවස්ථාවක්, අවිද්යාපරියුට්ඨානයක් හෙවත් සන්තානයෙහි නැගී සිටින අවස්ථාවක්, අවිද්‍යා නමැති අගුලක්, මෝහය නමැති අකුසල මූලයක් හෝ වේ ද එයට අවිද්‍යානීවරණය යයි කියනු ලැබේ. ඉහත දක්වන ලද දුක්ඛාර්‍ය්‍ය සත්යාදිවූ අටතැන් ප්‍රධාන කොට ඇති සියලුම ධර්මයන්, ඇත්තාවූ ස්වභාවයෙන් නොදැනීම, මුළාවීම අවිද්‍යානීවරණය බව දතයුතුයි. සියලුම අකුසලයන්ටද මුල්වූ මේ අවිද්‍යාව හෙවත් මෝහය උපදනාතාක්කල් කුසල චිත්තයක්වත් නූපදී. අවිද්‍යාව සමුච්ඡේද වශයෙන් ප්රහාණය කරනු ලබන්නේ අර්හත් මාර්ග ඥානයෙනි. උපායෙහි දක්ෂ පෘථග්ජනයන් විසින් සත්ත්වඝාතනාදි අකුසලයන් කරණ කල්හි නොයෙක් උපායයන් යොදමින් ප්‍රඥාවගේ මුහුණුවරින් ඒ ඒ අකුසල ක්‍රියාවන්හි දක්ෂ බව පෙන්වතත් එය ප්‍රඥාව නොව අවිද්‍යාව ම බව දතයුතුයි.
ආලෝකය උදාවන කල්හි අන්ධකාරය පහව යන්නාක් මෙන් ප්රඥාලෝකය ඇතිකල්හි අවිද්යාන්ධකාරය නැතිවී යන්නේය.
අවිද්‍යා නීවරණයාගේ ප්රහාණියට උපකාරවන ධර්මයෝ සත්දෙනෙකි:- එනම්
- “පරිපුච්ඡිකතා” නම් වූ ස්කන්ධ, ධාතු ආයතන, ඉන්ද්රිය, බල, බොජ්ඣඞ්ග, මාර්ගාඞ්ග ධ්‍යාන සමථ විදර්ශනා ආදීන් පිළිබඳව ප්‍රශ්න නැවත නැවත විචාරණ ස්වභාවය ඇති බවය,
- “වත්ථුවිසදකිරියතා” නම් වූ අධ්‍යාත්ම, බාහිර වස්තූන්ගේ පිරිසිදු බවය,
- “ඉන්ද්රිය සමත්ත පටිපාදනතා” නම් වූ ශ්‍රද්ධා වීර්‍ය්‍ය සති සමාධි ප්‍රඥා ආදී ඉන්ද්රියයන් සමකොට පැවැත්වීමය.
- “දුප්පඤ්ඤ පුග්ගල පරිවජ්ජනතා” නම් වූ ස්කන්ධ ධාතු ආයතනාදි ධර්මයන් කෙරෙහි බැසගත් නුවණ නැත්තවුන් ආශ්‍රය නො කිරීම.
- “පඤ්ඤාවන්ත පුග්ගල සෙවනතා” නම් වූ ස්කන්ධ, ධාතු, ආයතනාදි ධර්මයන් මනාව දත් ප්‍රඥාවන්ත පුද්ගලයන් ඇසුරු කිරීමය.
- “ගම්භීරඤාණචරිය පච්චවෙක්ඛණතා” නම් වූ ගාම්භීරවූ, ස්කන්ධ, ධාතු, ආයතනාදි ධර්මයන් පිළිබඳව පවත්නාවූ ගම්භීර ඤාණයාගේ ප්‍රභේද ප්රත්යවේක්ෂා කිරීමය,
- “තදධිමුත්තතා” නම් වූ ප්‍රඥාව ඇතිකරගැනීමට නැමුණු සිත් ඇති බවය
ලෞකික ප්‍රඥාවගේ වර්ධනයට උපකාරවන නිරවද්‍ය ශිල්ප, ශාස්ත්‍ර, කර්මාන්ත, භාෂා ආදියද, අවිද්‍යා නීවරණය දුරුකර ගැනීමට උපකාර වන්නේය.
නීවරණ ධර්ම වශයෙන් සයක් වූව ද, චෛතසික ධර්ම වශයෙන් අෂ්ට (8) ධර්ම කෙනෙක් වන්නේය: එනම්-
කාමච්ඡන්දනීවරණය - ලෝභ චෛතසිකය යි
ව්‍යාපාද නීවරණය - ද්වේෂ චෛතසිකය යි
ථීනමිද්ධ නීවරණය - ථීන චෛතසිකය සහ මිද්ධ චෛතසිකය යි
උද්ධච්චකුක්කුච්ච නීවරණය - උද්ධච්ච චෛතසිකය සහ කුක්කුච්ච චෛතසිකය යි
විචිකිච්ඡා නීවරණය - විචිකිච්ඡා චෛතසිකය යි
අවිද්‍යානීවරණය - මෝහ චෛතසිකය යි