විචිකිච්ඡා නීවරණය
මොහමූල විචිකිච්ඡා සම්ප්‍රයුක්ත සිතෙහි යෙදෙන්නා වූ විචිකිච්ඡා චෛතසිකය, කුසලයන් හා ධ්‍යාන මාර්ග ඵලාදියද වළක්වන හෙයින් නීවරණ ධර්මයක් වන්නේය.
ශාස්තෘන් වහන්සේ කෙරෙහිද, නවලොකොත්තර ධර්මය කෙරෙහිද, අෂ්ටාර්‍ය්‍යපුද්ගල මහා සංඝ රත්නය කෙරෙහිද, ප්‍රතිපත්ති ශික්ෂාවෙහිද, පූර්වාන්තය හෙවත් පෙර භවය පිළිබඳව ද, අපරාන්තය හෙවත් අනාගත භවය පිළිබඳව ද, පුබ්බාපරාන්ත නම් වූ අතීතානාගත භවයන් පිළිබඳවද, හේතු ඵල ධර්ම සඞ්ඛ්‍යාත පටිච්චසමුප්පාද ධර්මයෙහිද,
යම් බඳු වූ කාංසාවක්, කාංසාකාරයක්, විමතියක් විචිකිත්සාවක්, විවිධ බවක්, දෙමගක්, සැකයක්, නොයෙක් ආකාර ගැනීමක්, සැපීමක්, හාත්පස ගැටීමක්, සිතෙහි නොබැස ගැන්මක්, නොපිහිටීමක්, සිතෙහි ඉරිතැලීම් ආකාරයක් හෝ වේද එයට විචිකිච්ඡාව යයි කියනු ලැබේ.
මේ විචිකිච්ඡා තොමෝ සැකය ලක්‍ෂණකොට ඇත්තීය, කම්පාවීම කෘත්‍යකොට ඇත්තීය, නිශ්චය නොකිරීම වැටහෙන ආකාරය වේ. නුනුවණින් මෙනෙහි කිරීම ආසන්න කාරණා කොට ඇත්තීය.
නීවරණ විචිකිච්ඡාවය ප්‍රතිරූපක විචිකිච්ඡාවය යයි විචිකිච්ඡාව දෙවැදෑරුම් වේ. බුද්ධාදි අට තැන්හි සැකය නීවරණ විචිකිච්ඡා නම් වේ. නොදත් කරුණක් සම්බන්ධව ඇතිවන සැකය ප්‍රතිරූපක විචිකිච්ඡාව වේ. ඒ විචිකිච්ඡාව අකුසලයක් නොවන්නට ද පිළිවන එය චිත්ත වීථි රාශියකින් සිදුවන එක්තරා ක්‍රියාවකි.
අරමුණ පිළිබඳව අවිනිශ්චිත භාවය එහි ප්‍රකට ලක්ෂණය වේ.
උපාය මනසිකාරය හෙවත් නිසි මගින් කල්පනා කිරීම නම් වූ යොනිසො මනසිකාරය කරණකොටගෙණ මේ විචිකිච්ඡා නීවරණය ප්රහාණය වන්නේය.
ධර්ම සයක් මේ විචිකිච්ඡා නීවරණයාගේ ප්රහාණය පිණිස උපකාර වන්නේය. එනම්:-
- “බාහුස්සුත්තතා” නම් වූ බහුශ්‍රැත භාවය හෙවත් බොහෝ ඇසු පිරූ තැන් ඇති බව ය,
- “පරිපුච්ඡකථා” නම් වූ බෙහෙවින් ප්‍රශ්න කිරීමෙන් හෙවත් පිළිවිචාරීමෙන් කරුණු විමසීමය,
- “විනයෙපකතඤ්ඤුතා” නම් වූ විනයෙහි ප්‍රගුණ බවය හෙවත් ශික්ෂාවෙහි මනා පළපුරුදු ඇති බවය,
- “අධිමොක්ඛ බහුලතා” නම් වූ අධිමොක්ෂය බහුල බව හෙවත් බුද්ධාදි රත්නත්‍රයෙහි බැසගත් නොසෙල්වෙන ස්ථිර ශ්‍රද්ධාවෙන් යෙදී සිටින බව ය,
- “කල්යාණමිත්තතා” නම් වූ කල්‍යාණ මිත්‍රයන් ඇති බවය,
- “සප්පාය කථා” නම් වූ තැනට නිසි යහපත් කථා ඇති බව ය
මෙ විචිකිච්ඡා නීවරණ ධර්මය සොවාන් මග නුවණින් සමුච්ඡේද වශයෙන් ප්රහාණය කටයුතු වේ.