අභිධර්මාර්ථ ප්‍රදීපිකා

අනුසය ධර්‍ම

අනුසයෝ නම්, අනුරූප කාරණයක් ඇති කල්හි උපදින්නාවූද, නොනැසී මතු මත්තෙහි ලුහු බඳිමින් ශක්තිමත් බවට පැමිණ, මාර්‍ගඥානයෙන් ප්‍රහීණ කරණ තාක් කල්, අවස්ථා පැමිණි කල්හි හෙවත් සුදුසු අරමුණක් ලත් කල්හි නැවත නැවතත් ඉපදීමට සුදුසු බව ඇති අකුසල ධර්‍මයෝ යි.

අනුසය ධර්‍මයෝ සත්දෙනෙකි එනම්:-

  1. කාමරාගානුසය
  2. භවරාගානුසය
  3. පටිඝානුසය
  4. මානානුසය
  5. දිට්ඨානුසය
  6. විචිකිච්ඡානුසය
  7. අවිජ්ජානුසය

ක්ලේශයන් පිළිබඳව අවස්ථා තුනෙක් පවතී, එනම්:-

  1. අනුසය අවස්ථාව
  2. පය්‍යුත්‍ථාන අවස්ථාව
  3. ව්‍යතික්‍රම අවස්ථාව

අනුසය අවස්ථාව මාර්‍ගඥානයෙන් නොනසලනලද ක්ලේශයෝ ජවන්සිත් සමඟ සම්ප්‍රයුක්ත වශයෙන් නොයෙදී අනුරූප කාරණයක් හෙවත් නැගී සිටීමට සුදුසු අවස්ථාව පැමිණි විට උපදින්නට ශක්තිය ඇතිව පසු පසුයෙහි ලුහු බඳින්නාක්මෙන් සන්තානය නො හැර සැඟවී සිටින්නාක් මෙන් පවත්නා අවස්ථාව අනුසය අවස්ථාව නම් වේ.

පය්‍යුත්‍ථාන අවස්ථාව. අරමුණක් ලැබුණු කල්හි ක්ලේශයෝ ජවන් සිත්හි සම්ප්‍රයුක්තව උපදනා අවස්ථාව පය්‍යුත්‍ථාන අවස්ථාව නම් වේ.

ව්‍යතික්‍රම අවස්ථාව. උත්සන්න බවට හෙවත් බලවත් බවට පැමිණි ක්ලේශයෝ චිත්තජවායොධාතූන් උපදවා කාය විඤ්ඤත්ති වචීවිඤ්ඤත්ති රූප උපදවමින්, කායාඞ්ග, වාචාඞ්ග චලනය කරවන අවස්ථාව ව්‍යතික්‍රම අවස්ථාව නම් වේ.

කාමරාගානුසය. රූප, ශබ්ද, ගන්‍ධ, රස, ස්පර්ශ සඞ්ඛ්‍යාත පඤ්ච කාමයෙහි ඇලීම නම් වූ කාමරාගය හෙවත් කාම තණ්හාව, සත්ත්‍ව සන්තානයෙහි ජවන් සිත්හි සම්ප්‍රයුක්ත වශයෙන් හෙවත් පරියුත්‍ථාන වශයෙන් හෝ ව්‍යතික්‍රම වශයෙන් හෝ නොයෙදෙන කල්හි, අනාගාමි මාර්ග ඥානයෙන්, සමුච්ඡේද වශයෙන් ප්‍රහීණ කරන තාක් කල්, ඒ සත්ත්‍ව සන්තානය අත්නොහැර පසුපසුයෙහි ලුහු බඳින්නාක්මෙන්ද, අවස්ථාව බලා නැගී සිටින්නට ශක්ති සම්පන්නව සැඟවී සිටින්නාක්මෙන්ද පවත්නා කල්හි එයට කාමරාගානුසය යයි කියනු ලැබේ.

දාන සීලාදි කුසල කර්මයන්හි යෙදී සිටින කල්හි ද, තමා නො දැනුවත්වම අනුසය වශයෙන් පවත්නා මේ කාමරාගය අවස්ථාවක් පැමිණිකල්හි නැග එන්නේය. දානාදි පින්කම් කොට දෙව් මිනිස් සැප ආදි නොයෙක් කාම සම්පත් ප්‍රාර්ථනා කරනු ලබන්නේත් මේ කාමරාගානුසය සත්ත්‍ව සන්තානය අත් නොහැර පවත්නා හෙයිනි. මේ කාමරාගය, විෂ්කම්භණ වශයෙන් ප්‍රහීණ නො කොට කලෙකටවත් කාමභවයෙන් මිදීමට නොහැකි වේ. එබැවින් සමථ භාවනා වැඩීමෙන් කාම අරමුණුවලින් සිත මුදවාගෙන චිත්තෙකග්ගතාවයක් ඇතිකරගැනීම කාමරාගය දුරුකරගැනීමට උපකාරයක් වන්නේය.

භවරාගානුසය. භවරාග නම් වූ, රූපා රූප භවයන්හි ඇලීමද, රූපා රූප ධ්‍යාන නිකාන්තියද, නොහොත් භවතෘෂ්ණාව අනුසය වශයෙන්ද පවත්නා ධර්මයක් බැවින් එයට භවරාගානුසය යයි කියනු ලැබේ. කාමයන්හි ආදීනව දැක එයින් මිදෙනු කැමැති පුද්ගල තෙමේද, රූපාරූප ධ්‍යාන වඩා ඒ ධ්‍යාන සැපතම අපෙක්‍ෂා කරමින් එහි ඇලෙමින් වාසය කරනු ලබන්නේ භවරාගය අනුසය වශයෙන් පවත්නා හෙයිනි. හෙතෙමේ මරණින් මතු නොපිරිහුන් ධ්‍යාන ඇත්තේ, රූපා රූප තලයන්හි ඉපිද එහිද ඉතා දීර්‍ඝ කාලයක් බ්‍රහ්ම සම්පත්තියෙහි ඇලෙමින් වාසය කරන්නේය. එයින් චුතවූ හෙතෙම නැවතත් කාම භවයට පැමිණ සංසාර දුක්ඛයට භාජන වන්නේය. අර්හත් මාර්‍ගඥානයෙන් භවරාගය සමුච්ඡේද වශයෙන් ප්‍රහීණ කරණතාක් කල් අනුසය වශයෙන් සත්ත්‍ව සන්තානය අත්නොහැර පවතී.

මේ කාමරාගානුසයත්, භවරාගානුසයත් ලෝභ චෛතසිකයම වේ.

3. පටිඝානුසය. පටිඝය හෙවත් ද්වේෂයද අනුසය වශයෙන් පවත්නා ධර්‍මයකි. මෙය දෝෂ මූල දෙසිතෙහි යෙදෙන ද්වේෂ චෛතසිකය වේ. අනිෂ්ට අරමුණක් ලැබුන කල්හි අනුසය වශයෙන් පවත්නා මේ පටිඝය නැග එන්නේය. කුසල් කරන්නාවූ කල්හිද මාන, ඉස්සා, මච්ඡරිය ආදි අකුසල චේතනා මතුවී කුසල චිත්තයන් පිරිවරා ගෙණ කුසලයට බාධා කරන්නේය. සැඟවී සිටින සර්‍පයෙකු මෙන් අවස්ථා ලත් කල්හි නැග විත් මහත් අනර්‍ථ සාදන්නේය. මේ පටිඝානුසය අනාගාමි මග නුවණින් සමුච්ඡේද වශයෙන් ප්‍රහීණ කරණ තාක් කල් ඒ සන්තානයෙහි පහළ වීමට ශක්තිය ඇතිව සන්තානය අත්නොහැර පවත්නේය.

4. මානානුසය. මානයද සත්ත්‍ව සන්තානය අත් නොහැර සුදුසු අරමුණක් ලත් කල්හි නැග සිටීමට ශක්ති ඇතිව. සැඟවී සිටින්නාක් මෙන් පවතින ධර්‍මයක් වන හෙයින් එයට මානානුසය යයි කියනු ලැබේ. මෙය ලෝභ මූල දිට්ඨිගත විප්‍රයුක්ත සිත් සතරෙහි යෙදෙන අකුසල චෛතසිකයකි. බොහෝ සෙයින් තමා නොදැනුවත්වම මේ මානය මතුවී සිත කිලීටි කරන්නේය. සෙය්‍ය මානය, සදිසමානය, හීනමානය යනාදි වශයෙන් නොයෙක් ප්‍රභේද ඇති මේ මානය තමාගේ ධනය, කුලය, ගුණය, සීලය, ඤාණය යනාදි කරුණු නිසා ඇතිවන්නේය. අනුන් පින්කම් කරණු බලා, ඔවුන්ට වඩා උසස් ලෙස තමාගේ පින්කම සකස් කරන්නට සිත් ඇති වන්නේත් බොහෝසෙයින් මේ අනුශය වශයෙන් පවත්නා මානය කරණකොට ගෙණය. මේ මානය සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කරණු ලබන්නේ අර්‍හත් මාර්‍ගඥානයෙන් ය.

5. දිට්ඨානුසය, ශාස්වත දෘෂ්ටිය, උච්ඡේද දෘෂ්ටිය, නාස්තික දෘෂ්ටිය, අහේතුක දෘෂ්ටිය, අකිරිය දෘෂ්ටිය යනාදි වශයෙන් දක්වනලද අනෙකප්‍රකාර මිථ්‍යාදෘෂ්ටීහු සොවාන් මග නුවණින් සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කරණතාක් කල් ඒ සන්තානය අත්නොහැර, ශක්තිමත්ව, ලුහුබඳිමින් අවස්ථාව පැමිණි විට නැගී එන්නා වූ අකුසල ධර්‍මයක් බැවින් එයට දිට්ඨානුසය යයි කියනු ලැබේ. ධර්‍මයන් පිළිබඳ වූ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලක්‍ෂණයන් මුවා කරන්නාවූ ද, අරමුණු ගැනීමේදී නිත්‍ය, සුභ, සුඛ, ආත්ම වශයෙන් ගැනීම කරවන්නාවූ ද, මේ මිථ්‍යාදෘෂ්ටිය සත්ත්‍ව සන්තානය දූෂ්‍ය කරවමින්, ලුහුබඳිමින්, සසරින් ගැලවිය නොදී එහිම රදවමින් පවත්නා බලවත් පාප ධර්‍මයකි.

6. විචිකිච්ඡානුසය, බුද්ධාදි අටතැන්හි සැකය හෙවත් අවිනිශ්චිත භාවය යයි කියනලද විචිකිච්ඡාව, ධර්‍මය නොවැටහීම හේතුකොටගෙණ, මුළා වූ සන්තානයෙක්හි, ශක්ති සම්පන්නව, පසුපසෙහි ලුහුබඳිමින් පවත්නාවූ ද, අවස්ථාවක් හෙවත් සුදුසු අරමුණක් ලත් විටෙක, මතුවන්නට ශක්තිය ඇතිව පවත්නා අනුසය ධර්‍මයෙකි. සොවාන් මාර්‍ගඥානයෙන්, එය සමුච්ඡේද වශයෙන් ප්‍රහීණ කරණතාක් කල් සත්ත්‍ව සන්තානය අත්නොහරින්නේය. පිරිසිදු ධර්‍මඥානයෙන් තොරව නවීන විද්‍යාවන්ට අනුව තර්‍ක කිරීමෙන්, බුදුරජානන් වහන්සේගේ සර්‍වඥතාඥානය පිළිබඳවත් දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයන් පිළිබඳවත් අපායයන් හා දිව්‍ය බ්‍රහ්ම ලෝකයන් පිළිබඳවත් යම් යම් ධර්‍මාර්‍ත්‍ථයන් පිළිබඳවත් සැක උපදවාගෙන මහත් වූ අනර්‍ත්‍ථය සාදා ගන්නේත් මේ විචිකිච්ඡානුසය නිසාය. ධර්‍මය පිළිබඳ වූ බහුශ්‍රැත භාවයත් ධර්‍මය නිතර නිතර විචාරා ඉගෙණීමත් විචිකිච්ඡාව දුරුකර ගැණීමට උපකාර වන්නේය.