උද්ධච්ච කුක්කුච්ච නීවරණය
උද්ධච්චය සහ කුක්කුච්චය යන පාප ධර්ම දෙක එක් කොට ගත් කල්හි උද්ධච්ච කුක්කුච්ච නම් වන්නේය. කුසල, ධ්‍යාන, මාර්ග ඵලාදිය වළක්වන හෙයින් එය නීවරණ ධර්මයක් ද වන්නේය.
චිත්තයාගේ යම් නොසන්සුන් බවක් වේද විසිරියාමක් වේද, සිත පිළිබඳ වූ යම් නොසන්සිදීමක් වේද, චිත්තයාගේ යම් සෙලවෙන ස්වභාවක් වේද, එයට උද්ධච්චය යයි කියනු ලැබේ.
කැප නැති වස්තුවෙහි කැපය යන සංඥා ඇති බවය, කැප වස්තුවෙහි අකැපය යන සංඥා ඇති බවය. වරදෙහි නිවරද යන සංඥා ඇති බවය යනාදිය කරණ කොට ගෙණ යම් කුකුසක් හෙවත් තැවීමක් වේද කුකුස් කරණ ආකාරයක්, ස්වභාවයක් වේද, යම් විපිළිසර බවක් වේද, සිත පිළිබඳව යම් විලෙඛයක් හෙවත් ඉරි ගැසීම් ආකාරයක් වේද, එයට කුක්කුච්චය යයි කියනු ලැබේ. මේ දෙදෙනා සම්බන්ධවූ කල්හි උද්ධච්ච කුක්කුච්ච නීවරණය වන්නේය.
උද්ධච්චය වනාහි සුලං වැදීමෙන් සෙලවෙමින් පවත්නා ජලතලාවක් මෙන් නො සන්සිඳීම ලක්ෂණ කොට ඇත්තේය. සුළඟින් වැනෙන ධ්වජ පතාකයක් මෙන් නිශ්චලව නොසිටීම කෘත්‍ය කොට ඇත්තේය. ගලකින් ගසන ලදුව, විසිරෙන අලු සමූහයක් මෙන් දගලන බව, නලියන බව වැටහීම් කොට ඇත්තේය. අයොනිසොමනසිකාරය ආසන්න කාරණාකොට ඇත්තේය.
කුක්කුච්චය වනාහි කළ නොකළ පව් පින් ගැන සොක කිරීම ලක්ෂණ කොට ඇත්තේය. පසුතැවීම කෘත්‍ය කොට ඇත්තේය. විපිළිසර බව වැටහීම් ආකාරය කොට ඇත්තේය. කළ නොකළ සුචරිත දුශ්චරිතයන් ආසන්න කාරණා කොට ඇත්තේය.
මේ ධර්ම දෙදෙනා කෘත්‍ය, ප්‍රත්‍ය, විපක්ෂ ධර්මයන්ගේ වශයෙන් සමාන හෙයින් එක් නීවරණයක් කොට දක්වා තිබේ. මේ දෙදෙනාගේම කෘත්‍ය අව්යුපසමනයයි. සිත්හි නිශ්චලත්වය පහකොට සිත කම්පා කරවන ධර්ම හෙයින් සමාන කෘත්‍ය ඇත්තේය. අතීතයෙහි වූ ව්‍යසනයන් කල්පනා කිරීමෙන් උපදනා ධර්මයන් බැවින් සමාන ප්‍රත්‍ය ඇත්තේය. සමථය මේ දෙදෙනාගේම විපක්ෂ ධර්මයවේ.
චිත්තයාගේ නොසන්සුන් භාවය ඇති කල්හි, නුනුවණින් මෙනෙහි කිරීම හේතු කොට ගෙණ උද්ධච්ච කුක්කුච්චයාගේ හටගැනීම වන්නේය. සමාධි සඞ්ඛ්යාතවූ සිත පිළිබඳ ව්‍යුපසමනය හෙවත් සංසිඳීම ඇති කල්හි නුවණින් මෙනෙහි කිරීම හේතු කොට ගෙන මේ උද්ධච්ච කුක්කුච්චයාගේ ප්රහාණය වන්නේය.
තවද උද්ධච්ච කුක්කුච්ච නීවරණයාගේ ප්රහාණය පිණිස ධර්ම සයක් උපකාර වන්නේය.
එනම්:-
- “බහුස්සුතතා” නම් වූ බහුශෘත භාවය හෙවත් දහම් ඇසූ පිරූ තැන් ඇති බවය,
- “පරිපුච්ඡිකථා” නම් වූ පරිපුච්ඡිත බව හෙවත් කැප අකැප යනාදිය පිළිබඳව විචාරීම බහුල කොට ඇති බවය,
- “විනයෙපකතඤ්ඤුතා” නම් වූ විනයෙහි ඉතා හොඳ පුරුද්දක් ඇති බවය,
- “වුද්ධසෙවිතා” නම් වූ ඤාණ වෘද්ධ, තපොවෘද්ධ, වයො වෘද්ධාදී වූ වෘද්ධයන් සේවනය කිරීම,
- “කල්‍යාණ මිත්තතා” නම් වූ කල්‍යාණ මිත්‍රයන් ඇති බවය,
- “සප්පායකථා” නම් වූ තැනට නිසි අර්ථවත් කථා ඇති බවය.
මේ අකුසල් දෙදෙනා අතුරෙන් කුක්කුච්චය අනාගාමි මග නුවණින්ද, උද්ධච්චය අර්හත් මග නුවණින්ද සමුච්ඡෙද වශයෙන් ප්රහාණය කළයුතු වේ.