ථින මිද්ධ නීවරණය
ථිනය සහ මිද්ධය යන පාප ධර්ම දෙක එක් කොට ගත් කල්හි ථින මිද්ධ නම් වේ. මේ පාප ධර්ම ධ්‍යාන සග මොක් ආදිය වළක්වන හෙයින් එය නීවරණ ධර්මයක් ද වන්නේය.
අසූනවයක් හෝ එක්සිය විසි එකක් ප්‍රභේද ඇති චිත්තයාගේ හෙවත් විඤ්ඤාණස්කන්ධයාගේ යම් රෝගී බවක්, අකර්මණ්‍ය බවක්, ඉරියව් ඉසිලිය නොහැකිව සිතෙහි එල්බීමක්, දැඩිසේ එල්බීමක්, හැකිලීමක්, හැකිලීම් ආකාරයක්, හැකිලීම්, බවක් වේද එයට ථින යයි කියනු ලැබේ.
දෙපනස් (52) චෛතසික කායයාගේ යම් රොගි බවක්, අකර්මණ්‍ය බවක්, අඳුරු කිරීමක්, හාත්පස අඳුරු කිරීමක්, අභ්‍යන්තරය ආවරණය කිරීමක් අකර්මණ්‍ය භාවයෙන් හිංසා කිරීමක්, නිදනාකාරයක්, නිදන බවක් වේද, එයට මිද්ධ යයි කියනු ලැබේ.
එබැවින් චිත්ත චෛතසික ධර්මයන්ගේ යම් ගිලන් බවක්, අලස බවක්, මලානික බවක් වේද එය ථීන මිද්ධ නීවරණය නම් වේ. මේ පාප ධර්ම දෙක යෙදෙන කල්හි එකටම, සසඞ්ඛාර අකුසල් සිත් පසෙහි යෙදෙමින් ‘කුසල’ ධර්මයන් ආවරණය කරන හෙයින් නීවරණ ධර්මයක් වන්නේය. මේ ථීන මිද්ධය, සිත වසා සිටින්නාවූ ද, සත්ත්වයා අන්ධ කරන්නාවූ ද, ප්‍රඥා චක්ෂුව වසන්නාවූ ද, ප්‍රඥාව නිරුද්ධ කරන්නාවූ ද සසර දික්කරන්නාවූ ද, අකුසල ධර්මයකි. ධ්‍යාන මාර්ග ඵලයන්ට ප්රතිපක්ෂවූ මේ නීවරණ ධර්මය උට්ඨාන වීර්‍ය්‍යයෙන්ම මැඩිය යුත්තේය.
ගින්නට ඇතුල්වූ කුකුල් පියාපතක් හැකිලී යන්නේ යම්සේද, එමෙන්ම ථීන මිද්ධ දෙකෙන් පෙළෙනු ලබන කල්හි චිත්ත චෛතසිකයන්ගේ හැකිලීම කරණ කොට ගෙණ අලස භාවය, අකර්මණ්‍ය භාවය, අප්‍රාණික භාවය ප්‍රකට වන්නේය.
නාම මිද්ධය, රූප මිද්ධය යයි මිද්ධයෝ දෙදෙනෙකි. එයින් නාම මිද්ධය යයි කියනු ලබන්නේ අකුසල ධර්මයක් වූ මිද්ධ චෛතසිකයටය රූප මිද්ධය යනු රූප ධර්මයන්ගේ මැලි බව නොහොත් හැකිලීමය. නිදිමත ශරීරයාගේ බර ගතිය යනාදිය ඇතිවන්නේ රූප මිද්ධය නිසාය. නීවරණ ධර්මයක් වශයෙන් සළකනු ලබන්නේ නාම මිද්ධය නම් වූ මිද්ධ චෛතසිකය බව දතයුතුයි.
මේ ථීන, මිද්ධ යන චෛතසික දෙදෙනා එක්කොට ගෙණ එකම නීවරණ ධර්මයක් ලෙස දැක්විමට භේතුව නම් ඒ ධර්ම දෙදෙනාගේ කෘත්‍ය, ප්‍රත්‍ය, සහ ප්රතිපක්ෂ ධර්මයන් සමාන බැවිනි. ථීනයෙහි කෘත්‍යය ලීනත්වය හෙවත් හැකි ලෙන බවය. මිද්ධයාගේ කෘත්‍යයද එයමය. ථීනයෙහි ප්‍රත්‍යය වඩාත් මැලි බව හා කය නොනැමෙන බවය. මිද්ධයාගේ ද එයමය. ථීනයාගේ ප්රතිපක්ෂ ධර්මය වීර්‍ය්‍යයයි. මිද්ධයාගේ ද එයමය. මේ දෙදෙනාම උපදනා කල්හි එකටම, එක සිතෙහිම උපදී. මේ ආදී කරුණු නිසා ථීන මිද්ධ දෙදෙනා එක් නීවරණ ධර්මයක් ලෙස සළකනු ලැබේ.
උකටලී බවය, කය අලස බවය කය නොනැමෙන බවය, බත්මදය හෙවත් භෝජන මූර්ඡාය, භෝජන පරිළාහය, සිත සැඟවෙන ස්වභාවය යනාදී කරුණු භේතුකොට ගෙණ චිත්ත චෛතසිකයන්ගේ නොනුවණ බවත්, අඥාන බවත් ඇතිවන්නේය. එසේ ඇතිවන කල්හි පාපාරම්මණයන්හි සිත බැඳී පවතින නිසා, කිසිකලෙකත් සිත එකඟ කිරීමක් හෝ, ධ්‍යාන මාර්ග ඵලාධිගමයක් හෝ ලබාගත නොහැකි වේ. අයොනිසෝ මනසිකාරය බහුලව පවත්නාහට වඩවඩාත් ථීනමිද්ධය උපදින්නේය.
ථීන මිද්ධ නීවරණයාගේ ප්‍රහාණයට කරුණු සයක් උපකාරවේ. එනම්:-
- “අතිභෝජනෙ නිමිත්තග්ගාහ” නම්වූ පමණ දැන ආහාර අනුභව කොට හෙවත් පමණ දැන වැළඳීම සඞ්ඛ්‍යාත භෝජනයෙහි නිමිත්ත ග්‍රහණය ද,
- “ඉරියාපථ සම්පරිවත්තනා” නම් වූ යම් ඉරියව්වකින් කල්යවන කල නිදිමත පැමිණියේ වීනම් එයින් අන්‍යවූ ඉරියව්වකට සිත කය පෙරළා වාසය කිරීමද,
- “ආලොක සඤ්ඤා මනසිකාර” නම් වූ සූර්ය්යාලොක, චන්ද්‍රාලොක, ප්රදීපාලොක යනාදිය සිහිකිරීමද,
- “අබ්භොකාසෙ වාසො” අභ්යවකාසයෙහි හෙවත් එළිමහනෙහි වාසය කිරීම ද,
- “කල්‍යාණ මිත්තතා” නම් වූ කල්‍යාණ මිත්‍ර සේව නය ඇති බවද,
- “සප්පාය කථා” නම් වූ තැනට නිසි අර්ථවත් කථා ඇති බවය.
මේ නීවරණ ධර්මය, කාමාවචර කුසල, ධ්‍යානාදිය උපදවන කල්හි තදඞ්ග විෂ්කම්භණ වශයෙන් ද, අර්හත් මග නුවණින් සමුච්ඡේද වශයෙන් ද ප්‍රහීණ වන්නේය.