අභිධර්මාර්ථ ප්‍රදීපිකා

සමුදයාර්‍ය්‍ය සත්‍යය

පුනර්භවය හෙවත් නැවත නැවත සත්ත්‍වයාගේ ඉපදීම ඇති කරන්නාවූ, නන්‍දිරාගය හා යුක්තවූ හෙවත් ඇලිම් සහගතවූ, ඒ ඒ උපන් ආත්මභාවයෙහි ඇලෙන්නාවූ කාම තෘෂ්ණා, භව තෘෂ්ණා, විභව තෘෂ්ණා සඞ්ඛ්‍යාතවූ යම් තෘෂ්ණාවක් වේද, එය සමුදය සත්‍යය යි වදාරන ලදී.

පුනර්‍භවය ඇති කිරීම තෘෂ්ණාවගේ ස්වභාවය හෙයින් තෘෂ්ණාවට පොනොභවිකා යයි කියනු ලැබේ. යම් තෘෂ්ණාවෙක් චෙතනාව හා සමඟ ඉපිද පුනර්‍භවය දේද, යම් තෘෂ්ණාවක් කර්මය සහාය කොට ඇත්තීව පුනර්‍භවය පිණිස පවතීද, විප්‍රකාරවූ ඒ තෘෂ්ණා තොමෝ පුනර්‍භවය උපදවාද, ඒ කාරණයෙන්ද පොනොභවිකා නම් වන්නීය.

තවද, පුනර්‍භවය දෙන්නා වූ තෘෂ්ණාවය, පුනර්‍භවය නො දෙන්නා වූ තෘෂ්ණාවය, පුනර්‍භවය පිණිස පවත්නා වූ තෘෂ්ණා වය, පුනර්‍භවය පිණිස නොපවත්නා වූ තෘෂ්ණාවය, අන්‍ය කර්‍මයකින් ප්‍රතිසන්‍ධිය දුන් කල්හි උපධි නම්ලද ප්‍රවෘත්ත්‍යාත්ම භාවයෙහි විපාකගන්වන කර්‍ම මාත්‍රයක් ඇති තෘෂ්ණාවය යනාදි වශයෙන් තෘෂ්ණාව නොයෙක් ප්‍රකාර වේ. මේ සියළුම තෘෂ්ණාවෝ පොනොභවික යන නාමය ලබන්නාහුය.

චිත්තයාගේ නන්‍දනයයි කියනලද බැඳෙන බව හෝ ඉපිලෙන බව හෝ පොපියන බව නන්‍දි නමි. චිත්තය අන්‍ය තත්ත්‍වයකට පමුණුවානුයි, රමණය කරවානුයි රාග නමි. මේ කියනලද නන්‍දිරාගයෙන් යුක්තවනබැවින් තෘෂ්ණා තොමෝ නන්‍දිරාගසහගතා නම් වේ. ආලම්බනයෙහි දැඩි බන්‍ධනය හා සමග වූ තෘෂ්ණාවය යන අර්ථය වේ.

මේ තෘෂ්ණාව, රූප, ශබ්ද, ගන්‍ධ, රස, පොට්ඨබ්බ, ධම්ම යන ආලම්බනයන්හි දැඩිව ඇලෙන ස්වභාවය ඇත්තීය.

තවද මේ තෘෂ්ණාව කාම තෘෂ්ණා, භව තෘෂ්ණා, විභව තෘෂ්ණා යයි ත්‍රිවිධ වේ.

පඤ්චකාම ගුණයෙහි පැවති තෘෂ්ණා තොමෝ කාම තෘෂ්ණා නමි. මෙය පඤ්චකාම කොට්ඨාසයන්හි පැවති රාගයාගේ නාමය වේ. රූපාරූප භවයෙහි පැවති තෘෂ්ණා තොමෝ භව තෘෂ්ණා නමි. එය භව ප්‍රාර්ථනා වශයෙන් උපන්නා වූ ශාස්වත දෘෂ්ටිය හා සමග පැවැත්තා වූ රූපාරූප භවයන්හි පැවති රාගයාගේද, ධ්‍යාන නිකාන්තියගේද නාමය වේ. කාම, රූප, අරූප භවයෙන් අපගමයෙහි පැවති තෘෂ්ණා තොමෝ විභව තෘෂ්ණා නමි. මෙය උච්ඡේද දෘෂ්ටිය හා සමග පැවැත්තා වූ රාගයාගේ නාමය වේ.

මේ තෘෂ්ණාව උපදිනු ලබන්නේ කවර තැනෙක්හි උපදී ද, පවතිනු ලබන්නේ කවර තැනෙක්හි පවතීද? ලෝකයෙහි යමක් ප්‍රිය ස්වභාව ඇත්තේ ද, සැප ස්වභාව ඇත්තේද, එහි උපදිනු ලබන්නා වූ මේ තෘෂ්ණාව උපදියි. පවතිනු ලබන්නාවූ මේ තෘෂ්ණාව පවතී.

මේ ලෝකයෙහි චක්‍ෂුරාදීන්හි මමත්‍වයෙන් හෙවත් තමා අයත් බැවින් වරදවාගෙන මුළාවූ සැප සම්පත් ඇති දෙව් මිනිස් භවයන්හි පිහිටි සත්ත්‍වයෝ චක්‍ෂුප්‍රසාද සහිතවූ මාංස පිණ්ඩය නම් වූ මේ ඇස, කැටපත් ආදියෙන් බලා පිරිසිදුවූ නිල්, රන්, රතු, කළු, සුදු පැහැ ඇත්තාවූ රන් විමනෙක විවෘත කළ මිණි සී මැදුරක් මෙන් හඟින්නාහුය. එපරිද්දෙන්ම සොතප්‍රසාද සහිතවූ කර්‍ණ පිණ්ඩය රිදී නළ සිදුරක් මෙන්ද රන් හවඩි පටක් මෙන්ද හඟින්නාහුය, උස් වූ, දික් වූ නැහැය ඇති සත්ත්‍වයෝ ඝ්‍රාණප්‍රසාද සහිතවූ මාංස පිණ්ඩය හෙවත් නැහැය, වටා තුබූ හිරියල් වැටියක් මෙන්ද, ජිව්හා ප්‍රසාද සහිතවූ දිව, රක්ත වර්‍ණ කම්බල වස්ත්‍ර පටලයක් මෙන්ද, මොළොක්, සිනිඳු, මිහිරි රස විඳින්නෙකු මෙන්ද, කාය ප්‍රසාද සහිතවූ ශරීරය තරුණ සල් රුකක් මෙන්ද, රන් තොරණක් මෙන්ද, හඟින්නාහුය. සිතද, අනිකෙකු ගේ සිත හා නොසමකොට, උදාරවූවක් කොට හඟියි. රූපාලම්බනය, ස්වර්‍ණ කර්‍ණිකාර පුෂ්පාදීන්ගේ වර්‍ණයක්හු මෙන්ද, ශබ්දාලම්බනය, මත්වූ කූරවී කොවුල් හඬ මෙන්ද, මඳහඬින් පිඹිනලද රුවන් වස්දඬු හඬක් මෙන්ද, චතු සමුට්ඨානික ගන්‍ධ රස, පොට්ඨබ්බාදි ආලම්බනයෝ අන්‍යවූ කවරෙකුහට ඇද්දැයි යනාදී වශයෙන් හඟින්නාහුය. මෙසේ හඟින්නාවූ ඒ සත්ත්‍වයන්ට, ඒ චක්‍ෂුරාදිහු ප්‍රිය ස්වභාව ඇත්තාහු වශයෙන් ද, සැප ස්වභාව ඇත්තාහු වශයෙන්ද හැඟීමක් ඇති කල්හි ඒ චක්‍ෂුරාදීන්හි නූපන්නාවූ තෘෂ්ණාව උපදී. උපන්නාවූ තෘෂ්ණාවද, නැවත නැවත පැවතීම් වශයෙන් බැස ගනී. එහෙයින් යමක් ප්‍රිය ස්වභාව ඇත්තේද, සැප ස්වභාව ඇත්තේද, එහි උපදිනු ලබන්නාවූ මේ තෘෂ්ණාව උපදියි. පවතිනු ලබන්නාවූ මේ තෘෂ්ණාව පවතියයි වදාරන ලදී.

මෙසේ, චක්ඛු, සොත, ඝාණ, ජිව්හා, කාය, මන යන ෂඩ්විධ අධ්‍යාත්මායතනයන්හිද,

රූප, ශබ්ද, ගන්‍ධ, රස, පොට්ඨබ්බ, ධම්ම යන ෂඩ්විධ බාහිර ආයතනයන්හිද,

චක්ඛු විඤ්ඤාණ, සොත විඤ්ඤාණ, ඝාණ විඤ්ඤාණ, ජිව්හා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනො විඤ්ඤාණ යන ෂඩ්විධ විඤ්ඤාණයන්හිද,

චක්ඛු සම්ඵස්ස, සොත සම්ඵස්ස, ඝාණ සම්ඵස්ස, ජිව්හා සම්ඵස්ස, කාය සම්ඵස්ස, මනො සම්ඵස්ස යන ෂඩ්විධ සම්ඵස්සයන්හිද,

චක්ඛු සම්ඵස්සජා වෙදනා, සොත සම්ඵස්සජා වෙදනා ඝාණ සම්ඵස්සජා වෙදනා, ජිව්හා සම්ඵස්සජා වෙදනා, කාය සම්ඵස්සජා වෙදනා, මනො සම්ඵස්සජා වෙදනා යන ෂඩ්විධ වෙදනාවන්හිද,

රූප සංඥා, ශබ්ද සංඥා, ගන්‍ධ සංඥා, රස සංඥා, පොට්ඨබ්බ සංඥා, ධම්ම සංඥා යන ෂඩ්විධ සංඥාවන්හිද,

රූප සඤ්චෙතනා, ශබ්ද සඤ්චෙතනා, ගන්‍ධ සඤ්චෙතනා, රස සඤ්චෙතනා, පොට්ඨබ්බ සඤ්චෙතනා, ධම්ම සඤ්චෙතනා යන ෂඩ්විධ චෙතනාවන්හිද,

රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්‍ධ තණ්හා, රස තණ්හා පොට්ඨබ්බ තණ්හා, ධම්ම තණ්හා යන ෂඩ්විධ තණ්හාවන්හිද,

රූප විතර්‍ක, ශබ්ද විතර්‍ක, ගන්‍ධ විතර්‍ක, රස විතර්‍ක, පොට්ඨබ්බ විතර්‍ක, ධම්ම විතර්‍ක යන ෂඩ්විධ විතර්‍කයන්හිද, රූප විචාරය, ශබ්ද විචාරය, ගන්‍ධ විචාරය, රස විචාරය, පොට්ඨබ්බ විචාරය, ධම්ම විචාරය යන ෂඩ්විධ විචාරයන්හිඳ,

යන සැට තැන්හි ප්‍රිය ස්වභාවය, සැප ස්වභාවය ඇත්තේ යයි ගත් කල්හි උපදිනු ලබන්නාවූ තෘෂ්ණාව ඒ සැට තැන්හි උපදී. පවතිනු ලබන්නාවූ තෘෂ්ණාව ඒ සැට තැන්හි පවතී.

මෙපරිද්දෙන් සෑම තැනෙක්හි උපදින්නාවූද, පවතින් නාවූද පුනර්‍භවය ඇතිකරන්නාවූද, නන්‍දිරාගය හා යුක්තවූ ද, ඒ ඒ උපන් ආත්ම භාවයෙහි ඇලෙන්නාවූද, කාම තෘෂ්ණා භව තෘෂ්ණා, විභව තෘෂ්ණා වශයෙන් ත්‍රිවිධවූ මේ තෘෂ්ණා තොමෝ සමුදයාර්‍ය්‍ය සත්‍යය යයි වදාරන ලදී.