අභිධර්මාර්ථ ප්‍රදීපිකා

එකවිධාදි වශයෙන්,

දුක්ඛ සත්‍යය

සියළුම දුක් සසර පැවැත්වීම් වශයෙන් එකවිධ වේ.

නාම රූප වශයෙන් ද්විධ වේ.

කාම, රූප, අරූප භවයන්හි උත්පත්ති භවයාගේ භෙද වශයෙන් ත්‍රිවිධ වේ.

සතර වැදෑරුම් ආහාරයන්ගේ භෙද වශයෙන් චතුර්විධ වේ.

පඤ්චුපාදානස්කන්‍ධයන්ගේ භෙද වශයෙන් පඤ්චවිධ වේ.

සමුදය සත්‍යය.

සසර දුක් පැවැත්වීම් වශයෙන් එකවිධ වේ.

දිට්ඨි සම්ප්‍රයුක්ත, දිට්ඨි විප්‍රයුක්ත වශයෙන් ද්විධ වේ.

කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වශයෙන් ත්‍රිවිධ වේ.

සතර මාර්ගයන් විසින් පහකළයුතු හෙයින් චතුර්විධ වේ.

ස්කන්‍ධ පඤ්චකයෙහි පවත්නා තණ්හාවගේ වශයෙන් පඤ්චවිධ වේ.

රූප තණ්හාදි ෂඩ්විධ ප්‍රභෙදයන්ගේ වශයෙන් ෂඩ්විධ වේ.

නිරොධ සත්‍යය,

නිර්වාණය අසඞ්ඛත බැවින් එකවිධ වේ.

පර්ය්‍යාය වශයෙන් සොපාදිශෙස, අනුපාදිශෙස යන ප්‍රභෙදයන්ගේ වශයෙන් ද්විධ වේ.

භවත්‍රය කෙරෙන් සංසිඳීම් වශයෙන් ත්‍රිවිධ වේ.

චතුර්විධ මාර්‍ගයෙන් පැමිණිය යුතු වන හෙයින් චතුර්- විධ වේ.

රූපාභිනන්‍දනාදී පඤ්චාභිනන්‍දනයන් කෙරෙන් ව්‍යුපසම වශයෙන් පඤ්චවිධ වේ.

රූප තණ්හාදි ෂඩ්විධ තෘෂ්ණාවන්ගේ ප්‍රහීන භේද වශයෙන් ෂඩ්විධ වේ.

මාර්‍ග සත්‍යය වැඩියයුතු හෙයින් එකවිධ වේ.

සමථ, විදර්‍ශනා භේද වශයෙන් ද්විවිධ වේ.

මාර්‍ගක්‍ෂණයේදී සමථ විදර්‍ශනා දෙක යුගනන්‍ධව පවතී. යමෙකුගේ ප්‍රඥෙන්‍ද්‍රිය අධිකවී නම් ඔහුගේ මාර්‍ගය විදර්‍ශනා නමි. යමෙකුගේ සමාධින්‍ද්‍රිය අධිකවී නම් ඔහුගේ මාර්‍ගය සමථ නමි.

සීලස්කන්‍ධ, සමාධිස්කන්‍ධ, ප්‍රඥාස්කන්‍ධ යන ස්කන්ධත්‍රයාගේ ප්‍රභේද වශයෙන් ත්‍රිවිධ වේ.

සම්මාවාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන මාර්‍ගාඞ්ගයෝ තිදෙන සීලස්කන්‍ධය නමි.

සම්මා වායාම, සම්මාසති, සම්මාසමාධි යන මාර්‍ගාඞ්ගයෝ තිදෙන සමාධිස්කන්‍ධය නමි.

සම්මාදිට්ඨි, සම්මාසඞ්කප්ප යන මාර්‍ගාඞ්ගයෝ දෙදෙන ප්‍රඥාස්කන්‍ධ නමි.

සීලස්කන්‍ධය යනු විරති සීලයයි. සමාන ජාති වශයෙන් සම්මාවාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන තුන්දෙන එක් කොට සීලස්කන්‍ධය යයි සංග්‍රහ කරන ලදී.

සමාධිස්කන්‍ධය නමින් දැක්වෙන සම්මාවායාමාදි ත්‍රිවිධ මාර්‍ගාඞ්ගයන් අතුරෙන් සමාධිය තමාගේ ස්වභාව වශයෙන්ම ආලම්බනයෙහි පිහිටන්නට නොහැකි වේ. වීර්‍ය්‍ය යෙන් අනුබල ලැබිම් වශයෙන් ස්මෘතියෙන් සිහිකිරීම් වශයෙන් උපකාර ලත් කල්හි අරමුණෙහි එකඟවීම් වශයෙන් පිහිටන්නට හැකි වේ. එයට උපමාවෙක් මෙසේයි.

සැණකෙළි පිණිස උයනට ගිය තුන් යහළුවන් අතුරෙන් එකෙක් මනාසේ මල් හටගත්තාවූ සපු ගසක් දැක අත ඔසවා මල් නෙලාගන්නට උත්සාහ කොට නො හැකිවූ බව දුටු දෙවන යහළුවා ඉදිරියට නැමී පිට දෙන්නේය. ඒ පළමු යහළුවා දෙවන යහළුවාගේ පිටෙහි සිට වෙවුලන්නේ මල් නෙලාගන්නට නොහැකිව සිටින බව දුටු තුන්වන යහළුවා තමාගේ උරහිස ඵලවන්නේය, එවිට පළමු යහළුවා එක් යහළුවකුගේ පිටෙහි එක් පයක්ද අනික් යහළුවාගේ උර හිසෙහි දෙවන පයද තබා කැමැති පරිද්දෙන් මල්නෙලා ගෙනවුත් පැළඳ සැණකෙළි යෙහි යෙදෙන්නේය.

එපරිද්දෙන් එක්ව උයනට වන් තුන් යහළුවන් මෙන් එක්ව උපන් සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන මාර්‍ගාඞ්ගත්‍රය දත යුත්තාහ. මල් පිපි සපු ගස මෙන් අරමුණ දතයුත්තේය. අත ඔසවා මල් නෙලාගන්නට නොහැකිවූ යහළුවා මෙන් තමාගේ ප්‍රකෘති ශක්තියෙන් අරමුණෙහි එකඟව පිහිටන්නට අසමත් සම්මා සමාධිය දතයුතුයි. ඉදිරියට නැමී පිට දුන් දෙවන යහළුවා මෙන් සම්මා වායාමය දතයුතුයි. මෙසේ සම්මා වායාමයෙන් අනුබලදීම් කෘත්‍යයද, සම්මා සතියෙන් ස්මරණ කෘත්‍යයද සිදුකරන කල්හි සම්මා සමාධිය අරමුණෙහි එකඟව පිහිටන්නට සමත් වේ.

ප්‍රඥාස්කන්‍ධය වශයෙන් දක්වන ලද සම්මා දිට්ඨි, සම්මා සඞ්කප්ප යන මාර්‍ගාඞ්ගයන් දෙදෙනා අතුරෙන් සම්මාදිට්ඨිය තමාගේ ශක්තියෙන්ම අනිත්‍යය, දුක්ඛය, අනාත්මය යයි සංස්කාර ධර්‍ම සඞ්ඛ්‍යාත ආලම්බනය නිශ්චය කරන්නට අසමර්‍ත්‍ථ වේ. විතර්‍කය විසින් පෙරළ පෙරළා දෙන කල්හි නිශ්චය කරන්නට සමත් වේ. රන් කරුවෙක් කහවණුවක් අත්ලෙහි තබා හොඳ හැටි බලනු කැමති වූයේවී නමුත්, ඇසින්ම කහවණු පෙරළා දෙන්නට නොහැකි වේ. අතෙහි ඇඟිලි පුරුක් වලින් පෙරළ පෙරළා දෙන කල්හි සෑම ආකාරයක්ම බැලීමට හැකි වේ. එපරිද්දෙන්ම සම්මා දිට්ඨි නම්වූ ප්‍රඥාවද, තමාගේ ප්‍රකෘති ස්වභාවයෙන් අනිත්‍යාදි ලක්‍ෂණ වශයෙන් අරමුණ නිශ්චය කරන්නට අසමත් වේ. අරමුණට තගාලන ලක්‍ෂණ ඇති විතර්‍කයා විසින් අරමුණ පෙරළ පෙරළා දුන් කල්හි අරමුණ නිශ්චය කරන්නට සමත් වේ. මෙසේ තුන් වැදෑරුම්වූ ශීල, සමාධි, ප්‍රඥාස්කන්‍ධයන්ගේ වශයෙන් මාර්‍ගය තෙම තුන් වැදෑරුම් වන බව දතයුතු.

මාර්‍ගය තෙම සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අර්හත් යන සතර මාර්‍ගයන්ගේ වශයෙන් චතුර්විධ වේ.

තවද, මේ සතර සත්‍යයෝම අවිපරීත වූ සත්‍යතාව යෙන්ද ප්‍රත්‍යක්‍ෂ වශයෙන් දතයුතු බැවින්ද, විශිෂ්ටඥානයෙන් දතයුතු බැවින්ද, එකවිධය. ලෞකික ලොකොත්තර වශයෙන්ද, සඞ්ඛත, අසඞ්ඛත භාවයෙන්ද ද්විප්‍රකාර වේ. සෝවාන් මාර්‍ග සඞ්ඛ්‍යාත දර්‍ශනය හා සකෘදාගාමි, අනාගාමි, අර්හත් යන මාර්‍ගත්‍ර සඞ්ඛ්‍යාත භාවනා යෙන්ද, ප්‍රහාතව්‍ය වශයෙන් ද, අප්‍රහාතව්‍ය වශයෙන්ද, ප්‍රහාතව්‍ය අප්‍රහාතව්‍ය නොවීම් වශයෙන්ද ත්‍රිවිධ වේ. පරිඥෙය්‍ය, පහාතව්‍ය, සච්ඡිකාතව්‍ය, භාවේ තව්‍ය ධර්‍මයන්ගේ වශයෙන් චතුර්විධ වේ.