සත්යාර්ථය
මේ චතුරාර්‍ය්‍යසත්‍යයන් නුවණැසින් බලන්නාවූ පුද්ගලයා හට ඉන්ද්‍රජාලික මායාවක් මෙන් විපරීත බව හෙවත් අර්ථය වෙනස් වීමක් නොවන්නේය. එසේම මිරිඟු දියක් මෙන් කිසිවක් නොලැබිය හැකි අභූතයෙක්ද නොවේ තීර්ථකයන්ගේ ආත්ම වාදයෙහි මෙන් පරමාර්ථ වශයෙන් නොලැබෙන්නාවූ ස්වභාවයකුදු නොවේ. එකාන්තයෙන්ම බාධන ලක්ෂණය, පභව ලක්ෂණය, සන්ති ලක්ෂණය, නීයාණ ලක්ෂණය යන සතරවිධ ලක්ෂණයෙන් යුක්තව, අවිතථාදිභාවයෙන්ද, අනන්‍යථා භාවයෙන්ද, සත්‍ය භාවයෙන්ද ආර්‍ය්‍යයන්ගේ මාර්ගඥානයට ගෝචර වූයේම වේ. මෙසේ සත්යාර්ථය දතයුතු.
අනූනාධික වශයෙන් සළකන කල්හි භාග්‍යවතුන් වහන්සේ විසින් සතරකට අඩු නොවූ, වැඩි නොවූ ආර්‍ය්‍ය සත්‍යය ධර්මයන් දේශනා කිරීමට හේතුව දතයුතු.
චතුස්සත්‍යයන් කෙරෙන් අන්‍යවූ සත්‍යයෙක් නැති බැවින්ද, එයින් එක් සත්‍යයක්වත් නොහළයුතු බැවින්ද, සතරක්ම වදාරන ලදී. එසේ තථාගතයන් වහන්සේ විසින් වදාළ දුක්ඛාර්‍ය්‍යසත්‍යය, දුක්ඛාර්‍ය්‍යසත්‍යය නොවේ යයි ද, අනිකක් දුක්ඛාර්‍ය්‍යසත්‍යය යයි ද, පණවන්නට සමත් මහණෙක් හෝ බමුණෙක් හෝ නැත්තේමය.
තවද, දුක්ඛසත්‍යය දක්වා වදාරන්නාවූ භාග්‍යවතුන් වහන්සේ සමුදය සත්‍යය සඞ්ඛ්‍යාත හේතුව සහිතවූ දුක්ඛ සත්‍යය සඞ්ඛ්‍යාත ප්‍රවෘත්තිය දක්වා වදාළ සේක. එසේම නිරෝධ සත්‍යය දක්වා වදාරන්නාවූ භාග්‍යවතුන්වහන්සේ මාර්‍ගසත්‍යය සඞ්ඛ්‍යාත උපාය සහිතවූ නිරෝධ සත්‍යය සඞ්ඛ්‍යාත නිවෘත්තිය දක්වා වදාළ සේක. මෙසේ සංසාර දුක්ඛයාගේ පැවැත්මත්, නැවැත්මත් යන දුක්ඛ, නිරෝධ සත්‍යයන් දෙසනා කරන්නාවූ භාග්‍යවතුන්වහන්සේ දුක්ඛයට හේතුවත්, නිරෝධ මාර්ගයත්, දක්වමින් ආර්‍ය්‍ය සත්‍යයන් සතරක්ම දෙසනා කළ සේක.
එසේම පරිඤ්ඤෙය්‍ය හෙවත් පිරිසිඳ දතයුතු වූ ධර්මයෝය, පහාතබ්බ හෙවත් ප්‍රහාණ කළයුතු ධර්මයෝය, සච්ඡිකාතබ්බ හෙවත් ප්රත්යක්ෂ කළයුතු ධර්මයෝ ය, භාවේතබ්බ හෙවත් භාවනා වශයෙන් වැඩියයුතු ධර්මයෝය යන මොවුන්ගේ වශයෙන්ද ආර්‍ය්‍ය සත්‍ය ධර්ම සතරක්ම වදාරණ ලදී.
එසේම තණ්හාවත්ථු හෙවත් තෘෂ්ණාවගේ ආලම්බනය තණ්හාව, තණ්හා නිරෝධ, හෙවත් තෘෂ්ණාවගේ නිරෝධය, තණ්හානිරෝධූපාය හෙවත් තෘෂ්ණා නිරෝධයාගේ උපාය මාර්ගය යන මොවුන්ගේ වශයෙන්ද ධර්ම සතරක්ම වදාරන ලදී.
එ පරිද්දෙන්ම, ආලය හෙවත් පඤ්චකාම ගුණාදී දුක්ඛය, ආලයරාමතා හෙවත් පඤ්චක ම ගුණාදී දුක්ඛයෙහි ඇලීම නම්වූ තෘෂ්ණාවය, ආලයසමුග්ඝාත හෙවත් තෘෂ්ණාවගේ සමූලඝාතනය, ආලයසමුග්ඝාතූපාය හෙවත් තෘෂ්ණාව සිඳලන්නාවූ උපාය මාර්ගය යන මොවුන්ගේ වශයෙන්ද ධර්මයෝ සතරදෙනෙක්ම දේශනා කරන ලදී.