අභිධර්මාර්ථ ප්‍රදීපිකා

චතුරාර්‍ය්‍ය සත්‍යයන්ගේ ලක්‍ෂණාදි ප්‍රභේදය.

දුක්ඛ සත්‍යය

බාධන ලක්‍ෂණය - දුක්ඛදුක්ඛය, දුකට නිමිත්තය යයි කියන ලද පීඩාව ලක්‍ෂණකොට ඇත්තේය. නොහොත්, උදයව්‍යය දෙකින් පෙළණු ලැබීම ලක්‍ෂණකොට ඇත්තේය, නොහොත් පිඩා කරන ලක්‍ෂණ ඇත්තේය.

සන්තාප රසය. භවාදීන්හී, ජාති ආදි වශයෙන්ද නොයෙක් රෝගාදි වශයෙන්ද, නොයෙක් ආකාරයෙන් දුක්ඛයාගේ පැවත්ම වන හෙයින් පුද්ගලයා වැඩියක් තවන කෘත්‍ය හෙවත් රසය ඇත්තේය.

පවත්ති පච්චුපට්ඨාන. සංසාර මොක්‍ෂ සඞ්ඛ්‍යාතවූ ප්‍රවෘත්ති නිවෘත්ති අතුරෙන් සංසාර ප්‍රවෘත්තියම හෙවත් සංසාර වෘත්ත දුක්ඛයෙහි නැවත නැවත පැවැත්මම වැටහීම්කොට ඇත්තේය.

සමුදය සත්‍යය

පභව ලක්‍ෂණය. පෙර භවයෙන් පසු භවය ගළපනලදුව දුක්ඛොත්පාදයට කාරණාවූ ලක්‍ෂණ ඇත්තේය.

අනුපච්ඡෙදකරණ රසය. නොකඩව හෙවත් නැවත නැවත දුක් උපදවන කෘත්‍යය ඇත්තේය.

පළිබෝධ පච්චුපට්ඨානය. භව නිස්සරණයයි කියන ලද මාර්ගඥානය ආවරණය කරන බව, වැටහීම කොට ඇත්තේය.

නිරෝධ සත්‍යය

සන්ති ලක්‍ෂණය. රාගක්‍ෂය කිරීම් ආදි භාවයෙන් සියළු දුක් සන්සිඳීම ලක්‍ෂණකොට ඇත්තේය.

අච්චුති රසය. අච්චුති හෙවත් චුති රහිත බව කෘත්‍ය කොට ඇත්තේය.

අනිමිත්ත පච්චුපට්ඨානය. පඤ්චස්කන්‍ධ සඞ්ඛ්‍යාත නිමිත්තයා කෙරෙන් ශූන්‍ය බැවින් අශරීරවත් බව වැටහීම් කොට ඇත්තේය.

මාර්ග සත්‍යය

නීය්‍යාණ ලක්‍ෂණය. අනුශය ක්ලේශයන් සමූලඝාතනය කිරීම් වශයෙන් සංසාර ප්‍රවෘත්තිය කෙරෙන් නික්මෙන උපාය භාවය ලක්‍ෂණ කොට ඇත්තේය.

කිලේසප්පහානකරණ රසය. කෙලෙසුන් ප්‍රහාණය කිරීම කෘත්‍යය කොට ඇත්තේය.

වුට්ඨාන පච්චුපට්ඨානය. සමුදය හෝ පඤ්චුපාදාන සකන්‍ධය යයි කියනලද නිමිත්තයා කෙරෙන්ද දුක්ඛ යයි කියන ලද සංසාර ප්‍රවෘත්තිය කෙරෙන්ද මාර්ග චිත්තයාගේ නැගී සිටීම වැටහීම් කොට ඇත්තේය.

තවද. මේ ආර්‍ය්‍ය සත්‍යයෝ සතර දෙනාගේ පවත්ති, පවත්තක, නිවත්ති, නිවත්තක වශයෙන් පිළිවෙලින් ලක්‍ෂණ සතරෙක් වේ. එනම් සංසාර දුක්ඛයාගේ පැවැත්ම, දුක්ඛ සත්‍යයාගේ ලක්‍ෂණයයි. සසර දුක පැවැත්වීම සමුදය සත්‍යයාගේ ලක්‍ෂණය වේ. සංසාර දුක්ඛයාගේ නිවෘත්තිය නිරෝධ සත්‍යයාගේ ලක්‍ෂණයයි. සංසාර දුක්ඛයාගේ නිවර්තකය මාර්ග සත්‍යයාගේ ලක්‍ෂණය වේ.

එසේම, සඞ්ඛත, තණ්හා, අසඞ්ඛත, දස්සන යයි ලක්‍ෂණ සතරෙක්ද වේ.

සඞ්ඛත නම් ප්‍රත්‍යයන් එකතුව සකස් කිරීමය එනම්, දුක්ඛ සත්‍යයයි. ආලම්බයෙහි ඇලෙන ස්වභාවය තණ්හා නම් එනම්, සමුදයාගේ ලක්‍ෂණයයි. ප්‍රත්‍යයන් එකතුව සකස් නොකිරීම අසඞ්ඛත නම්. එනම්, නිරෝධ සත්‍යයාගේ ලක්‍ෂණයයි. නිවන් දක්නා බව දස්සන නම්. එනම්, මාර්ග සත්‍යයාගේ ලක්‍ෂණයයි.