අභිධර්මාර්ථ ප්‍රදීපිකා

සත්‍ය ධර්මයන්ගේ දේශනා ක්‍රමය

ඖදාරික බැවින්ද, සියළුම සත්ත්‍වයන්ට සාධාරණ බැවින්ද, සුවසේ අවබෝධ කළහැකි බැවින්ද, දුක්ඛසත්‍යය පළමුකොට වදාරණ ලදී.

ඒ දුක්ඛසත්‍යයාගේ හේතුව දක්වනු පිණිස එයට ඉක්බිතිව සමුදය සත්‍යය වදාළ සේක.

හේතුවගේ නිරෝධයෙන් ඵලයාගේ නිරෝධය වේ යයි දැක්වීම පිණිස, සමුදය සත්‍යයට අනතුරුව නිරෝධ සත්‍යය වදාළ සේක.

අවසානයෙහි, ඒ නිරෝධ සත්‍යාධිගමයාගේ උපාය සඞ්ඛ්‍යාත හේතුව දැක්වීම පිණිස මාර්ග සත්‍යය වදාළ සේක.

තවද, කාම, රූප, අරූප යන තුන්භවයෙහි වූ සුඛයෙහි ආස්වාදයෙන් ඇලුනාවූ සත්ත්‍වයන්ට සංවේගය ඉපදවීම පිණිස පළමුකොට දුක්ඛ සත්‍යය වදාරන ලදී,

ඒ දුක්ඛය තෙම, නොකරනලදුව නො ආයේය. ඊශ්වර නිර්මාණාදී හේතුවකින්ද නො ආයේය. මේ සමුදය සඞ්ඛ්‍යාත හේතුවෙන්ම වේයයි දැක්වීම පිණිස දුක්ඛසත්‍යයට අනතුරුව සමුදය සත්‍යය වදාළ සේක.

එයට අනතුරුව සමුදය සඞ්ඛ්‍යාත හේතු සහිතවූ දුක්ඛය විසින් මඩනාලද බැවින් කළකිරුණු සිත් ඇත්තේ, දුකින් මිදීම යයි කියනලද නිවන් සැප සොයන්නවුන්ට දුකින් මිදීම දැක්වීමෙන් සැනසීම ලබාදෙනු පිණිස නිරෝධ සත්‍යය වදාළ සේක.

අවසානයෙහි නිරොධසත්‍යාධිගමය පිණිස නිවණට පමුණුවන්නාවූ මාර්‍ගය හෙවත් මාර්‍ග සත්‍යය වදාළ සේක.

සත්‍යඥාන. සත්‍යඥානයෝ දෙදෙනෙකි. එනම්, අනු- බොධ ඥානය හෙවත් අනුශ්‍රවණාදීන්ගේ වශයෙන් චතුරාර්‍ය්‍යසත්‍යය දන්නා නුවණය. එනම්, පෘථග්ජන සන්තානයෙහි පැවති ඥාන සම්ප්‍රයුක්ත මහා කුසල චිත්තයන් හා සහජාතවූ ඥානයයි.

ප්‍රතිවෙධඥානය - හෙවත් එකවර සිව්සස් පිරිසිඳ දන්නා නුවණය එනම්: මාර්‍ග චිත්ත සම්ප්‍රයුක්තවූ ඥානයයි.

මේ සත්‍යඥාන දෙදෙනා අතුරෙන් අනුබොධඥානය ලෞකිකය, අනුශ්‍රවණාදීන්ගේ වශයෙන් නිරොධ සත්‍යයෙහිද, මාර්‍ග සත්‍යයෙහිද අරමුණු කිරීම් වශයෙන් පවතී. ප්‍රතිවෙධ ඥානය ලෝකෝත්තරය. නිර්‍වාණය අරමුණුකොට දුක්ඛසත්‍යය පිරිසිඳ දැනීම, සමුදය සත්‍යය පහකිරීම, නිරොධ සත්‍යය සාක්‍ෂාත් කිරීමය, මාර්‍ග සත්‍යය වැඩීමය යන චතුර්විධවූ කෘත්‍යයන් ප්‍රතිවෙධය කරයි.

යම් ආර්‍ය්‍ය පුද්ගලයෙක් දුක දකීද, හෙතෙම දුක්ඛයාගේ හේතුවද, දුක්ඛ නිරොධයද, දුක්ඛයාගේ නිරොධයට කාරණ වූ ප්‍රතිපදාවද දක්නේය.

චතුර්විධවූ ලෞකික සත්‍ය ඥානයන් අතුරෙන් දුක්ඛ සත්‍යය පමණක් අනුශ්‍රවණාදි වශයෙන් දන්නා ඥානය පරියුට්ඨාන අවස්ථාව මැඩපීම් වශයෙන් පවත්නේ විසි ආකාරවූ සක්කායදෘෂ්ටිය වළක්වයි.

සමුදය සත්‍යය පමණක් අනුශ්‍රවණාදි වශයෙන් දන්නා ඥානය උච්ඡේද දෘෂ්ටිය වළක්වයි.

නිරොධ සත්‍යය පමණක් අනුශ්‍රවණාදි වශයෙන් දන්නා ඥානය ශාස්වත දෘෂ්ටිය වළක්වයි.

මාර්‍ග සත්‍යය පමණක් අනුශ්‍රවණාදි වශයෙන් දන්නා ඥානය අකිරිය දෘෂ්ටිය වළක්වයි.

තවද, දුක්ඛ සත්‍යය පිළිබඳ ඥානය නිත්‍ය, ශුභ, සුඛ, ආත්මභාව යන මෙයින් තොරවූ ස්කන්‍ධයන්හි නිත්‍යභාව, ශුභභාව, සුඛභාව, ආත්මභාව සංඥා යයි කියන ලද ඵලයෙහි වරදවා පිළිපැදීම් වළක්වයි.

සමුදය සත්‍යයෙහි පැවති නුවණ ඊශ්වර නිර්මාණ හේතුය, ප්‍රකෘති නම්ලද අව්‍යක්ත හේතුය, කාල හේතුය, ස්වභාව හේතුය යනාදී හේතු ශක්තීන් කරණකොටගෙන සත්ත්‍වයා පවත්නේයයි මෙසේ අහේතුවෙහි හේතුවකැයි අභිමාන වශයෙන් වරදවා පිළිපැදීම වළක්වයි.

නිරෝධ සත්‍යයෙහි පැවති නුවණ අරූපාවචර භූමිය, අසංඥ සත්ත්‍වය යනාදී භූමීන්හි සංස්කාර ධර්මයන් මොක්‍ෂය යයි ගැනීමවූ දුක්ඛයාගේ නිරෝධයෙහි වරදවා පිළිපැදීම වළක්වයි.

මාර්ග සත්‍යයෙහි පැවති නුවණ කාමසුඛල්ලිකානුයොග, අත්තකිලමථානුයොග වශයෙන් නොයෙක් ප්‍රභේදවූ අනිර්වාණ මාර්ගයෙහි නිර්වාණාධිගමයට උපාය මාර්ගය යයි ලබ්ධි ගැනීම් වශයෙන් පැවති උපාය මාර්ග සඞ්ඛ්‍යාත හේතුවෙහි වරදවා පිළිපැදීම වළක්වයි.

මෙසේ යම්තාක් කල් සත්ත්‍ව තෙම සත්‍යයන් නොදනිද, ඒතාක් කල් සංස්කාර ලෝකයෙහිද, සංස්කාර ලෝකයාගේ හේතුවෙහිද, සංස්කාර ලෝකයාගේ නිරෝධයවූ නිර්වාණයෙහිද, ඒ නිර්වාණාධිගමයට උපාය මාර්ගයවූ හේතුවෙහි ද මුළාවේ.