චතුස්සත්‍යයන්ගේ වචනාර්ථය
දුක්ඛ - දු - යන්නෙන් නින්‍දිතාර්ථය දැක්වේ. ඛ - යන්නෙන් හිස්වූ අර්ථය ප්‍රකාශ වේ.
නොයෙක් උපද්‍රවයන්ගේ ප්‍රවෘත්තිස්ථාන වන හෙයින් නින්‍දිතය, ගර්හිතය, අන්‍ධ පෘථග්ජන සමූහයා විසින් කල්පනා කොට ගන්නාලද නිත්‍ය, සුභ, සුඛ, ආත්ම භාවයෙන් තොරවූ හෙයින් රික්තය, සිස්ය, එසේ නින්‍දිත බැවිනුදු, සිස් බැවිනුදු දුක්ඛ යයි කියනු ලැබේ.
සමුදය - සං - යන්නෙන් එක්වීම, ගැළපීම ප්‍රකාශ වේ. උ - ශබ්දයෙන් උත්පත්තිය ප්‍රකාශ වේ. අය - ශබ්දයෙන් හේතුව පළවේ.
තමා කෙරෙන් අවශිෂ්ට වූ ප්‍රත්‍යයන් හා එක්වීමක් ගැළපීමක් ඇති කල්හි දුක්ඛයාගේ උත්පත්ති හේතුව වේ එබැවින් දුක්ඛයාගේ ඉපදීමට කරුණු වන බැවින් දුක්ඛ සමුදය යයි වදාරන ලදි.
නිරෝධය-නි - යන්නෙන් නාස්ති භාවය හෙවත් නැති බව දක්වේ. රෝධ ශබ්දයෙන් පැවැත්ම කියවේ.
මේ අසඞ්ඛත ධාතුව වූ නිර්‍වාණයෙහි සියලු ගතින් කෙරෙන් ශුන්‍ය වූ බැවින් සංසාරයෙහි ප්‍රවෘත්තිය යයි කියන ලද හෙවත් සසර සැරිසැරීම යයි කියන ලද දුක්ඛ රෝධයාගේ හෙවත් දුක්ඛ ප්‍රවෘත්තියගේ නොවීම වේද නොහොත් ඒ අසඞ්ඛත ධාතුව වූ නිර්‍වාණය පසක් කළ කල්හි ඒ සංසාර ප්‍රවෘත්ති සඞ්ඛ්‍යාත දුක්ඛ රෝධයට ප්‍රතිපක්‍ෂ වන බැවින් සංසාරයෙහි ප්‍රවෘත්ති යයි කියන ලද හෙවත් සසර සැරි සැරීම යයි කියනලද දුක්ඛ රෝධයාගේ නොවීම වේද, එහෙයිනුදු දුක්ඛ නිරෝධ යයි කියනු ලැබේ. එසේම දුක්ඛයාගේ අනුත්පාදයම නිරෝධයට ප්‍රත්‍ය වන බැවින් හෙවත් අනාගත භවාදින්හි අප්‍රවෘත්තියට ප්‍රත්‍යවන බැවින් දුක්ඛ නිරෝධ යයි කියනු ලැබේ.
දුක්ඛ නිරෝධගාමිණී පටිපදා - යම් හෙයකින් චතුස්සත්‍යය අරමුණු කිරීම් වශයෙන්, ඒ නිරෝධ සත්‍යය ඉදිරිපත් කොට පැවති බැවින්, ඒ දුක්ඛ නිරෝධය යයි කියන ලද නිර්‍වාණයට යේද, දුක්ඛ නිරෝධ සඞ්ඛ්‍යාත වූ නිර්‍වාණයට පැමිණිහුගේ නොහොත් දුක්ඛ නිරෝධ සඞ්ඛ්‍යාත වූ නිර්‍වාණයට පැමිණීමට හෙතුවූ ප්‍රතිපදා තොමෝත් වේද, එහෙයින් දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා තොමෝ යයි කියනු ලැබේ.
අරිය සච්ච - යම් හෙයකින් වනාහි මේ චතුස්සත්‍යයන් බුද්ධාදි ආර්‍ය්‍යයෝ ප්‍රතිවේධය කෙරෙද්ද, එහෙයින් ආර්‍ය්‍ය සත්‍යයෝ යයි කියනු ලැබෙත්.
යම් හෙයකින් තථාගතයන් වහන්සේගේ සත්‍යයෝ වෙත්ද, එහෙයිනුදු ආර්‍ය්‍ය සත්‍යයෝ වෙත්.
තථාගතයන් වහන්සේ විසින් මේ චතුරාර්‍ය්‍ය සත්‍යයන් මනාකොට දැන වදාළ බැවින් ආර්‍ය්‍ය භාවය සිද්ධවන හෙයිනුදු ආර්‍ය්‍ය සත්‍යයෝ නම් වෙත්.
අවිපරීත වූ සත්‍යයෝ වන හෙයින්ද ආර්‍ය්‍ය සත්‍යයෝ නම් වෙත්.
මේ සත්‍යයෝ තථය, අවිතථය, අනඤ්ඤථය - එහෙයිනුදු ආර්‍ය්‍ය සත්‍යයෝ යයි කියනු ලැබෙත්.