සංස්කාරස්කන්‍ධය
අතීත වූ ද, අනාගත වූ ද, ප්‍රත්‍යුත්පන්න වූ ද, අධ්‍යාත්මික වූ ද, බාහිර වූ ද, ඖදාරික වූ ද, සූක්ෂම වූ ද, හීන වූ ද, ප්‍රණීත වූ ද, දූරෙහි වූ ද, සමීපයෙහි වූ ද යම් චතුර්විධ භූමියෙහි ප්‍රවෘත්ත වූ සංස්කාරයෝ වෙත්ද, එය එකතුකොට ඇති, රැස්කොට ඇති, පිඬුකොට ඇති, ඒ සංස්කාරයෝ, සංස්කාර ස්කන්‍ධය යයි කියනු ලැබේ. මේ සංස්කාර ධර්මයෝ ෂඩ්විධ වේ. එනම්:-
- චක්ඛුසම්ඵස්සජා චෙතනා
- සොතසම්ඵස්සජා චෙතනා
- ඝාණසම්ඵස්සජා චෙතනා
- ජිව්හා සම්ඵස්සජා චෙතනා
- කායසම්ඵස්සජා චෙතනා
- මනොසම්ඵස්සජා චෙතනා යන ෂඩ්විධ චෙතනාවෝ යි.
මෙහි, චෙතනා යන මේ වචනය යටත්පිරිසෙයින් පාළියෙහි ප්‍රධාන සංස්කාරයාගේ වශයෙන් වදාරන ලදී.
යටත්පිරිසෙයින් පෙළෙහි ආවාවූ චෙතනා තොමෝද, ඵස්ස, එකග්ගතා, ජීවිතෙන්‍ද්‍රිය, මනසිකාර යන සංස්කාරයෝ සතරදෙන ද, අන්තිම පරිච්ඡෙදයෙන් චක්‍ෂුර් විඥානය හා සමඟ උපදිත්. ඒ චෙතනාව මුල්කොට ඇති පඤ්චවිධ සංස්කාරයන් අතුරෙහි තමා හා සම්ප්‍රයුක්ත ධර්මයන් ස්වකීය ස්වකීය කෘත්‍යයෙහි මෙහෙයන අර්ථයෙන් ප්‍රකටවන බැවින් චෙතනා තොමෝ යම් හෙයකින් ප්‍රධාන වූවා වේද, එහෙයින් මේ චෙතනා තොමෝ ම ගන්නා ලදි. ඒ චෙතනාව හා සම්ප්‍රයුක්ත වූ, සංස්කාරයෝ වනාහි, ඒ චෙතනාව ගත් කල්හි, ගන්නාලද්දාහුම වෙත්. මෙහි පළමු චෙතනාවෝ පස්දෙන චක්‍ෂුප්‍රසාදාදීන් නිශ්‍රයකොට ඇත්තාහුම වෙත්. මනොසම්ඵස්සජා චෙතනාතොමෝ හදයවස්තුව නිශ්‍රයකොටගෙන හෝ, නිශ්‍රයකොට නොගෙන හෝ වේ. සියලු චෙතනාවෝ තුමූ චතුර්විධ භූමියෙහි පර්‍ය්‍යාපන්නවූ චෙතනාවෝ යි.
අතීත සංස්කාරයෝ - යම්කිසි සංස්කාරයක් පසුගිය කාලයට අයත්වූයේ ද, නිරුද්ධවූයේ ද, පහව ගියේද, වෙනසකට පත්වූයේද, අස්තයට ගියේද, විනාශ වූයේද, ඉපිද පහව ගියේද, පසුවූයේද, පසුවීම් කොටස් වශයෙන් ගණන් ගැණුනේද, එබඳු වූ චක්ඛුසම්ඵස්සජා චෙතනාව හෙවත් ඇස හා ස්පර්‍ශයෙන් හටගත් චෙතනාවද, සොත සම්ඵස්සජා චෙතනාව හෙවත් කණ හා ස්පර්‍ශයෙන් හටගත් චෙතනාවද, ඝාණ සම්ඵස්සජා චෙතනාව හෙවත් නාසය හා ස්පර්‍ශයෙන් හටගත් චෙතනාවද, ජිව්හා සම්ඵස්සජා චෙතනාව හෙවත් දිව හා ස්පර්‍ශයෙන් හටගත් චෙතනාවද, කාය සම්ඵස්සජා චෙතනා හෙවත් කය හා ස්පර්‍ශයෙන් හටගත් චෙතනාවද, මනො සම්ඵස්සජා චෙතනාව හෙවත් මනස හා ස්පර්‍ශයෙන් හටගත් චෙතනාවද යන මොව්හු අතීත වූ සංස්කාර යයි කියනු ලැබේ.
අනාගත සංස්කාරයෝ - යම් සංස්කාරයක් ඇති නොවූයේද, හටනොගත්තේද, නූපන්නේද, පහළ නො වූයේද, අපාතුභූතද, අනුප්පන්නද, අසමුප්පන්නද, අනුට්ඨිතද, අසමුට්ඨිතද, අනාගතද, අනාගත කොටස් වශයෙන් ගණන් ගැණුනේද, එබඳුවූ චක්ඛුසම්ඵස්සජා චෙතනාවද, සොත සම්ඵස්සජා චෙතනාවද, ඝාණ සම්ඵස්සජා චෙතනාවද, ජිව්හා සම්ඵස්සජා චෙතනාවද, කාය සම්ඵස්සජා චෙතනාවද, මනො සම්ඵස්සජා චෙතනාවද යන මොව්හු අනාගතවූ සංස්කාරයෝ යයි කියනු ලැබේ.
ප්‍රත්‍යුත්පන්න සංස්කාරයෝ යම් සංස්කාර කෙනෙක් ඇතිවූයේද, වූයේද, හටගත්තේද, උපන්නේද, පහළ වූයේද, පාතුභූතද, උප්පන්නද, සමුප්පන්නද, උට්ඨිතද, සමුට්ඨිතද, වර්‍තමාන වූයේද, වර්‍තමාන කොටස් වශයෙන් ගණන්ගැණුනේද, එබඳුවූ චක්ඛුසම්ඵස්සජා චෙතනාවද, සොත සම්ඵස්සජා චෙතනාවද, ඝාණ සම්ඵස්සජා චෙතනාවද, ජිව්හා සම්ඵස්සජා චෙතනාවද, කාය සම්ඵස්සජා චෙතනාවද, මනො සම්ඵස්සජා චෙතනාවද යන මොව්හු ප්‍රත්‍යූත්පන්න වූ සංස්කාරයෝ යයි කියනු ලැබේ.
අධ්‍යාත්මික සංස්කාරයෝ - යම් කිසි සංස්කාරයෙක් ඒ ඒ සත්ත්‍වයන්ගේ චිත්ත පරම්පරාගතද, තමා පිළිබඳ ද ඒ ඒ පුද්ගලයන්ට වෙන් වෙන් වශයෙන් අයත්ද, ස්වකීයද, සමානව ලැබුනේද, තමාගේ යයි සිතාගත්තේද, එබඳු වූ චක්ඛුසම්ඵස්සජා චෙතනාවද, සොත සම්ඵස්සජා චෙතනාවද, ඝාණ සම්ඵස්සජා චෙතනාවද, ජිව්හා සම්ඵස්සජා චෙතනාවද, කාය සම්ඵස්සජා චෙතනාවද, මනො සම්ඵස්සජා චෙතනාවද, යන මොව්හු අධ්‍යාත්මික වූ සංස්කාරයෝ යයි කියනු ලැබේ.
බාහිර වූ සංස්කාරයෝ - යම් කිසි සංස්කාරයක් ඒ ඒ අන්‍ය වූ සත්ත්‍වයන්ගේ අන්‍ය වූ පුද්ගලයන්ගේ චිත්ත පරම්පරා ගතද, ඔවුන් පිළිබඳ ද, ඒ ඒ පුද්ගලයන්ට වෙන් වෙන් වශයෙන් අයත්ද, ස්වකීයද, සමානව ලැබුනේද, ඔවුන් පිළිබඳ යයි සිතා ගත්තේද, එබඳු වූ චක්ඛුඵස්සජා චෙතනාවද, සොත සම්ඵස්සජා චෙතනාවද, ඝාණ සම්ඵස්සජා චෙතනාවද, ජිව්හා සම්ඵස්සජා චෙතනාවද, කාය සම්ඵස්සජා චෙතනාවද, මනො සම්ඵස්සජා චෙතනාවද, යන මොව්හු බාහිර වූ සංස්කාරයෝ යයි කියනු ලැබේ.