අභිධර්මාර්ථ ප්‍රදීපිකා

සඤ්ඤාස්කන්ධය

අතීතවූ ද, අනාගතවූ ද, ප්‍රත්‍යුත්පන්නවූ ද, අධ්‍යාත්මික වූ ද, බාහිරවූ ද, ඖදාරිකවූ ද, සූක්‍ෂමවූ ද, හීනවූ ද, ප්‍රණීත වූ ද, දූරෙහිවූ ද, සන්තිකෙවූ ද යම් චාතුර්භූමින්හි වූ සංඥා වක් වේද එය එකතුකොට ඇති, රැස්කොට ඇති, පිඬු කොට ඇති ඒ සංඥාවෝ සඤ්ඤාස්කන්ධය යයි කියනු ලැබේ. මේ සංඥාවෝ ෂඩ්විධ වේ. එනම්:-

  1. චක්ඛු සම්ඵස්සජා සඤ්ඤා
  2. සොත සම්ඵස්සජා සඤ්ඤා
  3. ඝාණ සම්ඵස්සජා සඤ්ඤා
  4. ජිව්හා සම්ඵස්සජා සඤ්ඤා
  5. කාය සම්ඵස්සජා සඤ්ඤා
  6. මනො සම්ඵස්සජා සඤ්ඤා යන ෂඩ්විධ සංඥාවෝයි.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ චාතුර්භූමිකවූ හෙවත් චතුර්විධ භූමින්හි වූ සංඥාව දක්වා වදාළ සේක. මොවුන් අතුරෙන් චක්‍ෂුප්‍රසාදය නිශ්‍රයකොට පැවති ස්පර්ශ හේතුවෙන් යම් සංඥාවක් තොමෝ ජාත වූයේද නොහොත් චක්‍ෂුප්‍රසාදය නිශ්‍රයකොට පැවති ස්පර්ශයෙහි ජාතවූයේද, ඒ චක්‍ෂුප්‍රසාදය නිශ්‍රයකොට පැවති ස්පර්ශ හේතුවෙන් හෝ ස්පර්ශාධාරයෙහි වූ හෙයින් ඒ සංඥා තොමෝ චක්ඛු සම්ඵස්සජා සඤ්ඤා නම් වේ. සොත සම්ඵස්සජා සඤ්ඤා, ඝාණ සම්ඵස්සජා සඤ්ඤා, ජිව්හා සම්ඵස්සජා සඤ්ඤා, කාය සම්ඵස්සජා සඤ්ඤා, මනො සම්ඵස්සජා සඤ්ඤා යන තන්හිද මෙකි පිළිවෙලින්ම දතයුතු. මෙකි සංඥාවන් අතුරෙහි පළමු සංඥාවෝ පස්දෙන චක්‍ෂුප්‍රසාදාදී වස්තු රූපයන් නිශ්‍රයකොට පවත්නාහුම වෙත්. මනොසම්ඵස්සහේතුවෙන් හෝ මනොසම්ඵස්සයෙහි හටගත්තා වූ සංඥාතොමෝ හෘදයවස්තු රූපය නිශ්‍රයකොට හෝ අවස්තුකවනොහොත් වස්තු රූපය නිශ්‍රය නොකොට හෝ උපදී. අරූප තලයෙහි මනොසම්ඵස්සජා සංඥාතොමෝ අවස්තුකව උපදී.

අතීත වූ සංඥාව - යම් සංඥාවක් පසුගිය කාලයට අයත් වූයේද, නිරුද්ධ වූයේ ද, පහව ගියේ ද, වෙනසකට පත්වූයේද, අස්තයට ගියේ ද, විනාශ වූයේද, ඉපිද පහව ගියේද, පසුවූයේද, පසුවීම් කොටස් වශයෙන් ගණන් ගැණුනේද, එබඳු වූ චක්ඛුසම්ඵස්සජා සංඥාව හෙවත් ඇස හා ස්පර්ශයෙන් හටගත් සංඥාවද, සෝත සම්ඵස්සජා සංඥාව හෙවත් කණ හා ස්පර්ශයෙන් හටගත් සංඥාව ද, ඝාණ සම්ඵස්සජා සංඥාව හෙවත් නාසය හා ස්පර්ශයෙන් හටගත් සංඥාව ද, ජිව්හා සම්ඵස්සජා සංඥාව හෙවත් දිව හා ස්පර්ශයෙන් හටගත් සංඥාවද, කාය සම්ඵස්සජා සංඥාව හෙවත් කය හා ස්පර්ශයෙන් හටගත් සංඥාවද, මනො සම්ඵස්සජා සංඥාව හෙවත් මනස හා ස්පර්ශයෙන් හටගත් සංඥාවද යන මෙය අතීත වූ සංඥාව යයි කියනු ලැබේ.

අනාගත වූ සංඥාව - යම් සංඥාවක් ඇති නොවූයේද, නොවූයේද, හටනොගත්තේද, නූපන්නේ ද, පහළ නොවූ යේද, අපාතුභූතද, අනුප්පන්නද, අසමුප්පන්නද, අනුට්ඨිතද, අසමුට්ඨිතද, අනාගතද, අනාගත කොටස් වශයෙන් ගණන් ගැණුනේද, එබඳු වූ චක්ඛුසම්ඵස්සජා සංඥාව ද, සෝතසම්ඵස්සජා සංඥාවද, ඝාණ සම්ඵස්සජා සංඥාව ද, ජිව්හා සම්ඵස්සජා සංඥාව ද, කායසම්ඵස්සජා සංඥාව ද, මනො සම්ඵස්සජා සංඥාව ද යන මෙය අනාගත වූ සංඥාව යයි කියනු ලැබේ.

ප්‍රත්‍යුප්පන්න වූ සංඥාව - යම් සංඥාවක් ඇතිවූයේ ද වූයේද, හටගත්තේද, උපන්නේද, පහළවූයේද, පාතුභූතද, උප්පන්නද, සමුප්පන්නද, උට්ඨිතද, සමුට්ඨිතද, වර්‍තමාන වූයේද, වර්‍තමාන කොටස් වශයෙන් ගණන් ගැණුනේද, එබඳුවූ චක්ඛු සම්ඵස්සජා සංඥාවද, සෝත සම්ඵස්සජා සංඥාවද, ඝාණ සම්ඵස්සජා සංඥාවද, ජිව්හා සම්ඵස්සජා සංඥාවද, කාය සම්ඵස්සජා සංඥාවද, මනො සම්ඵස්සජා සංඥාවද යන මෙය ප්‍රත්‍යුප්පන්නවූ සංඥාව යයි කියනු ලැබේ.

අධ්‍යාත්මික වූ සංඥාව - යම් සංඥාවක් ඒ ඒ සත්ත්‍වයන්ගේ චිත්ත පරම්පරාගතද, තමා පිළිබඳ ද, ඒ ඒ පුද්ගලයන්ට වෙන් වෙන් වශයෙන් අයත්ද, ස්වකීයද, සමානව ලැබුනේද, තමාගේ යයි සිතා ගත්තේද එබඳුවූ චක්ඛුසම්ඵස්සජා සංඥාවද, සෝත සම්ඵස්සජා සංඥාවද, ඝාණ සම්ඵස්සජා සංඥාවද, ජිව්හා සම්ඵස්සජා සංඥාවද, කාය සම්ඵස්සජා සංඥාවද, මනෝ සම්ඵස්සජා සංඥාවද යන මෙය අධ්‍යාත්මික වූ සංඥාව යයි කියනු ලැබේ.

බාහිර වූ සංඥාව - යම් සංඥාවක් ඒ ඒ අන්‍ය වූ සත්ත්‍වයන්ගේ අන්‍ය වූ පුද්ගලයන්ගේ චිත්තපරම්පරාගතද, ඔවුන් පිළිබඳ ද, ඒ ඒ පුද්ගලයන්ට වෙන් වෙන් වශයෙන් අයත්ද, ස්වකීයද, සමානව ලැබුනේද, ඔවුන් පිළිබඳ යයි සිතා ගත්තේද, එබඳු වූ චක්ඛු සම්ඵස්සජා සංඥාවද, සෝත සම්ඵස්සජා සංඥාවද, ඝාණ සම්ඵස්සජා සංඥාවද, ජිව්හා සම්ඵස්සජා සංඥාවද, කාය සම්ඵස්සජා සංඥාවද, මනෝ සම්ඵස්සජා සංඥාවද යන මෙය බාහිරවූ සංඥාව යයි කියනු ලැබේ.

ඖදාරික වූද, සියුම් වූද සංඥාව - පටිඝ සම්ඵස්සජා සංඥාව හෙවත් ක්‍රෝධය හා ස්පර්‍ශයෙන් හටගත් සංඥාව නොහොත් පඤ්චද්වාරික සංඥාව ඖදාරිකය, අධිවචන සම්ඵස්සජා සංඥාව හෙවත් අධිවචන ස්පර්‍ශයෙන් හටගත් සංඥාව නොහොත් මනෝචාරික සංඥාව සියුම් ය.

අකුසල සංඥාව ඖදාරිකය, කුසල අව්‍යාකෘත සංඥාව සියුම්ය.

කුසල් අකුසල් සංඥාව ඖදාරිකය, අව්‍යාකෘත සංඥාව සියුම් ය.

දුක්වූ වෙදනාව හා යුක්තවූ සංඥාව ඖදාරිකය, සැප වූද අදුක්ඛ මසුඛ වූ හෙවත් සුවදුක් නොවන්නාවූද වෙදනාව හා යුක්තවූ සංඥාව සියුම්ය.

සුවදුක් ඇති වෙදනාව හා යුක්තවූ සංඥාව ඖදාරිකය, අදුක්ඛමසුඛ වෙදනාව හා යුක්තවූ සංඥාව සියුම් ය.

සන්සුන් නොවුවහුගේ සංඥාව ඖදාරිකය, සන්සුන්වුවහුගේ සංඥාව සියුම් ය.

කෙලෙස් සහිත සංඥාව ඖදාරිකය. කෙලෙස් රහිත සංඥාව සියුම් ය.

ඒ ඒ සංඥාවක් හා සමකොට ඖදාරික සංඥාවද, සියුම් සංඥාවද දතයුතු.

මෙහි පටිඝ සම්ඵස්සජා සංඥා නම් පඤ්චද්වාරයෙහි පැවැත්තාවූ සංඥාවයි. අධිවචන සම්ඵස්සජා සංඥා නම් මනොද්වාරයෙහි ප්‍රවෘත්තවූ සංඥාවයි ඒ පඤ්චද්වාරික සංඥා, මනොද්වාරික සංඥාවන් අතුරෙන් පඤ්චද්වාරයෙහි ප්‍රවෘත්තවූ සංඥාවන් බලාද දැනගන්නට හැකි වන්නේය. එහෙයින් ඖදාරිකය. ඇල්මකොට බලන්නහු ඇල්මකොට බලන්නේ යයිද, කිපී බලන්නහු කිපී බලන්නේ යයි ද, අවලොකනය කොටම දනිත්.

නුදුරු ගමක වඩින්නාවූ නවක භික්‍ෂූන් දෙදෙනකු අතුරෙන් ඉදිරියෙහි වඩින්නාවූ එක් භික්‍ෂූවක්, එක් තැනක හිඳ කපු කටින්නාවූ ස්ත්‍රීන් දෙදෙනෙකු අතුරෙන් එක් ස්ත්‍රියක් දෙස බැලීය. අනික් අගන, කවර හෙයකින් ඒ මහණතෙම තී දෙස බැලීදැයි ඇසුවාය. ඒ මහණ තෙම, මා රාග සිතින් නො නැරඹීය. බාල වූ බුහුණනිය යන සංඥාවෙන් මා බැලීයයි කීය, නවක භික්‍ෂූන් දෙදෙනාද ගොදුරු ගමෙහි හැසිර දන් හළෙහි වැඩහුන් කල්හි අනික් මහණ තෙමේ ඒ අගන නැරඹූ මහණහු නුඹවහන්සේ විසින් ඒ කපු කටිමින් හුන් කත නරඹන ලදදැයි විවාළේය නරඹන ලද සැබැවයි පිළිවදන් දින. කුමන ප්‍රයෝජනයක් සඳහා නරඹනලද දයි මෙසේ විචාළේය. මාගේ බාල බුහුණනියන් හා සමාන වූ බැවින් ඒ අගන නැරඹීමියි කීයේය. මෙසේ පඤ්චද්වාරික සංඥාතොමෝ බලාද දැනගන්ට හැක්කේ යයි දතයුතු. ඒ පඤ්චද්වාරික සංඥා තොමෝ වනාහි ප්‍රසාද රූප සංඛ්‍යාත චක්‍ෂුරාදී වස්තූන් නිශ්‍රය කොට පවත්නීම වේ. පඤ්චද්වාරික ජවනයන්හි පවත්නා සංඥා යයි ද දක්වන ලදී.

මනොද්වාරික සංඥාතොමෝ වනාහි එක් ඇඳෙක හෝ එක් පුටුවෙක හෝ හිඳ අන් අරමුණක් සිතන්නහුද කල්පනා කරන්නෙහිද, කුමක් සිතන්නෙහිද, කුමක් කල්පනා කරන්නෙහිද මෙසේ පිළිවිස ඒ පුද්ගලයාගේ වශයෙන්ම දතයුතු වන හෙයින් ඒ අධි වචන සංඥා තොමෝ සූක්‍ෂමයහ.

හීන වූ ද ප්‍රණීත වූ ද සංඥාව — අකුසල සංඥාව හීනය. කුසල අව්‍යාකෘත සංඥාව ප්‍රණීතය.

කුසල් අකුසල් සංඥාව හීනය. අව්‍යාකෘත සංඥාව ප්‍රණීතය.

දුක්වූ වෙදනාව හා යුක්ත වූ සංඥාව හීනය. සැප වූද, සැප දුක් නොවන්නාවූද වෙදනාවන් හා යුක්තවූ සංඥාව ප්‍රණීතය.

සැප දුක් වේදනාවන් හා යුක්තවූ සංඥාව හීනය. සුවදුක් නොවූ වෙදනාව හා යුක්තවූ සංඥාව ප්‍රණීතය.

සන්සුන් නොවූවහුගේ සංඥාව හීනය සන්සුන් වූවහුගේ සංඥාව ප්‍රණීතය.

කෙලෙස් සහිත සංඥාව හීනය. කෙලෙස් රහිත සංඥාව ප්‍රණීතය. මෙසේ ඒ ඒ සංඥාවක් හා සමකොට හීනවූ ද ප්‍රණීතවූ ද සංඥාව දතයුතුය.

දුරෙහි වූ සංඥාව-අකුසල සංඥාව කුසල අව්‍යාකෘත සංඥාවන්ගෙන් දුරය.

කුසල අව්‍යාකෘත සංඥාවෝ අකුසල සංඥාවෙන් දුරය.

කුසල සංඥාව අකුසල අව්‍යාකෘත සංඥාවන්ගෙන් දුරය.

අකුසල අව්‍යාකෘත සංඥාවෝ කුසල සංඥාවෙන් දුරය.

අව්‍යාකෘත සංඥාව කුසල් අකුසල් සංඥාවන්ගෙන් දුරය.

කුසලාකුසල සංඥාව අව්‍යාකෘත සංඥාවෙන් දුරය.

දුක් වූ වේදනාවෙන් යුක්තවූ සංඥාව, සැප වූද, සැප දුක් නොවන්නාවූද වේදනාවන් හා යුක්තවූ සංඥාවන්ගෙන් දුරය.

සැපවූද, සුවදුක් නොවන්නාවූද වේදනාවන් හා යුක්තවූ සංඥාව, දුක්වූ වේදනාව හා යුක්තවූ සංඥාවෙන් දුරය.

සැප වූ වේදනාව හා යුක්තවූ සංඥාව, දුක් වූද, සුවදුක් නොවන්නාවූ ද වේදනාවන් හා යුක්ත වූ සංඥාවන්ගෙන් දුරය.

දුක් වූද, සුවදුක් නොවන්නාවූද වේදනාවන් හා යුක්තවූ සංඥාව සැපවූ වේදනාව හා යුක්තවූ සංඥාවෙන් දුරය.

සුවදුක් නොවන්නාවූ වේදනාව හා යුක්තවූ සංඥාව, සැප හා දුක් ඇති වේදනාවන් හා යුක්තවූ සංඥාවන්ගෙන් දුරය.

සුවදුක් වේදනාවන් හා යුක්තවූ සංඥාව සුවදුක් නොවූ වේදනාවන් හා යුක්තවූ සංඥාවෙන් දුරය.

සන්සුන් නොවූවහුගේ සංඥාව සන්සුන් වූවහුගේ සංඥාවෙන් දුරය.

සන්සුන් වූවහුගේ සංඥාව සන්සුන් නොවූවහුගේ සංඥාවෙන් දුරය.

කෙලෙස් සහිත සංඥාව, කෙලෙස් රහිත සංඥාවෙන් දූරය.

කෙලෙස් රහිත සංඥාව, කෙලෙස් සහිත සංඥාවෙන් දූරය.

මෙය දූරෙහි වූ සංඥාව යයි කියනු ලැබේ. සන්තිකෙ සඤ්ඤා හෙවත් සමීප වූ සංඥාව-

අකුසල සංඥාව අකුසල සංඥාවගේ සමීපයෙහිය.

කුසල සංඥාව කුසල සංඥාවගේ සමීපයෙහිය.

අව්‍යාකෘත සංඥාව අව්‍යාකෘත සංඥාවගේ සමීපයෙහිය.

දුක්වූ වේදනාවන් හා යුක්තවූ සංඥාව, දුක්වූ වේදනාව හා යුක්තවූ සංඥාවගේ සමීපයෙහිය.

සැප වූ වේදනාව හා යුක්තවූ සංඥාව සැප වූ වේදනාව හා යුක්තවූ සංඥාවගේ සමීපයෙහිය.

සුවදුක් නොවන වේදනාව හා යුක්තවූ සංඥාව, සුවදුක් නොවන වේදනාව හා යුක්තවූ සංඥාවගේ සමීපයෙහිය.

සන්සුන් නොවූවහුගේ සංඥාව, සන්සුන් නොවූවහුගේ සංඥාවගේ සමීපයෙහිය.

සන්සුන් වූවහුගේ සංඥාව, සන්සුන් වූවහුගේ සංඥාවගේ සමීපයෙහිය.

කෙලෙස් සහිත සංඥාව කෙලෙස් සහිත සංඥාවගේ සමීපයෙහිය.

කෙලෙස් රහිත සංඥාව කෙලෙස් රහිත සංඥාවගේ සමීපයෙහිය.

මෙය සමීපයෙහි වූ සංඥාව යයි කියනු ලැබේ.

මෙසේ ඒ ඒ සංඥාවක් හා සමකොට දූරෙහි වූ ද, සමීපයෙහි වූ ද සංඥා දතයුතු.