පස්සද්ධි සම්බෝධ්‍යඞ්ගය
පස්සද්ධි සම්බෝධ්‍යඞ්ගය. කායපස්සද්ධි චිත්තපස්සද්ධින්හි යොනිසොමනස්කාරය බොහෝ සේ පුරුදු කිරීම නූපන් පස්සද්ධි සම්බෝධ්‍යඞ්ගයාගේ නැවත නැවත වැඩීම පිණිසද විපුලත්වය පිණිසද, ආසෙවනය පිණිසද, පරිපූර්ණ භාවය පිණිසද පවතී.
තවද, සප්තවිධ ධර්ම කෙනෙක් පස්සද්ධි සම්බෝධ්‍යඞ්ගයාගේ ඉපදීම පිණිස පවත්නාහ. එනම්;
- ප්‍රණීත භෝජනය සෙව්නා බවය. ප්‍රණීතවූ සිනිඳු වූ සත්ප්‍රාය භෝජනයක් අනුභව කරණ මහණහට පස්සද්ධි සම්බෝධ්‍යඞ්ගය උපදී.
- සැපවූ සෘතු ගුණය සෙව්නා බවය.
- සැපවූ ඉරියව් සෙව්නා බවය. සභාග විසභාග සෘතු ඊර්ය්යාපථයන් අතුරෙන්, විසභාගවූ සෘතු ඊර්ය්යාපථයන් දුරුකොට, සභාගවූ සෘතු ඊර්ය්යාපථයන් සෙව්නා මහණහටද පස්සද්ධි සම්බෝධ්‍යඞ්ගය උපදී.
- මධ්‍යස්ථ ප්‍රයෝගය ඇති බවය. තමාගේද අන්‍යයන්ගේද කම්මස්සකතා නම්වූ කර්මය ස්වකීය කොට ඇති බව ප්රත්යවේක්ෂා කිරීම මධ්‍යස්ථ ප්‍රයෝගය යයි කියනු ලැබේ.
- නොසන්හුන් කය ඇති පුගුලන් දුරු කරන බවය. කැට මුගුරු ආදියෙන් අනුන් වෙහෙසවමින්ම හැසිරෙන නොසන්සුන් කයැති පුද්ගලයා දුරු කරන්නාවූ මහණහටද පස්සද්ධි සම්බෝධ්‍යඞ්ගය උපදී.
- සන්සුන් කයැති පුද්ගලයන් සෙව්නා බවය. භික්මවා ගත් අත් පා ඇති සන්හුන් කයැති පුද්ගලයන් සෙව්නාහටද පස්සද්ධි සම්බෝධ්‍යඞ්ගය උපදී.
- ඒ පස්සද්ධි සම්බෝධ්යඞ්ගයෙහි නැමුණු සිත් ඇති බවය. මේ සත් කාරණය හේතුකොට ගෙන නූපන් පස්සද්ධියාගේ ඉපදීම වන්නේය. අර්හත් මාර්ගය හේතුකොට ගෙන උපන්නා වූ පස්සද්ධි සම්බෝධ්‍යඞ්ගයාගේ භාවනා තොමෝ පරිපූර්ණ වන්නී වේයයි සම්‍යක් ප්‍රකාරයෙන් දනී.