විරිය සම්බොධ්‍යාඞ්ගය
විරිය සම්බොධ්‍යාඞ්ගය. ආරම්භධාතු, නික්ඛමධාතු, පරක්කමධාතු නම් ලද වීර්‍ය්‍යයෙහි යොනිසොමනසිකාරය බොහෝසේ පුරුදුකිරීම, නූපන් වීර්ය්යසම්බෝධ්යාඞ්ගයාගේ ඉපදවීම පිණිසද, උපන් වීර්ය්යසම්බෝධ්යාඞ්ගයාගේ නැවත නැවත වැඩීම පිණිසද, විපුලත්වය පිණිසද, පරිපූර්ණ භාවය පිණිසද පවතී.
තවද කරුණු එකොළොසක් වීර්ය්යසම්බෝධ්යාඞ්ගයාගේ ඉපදීම පිණිස පවත්නාහ. එනම්:-
- අපාය භය ප්රත්යවෙක්ෂා කරණ බවය. එක්සිය සතිස් නිරයයන්හි පඤ්චවිධ බන්ධන නම් ලද කම්කටුල්ලෙහි පටන් ඉමහත් දුක් විඳින කල්හිත්, තිරිසන් යෝනියෙහි දැල් කරක් කෙමෙන් ආදින් ගත් කල්හිත්, කැවිටි, කටු සැමිටි ආදී පහරින් පෙළන ලද තිරිසන් බැව්හිදීත්, ගැල් ඉසිලීම ආදිය කරණ කල්හිත්, ප්‍රේත විෂයෙහි දහස් ගණන් අවුරුදු හෝ බුද්ධාන්තරයක් මුළුල්ලෙහි හෝ ක්ෂුත්පිපාසාවෙන් විඩාවූ කල්හිත් කාලකඤ්ජික අසුරයන් විෂයෙහි සැටරියන් අසූරියන් පමණැත්තාවූ ඇට සම් පමණක් වූ ම ආත්මභාවය කරණකොටගෙන සුලං සූර්ය්ය සන්තාපාදියෙන් නොයෙක් දුක් අනුභව කරණ කල්හි වීර්ය්යසම්බෝධ්යාඞ්ගය උපදවන්නට නොහැක්කේය. එබැවින් මේ කාලයේම වීර්‍ය්‍ය කිරීමට සුදුසු කලැයි දැන මෙසේ සතර අපා බිය ප්රත්යවෙක්ෂා කරන්නාහට වීර්‍ය්‍ය සම්බෝධ්යාඞ්ගය උපදී.
- වීර්‍ය්‍යයාගේ අනුසස් ඵල දක්නාසුලු බවය. කම්මැලිවූ පුද්ගලයාහට නවලොව්තුරු දහම් ලබන්නට නොහැකි වේ. පටන්ගන්නා ලද වීර්‍ය්‍ය ඇති පුද්ගලයා විසින්ම ලැබියහැකි වේ. වීර්‍ය්‍යයාගේ මේ අනිශංසය යයි. මෙප රිද්දෙන් අනුසස් ඵල දක්නා පුද්ගලයාහට වීර්‍ය්‍ය සම්බෝධ්යාඞ්ගය උපදී.
- බුදු පසේ බුදු ආර්ය්යශ්රාවකයන්ගේ ගමන්මග ප්රත්යවෙක්ෂාකරණ බවය. බුදු පසේ බුදු මහ සව්වන් විසින් හිය මග තමා විසින්ද යා යුතුය. කුසීත බව ඇති කල්හි යන්නට නොහැකිය යනාදි වශයෙන් ප්රත්යවෙක්ෂා කරන්නා හටද වීර්‍ය්‍ය සම්බෝධ්යාඞ්ගය උපදී.
- පිණ්ඩපාත භෝජනයට ගරුබුහුමන් කිරීමය. යමෙක් පිණ්ඩපාතාදියෙන් උපස්ථාන කෙරෙත්ද, මේ මිනිස්සු තාගේ නොනෑයෝමය. දාසකම් කරන්නෝ ද නොවේ. තා නිසා දිවි පවත්වමුයයි සිතා තට ප්‍රණීතවූ පිණ්ඩපාතාදින් නොදෙත්. එතකුදු වුවත් තමා අයත් වූ දක්ෂිණාවන්ගේ මහත්ඵල ඇති බව ප්‍රාර්‍ත්‍ථනා කරමින්ම දෙත්. මහණතෙම, මේ පිණ්ඩපාතාදි ප්‍රත්‍යයයන් පරිභෝගය කොට කය දැඩි කිරීම බහුලකොට ඇත්තෙක්ව සුවසේ වාසය කරන්නේයයි, මෙසේත් දක්නාවූ ශාස්තෘන් වහන්සේ ඒ පිණ්ඩපාතාදි ප්‍රත්‍යයයෝ අනුදැන නොවදාළහ. නමුත් පිණ්ඩපාතාදි ප්‍රත්‍යයයන් පරිභෝග කොට, මහණදම් පුරා සසර දුකින් මිදෙන්නේයයි මෙනෙහි කරන්නේනම් එය අනුදැන වදාරණලදී. එබැවින් දැන්, කුසීතව වසන්නේනම් ඒ අනුදත් පිණ්ඩපාතය ගරු බුහුමන් නොකරන්නෙහිය ඇරඹූ වීර්‍ය්‍ය ඇති මහණහටම පිණ්ඩපාත භෝජනයට පිදීම නම් වේයයි ප්‍රත්‍ය වෙක්ෂා කරන්නේ විරිය සම්බෝධ්යාඞ්ගය උපදී.
පෙර, කස්සක ලෙණ වාසී මහමිත්ත තෙරහු, ගොදුරු ගම්හි එක්තරා උපාසිකාවක් විසින් පුත්රයෙකුමෙන් පෝෂ්‍ය කෙරෙයි. දිනක් ඈ වනයට යන්නී, දුවට කථා කොට අසුවල් අසුවල් තැන ඇති පැරණි සහල්, කිරි, ගිතෙල් පැණි ආදිය ගෙන බත්පිස මිත්ත ස්වාමීන් වැඩි කල්හි පිළිගන්වා තී ද අනුභව කරවයි කීය. මෑණියන් කුමක් අනුභව කරන්නීදැයි ඇසූ කල්හි තමා හීල් බතක් අනුභව කළ බැවින් දහවලට තැම්බූ පලාකොල ගෙන කඩ සහලින් ඇඹුල් කැඳක් පිස තබවයි කීය. තෙරුන්වහන්සේ මෙපුවත් අසා මේ උපාසිකා තොමෝ කෙතක්, වත්තක්, භෝජනයක්, වස්ත්‍රයක් නොපතයි. මනුෂ්‍ය දිව්‍ය මොක්ෂ සඞ්ඛ්‍යාත ත්‍රිවිධ සම්පත්තීන් පතමින්ම දෙති එබැවින් තමා එවැනි සම්පත් ලබාදීමට සුදුසුව සිටිත්දැයි විමසන්නේ, මේ පිණ්ඩපාත භෝජනය, රාග සහිතයෙක්ව, දොෂ සහිතයෙක්ව, මෝහ සහිතයෙක්ව වළඳන්නට නොවටනේයයි සිතා නැවත තම ලෙණටම ගොස් රහත් ඵලයට නොපැමිණ මෙයින් නොනික්මෙන්නෙමැයි තරයේ වීර්‍ය්‍යකොට පෙරවරු කාලයෙහිම රහත් ඵලයට පැමිණ ඉක්බිති පිණ්ඩපාතය පිණිස වැඩමවා දන් පිළිගෙන වැළඳූ සේක.
- දායාදය මහත් බව ප්රත්යවේක්ෂා කිරීම:- සප්තාර්‍ය්‍ය ධන සඞ්ඛ්යාතවූ ශාස්තෲන් වහන්සේගේ දායාදය කුසීත වූවකු විසින් ලැබගන්ට නොහැක්කේය. වරදවා පිළිපන්නා වූ පුත්‍රයා මච්පියහු විසින් අපගේ පුත්‍රයෙක් නොවේයයි බැහැර කරන ලද්දේ, මච්පියන් ඇවෑමෙන් ඔවුන්ගේ දායාදය නොලබාද, එපරිද්දෙන්ම කුසිතවූ මහණ තෙමේද ආර්‍ය්‍යධන සඞ්ඛ්‍යාත දායාදය නොලබන්නේය. ඇරඹූ වැර ඇති මහණ තෙමේම ලබයි. මෙසේ සප්තාර්‍ය්‍ය ධන සඞ්ඛ්යාතවූ දායාදයාගේ මහත් බව හෝ උතුම්බව ප්රත්යවේක්ෂා කරන්නාවූ මහණ හටද වීර්‍ය්‍ය සම්බෝධ්යාඞ්ගය උපදී.
- ශාස්තෘවූ සර්වඥයන් වහන්සේගේ මහත් බව ප්රත්යවේක්ෂා කිරීම:- ශාස්තෘන් වහන්සේගේ මච් කුසයෙහි පිළිසිද ගැනීම් සමයෙහිද, අබිනික්මන්හිද, සර්වඥතා ඥානාධිගමයෙහිද, දම්සක් පවත්නා සමයෙහිද, යමාමහ පෙළහර දක්වන සමයෙහිද, දෙව්ලොවින් බස්නා සමයෙහිද ආයු සංස්කාරය හරණා කල්හිද, පිරිනිවන් පානා කල්හිද, දස දහසක් ලෝදා කම්පා වූහ. මෙබඳුවූ ශාස්තෘන් වහන්සේගේ සස්නෙහි පැවිදිව, කුසීතයෙකු වන්නට නොවටනේයයි මෙසේ ශාස්තෘන් වහන්සේගේ මහත් බව උතුම් බව ප්රත්යවේක්ෂා කරන්නාවූ මහණ හටද වීර්‍ය්‍ය සම්බෝධ්යාඞ්ගය උපදී.
- ජාතියගේ මහත් බව ප්රත්යවෙක්ෂා කිරීමමහණහු විසින් තමා නිහීනවූ ජාති ඇත්තෙක් නොවෙහිය. ජාතිසම්භේදයක් නැත්තාවූ, මහා සම්මත පරම්පරාවෙන් පැවැත්තාවූ, ඔක්කාක රාජවංශයෙහි ජාතවූ වෙහිය, සිරි සුදොවුන් මහරජහුගේද, මහාමායා දේවියගේද නෑ වෙහිය, රාහුල භද්‍ර ස්ථවිරයන්ගේ මලනු වෙහිය මෙබඳුවූ බුද්ධ පුත්‍ර යෙකුව කුසීතව වාසය කරන්නට නුසුදුසුය. මෙපරිද්දෙන් ජාතියගේ උතුම් බව ප්රත්යවෙක්ෂා කරන්නා හටද වීර්‍ය්‍ය සම්බෝධ්යාඞ්ගය උපදී.
- සබ්‍රහ්මචාරීන්ගේ මහත් බව ප්රත්යවෙක්ෂා කිරීමසැරියුත් මහ මුගලන් දෑගසවු මහ තෙරණුවෝද, අසූමහ සව්වෝද, වීර්‍ය්‍යය හේතුකොට ගෙනම ලොකොත්තර ධර්මය ප්‍රතිවේධය කළහ මෙසේ ඒ සබ්‍රහ්මචාරීන්ගේ මහත් බව ප්රත්යවෙක්ෂා කරන්නා හටද වීර්‍ය්‍ය සම්බෝධ්යාඞ්ගය උපදී.
- කුසීත පුද්ගලයන් දුරු කරන බවය. කුස පුරා ගෙන සිටි පිඹුරන් හා සමවූ, හරණාලද කායික, චෛතසික වීර්‍ය්‍ය ඇත්තාවූ අලස පුද්ගලයන් සෙවන, හජන, පයුරුපාසනයන් දුරලන්නාවූ මහණ හටත් වීර්‍ය්‍ය සම්බෝධ්යාඞ්ගය උපදී.
- පටන්ගත් වීර්‍ය්‍ය ඇති පුද්ගලයන් සෙව්නා බවය. ඇරඹූ වැර ඇත්තාවූ කාය ජීවිතයෙහි නො ඇලුනු සිත් ඇත්තාවූ, නිවනට මෙහෙය වූ සිතැත්තා වූ පුද්ගලයන් සෙව්නා මහණ හටත් වීර්‍ය්‍ය සම්බෝධ්යාඞ්ගය උපදී.
- ඒ වීර්‍ය්‍ය සම්බෝධ්යාඞ්ගයෙහි නැමුණු සිත් ඇති බවය. සිටීම්, හිඳීම් ආදී ඉරියව් වැටුම්හි වීර්‍ය්‍යයාගේ ඉපදවීම පිණිස නැමුණු සිත් ඇති මහණ හටද වීර්‍ය්‍ය සම්බෝධ්යාඞ්ගය උපදී.
මෙසේ උපන්නාවූ ඒ වීර්‍ය්‍ය සම්බෝධ්යාඞ්ගයාගේ ආසෙවනය තොමෝ අර්හත් මාර්ගය කරණකොට ගෙන සම්පූර්ණ වන්නී වේ යයි යෝගාවචර තෙමේ සම්‍යක් ප්‍රකාරයෙන් දනී.
ප්‍රීති සම්බොධ්‍යාඞ්ගය— ප්‍රීති සම්බොධ්යාඞ්ගයාගේ ප්රවෘත්ති ස්ථානවූ ධර්මයන්හි යෝනිසෝමනස්කාරය බොහෝ සේ පුරුදු කිරීම, නූපන් ප්‍රීති සම්බොධ්යාඞ්ගයාගේ ඉපදීම් පිණිසද, උපන් ප්‍රීති සම්බොධ්යාඞ්ගයාගේ නැවත නැවත වැඩීම පිණිසද, විපුලත්වය පිණිසද ආසෙවනය පිණිසද පරිපූර්ණ භාවය පිණිසද පවතී.
තවද, බුද්ධ ගුණයන් නැවත නැවත සිහි කරණ මහණ හටද, ධර්ම ගුණ, සංඝ ගුණ නැවත නැවත සිහිකරණ මහණ හටද, උපචාර ධ්‍යානය දක්වා, සියල් සිරුර පැතිර ගෙන ප්‍රීති සම්බොධ්‍යාඞ්ගය තෙම උපදී. දික් රැයක් මුළුල්ලෙහි නොකඩ කොට රැක්කාවූ සිව් පිරිසිදු සිල් ගුණ ප්රත්යවෙක්ෂා කරන්නාවූ මහණහටද, ගිහිව සිටියදී දසසිල් පන්සිල් ප්රත්යවෙක්ෂා කරන්නා හට ද, දුර්භික්ෂභයාදීන්හි ප්‍රණීතවූ භෝජනය සබ්‍රහ්මචාරීන්ට දී මෙබඳු භෝජනයක් දුනිමුයි ත්‍යාග ගුණය ප්රත්යවෙක්ෂා කරන්නාවූ මහණහටද, ගිහිව සිටියදී තමුදු මෙබඳු දුර්භික්ෂභයාදී කාලයෙහි සිල්වතුන්ට පිරිනැමූ දක්ෂිණාව ප්රත්යවෙක්ෂා කරන්නාවූ මහණ හටද, යම් ශ්‍රද්ධාදි ගුණවලින් යුක්ත වූ දෙවතාවෝ තුමූ දෙවත්වයට පැමිණියද, එබඳුවූ ගුණයන් මා කෙරෙහි ඇති බව ප්රත්යවෙක්ෂා කරන්නාවූ මහණ හටද, සමවත් කරණකොට ගෙන විෂ්කම්භිත කෙලෙසුන්, සැට අවුරුදු මුළුල්ලෙහි, සැත්තෑ අවුරුදු මුළුල්ලෙහි මා කෙරෙහි නොපවත්නාහයි ප්රත්යවෙක්ෂා කරන්නාවූ මහණ හටද, චෛත්‍ය දර්ශන, බොධි දර්ශන, ස්ථවිර දර්ශනයන්හි නො සකස්ව කිරීමෙන්, පහළකළ රළු බැව් හෙවත් ලාමකත්වය ඇති බුද්ධාදි වස්තූන්හි පැහැදීමයයි කියන ලද ප්‍රේමයක් නැති බැවින් කොටළුවෙකුගේ පිටෙහි රජස් බඳු වූ රළු පුද්ගලයන් දුරු කරන්නාවූ මහණ හටද, බුද්ධාදි වස්තූන්හි පැහැදීම යයි කියන ලද ප්‍රේමය බහුලකොට ඇති මොළොක් සිතැති, සිනිඳුවූ ගුණ ඇති පුද්ගලයන් සෙව්නා මහණ හටද, තෙරුවන් ගුණ මොනවට දක්වන්නාවූ තෙරුවන්හි ප්‍රසාදය ඵලවන සූත්‍රාන්තයන් ප්රත්යවෙක්ෂා කරන්නාවූ මහණ හටද, සිටීම්, හිඳීම් ආදී ඉරියව් වැටුම්හි ප්‍රීතිය ඉපදවීම පිණිස නැමුණු සිත් ඇත්තාහටද ප්‍රීතිසම්බෝධ්‍යඞ්ගය උපදී. උපන් ප්‍රීති සම්බෝධ්‍යඞ්ගයාගේ ආසෙවනා තොමෝ රහත් මග හේතුකොට ගෙන සම්පූර්ණ වන්නී වේයයි යෝගාවචර තෙමේ සම්‍යක් ප්‍රකාරයෙන් දනී.