අභිධර්මාර්ථ ප්‍රදීපිකා

සමාධි සම්බෝධ්‍යාඞ්ගය

සමථ හෙවත් සමාධි නිමිත්තය, අධ්‍යග්ග හෙවත් අවික්‍ෂේප නිමිත්තය යන නිමිත්තයන්හි යෝනිසෝමනස්කාරය බොහෝ සේ පුරුදු කිරීම නූපන් සමාධි සම්බෝධ්‍යාඞ්ගයාගේ ඉපදීම පිණිසද, උපන් සමාධි සම්බෝධ්‍යාඞ්ගයාගේ නැවත නැවත වැඩිම පිණිසද, විපුලත්‍වය පිණිසද, ආසෙවනය පිණිසද, පරිපූර්ණභාවය පිණිසද පවතී.

තවද, එකොළොස් ධර්ම කෙනෙක් සමාධි සම්බෝධ්‍යාඞ්ගයාගේ ඉපදීම පිණිස පවත්නාහ. එනම්:

  1. වත්‍ථු විසද ක්‍රියතා නම් වූ අධ්‍යාත්මික බාහිර වස්තූන්ගේ නොකිළිටි බැව්, පිරිසිදු බැව් කිරීමය.
  2. ඉන්‍ද්‍රිය සමත්ත පටිපාදනතා නම් වූ ඉන්‍ද්‍රියයන්ගේ සම බව පිළියෙල කිරීමය.
  3. නිමිත්ත කුසලතා නම් වූ සමාධි නිමිත්තයෙහි දක්‍ෂ භාවය.
  4. සමයෙ චිත්තස්ස පග්ගහණතා - නම් වූ යම් කලෙක්හි ඉතා ලිහිල් වූ වීර්‍ය්‍ය ඇති බැවින් සිත මැලි වූයේ හෝ හැකිළ ගියේ හෝ වේද එකල්හි ධම්මවිචය සම්බෝධ්‍යාඞ්ගය, වීර්‍ය්‍ය සම්බෝධ්‍යාඞ්ගය, ප්‍රීති සම්බෝධ්‍යාඞ්ගය උපදවාලීමෙන් ඒ සිත උපස්ථම්භනය කිරීමය.

5. සමයෙ චිත්තස්ස නිග්ගහණතා. නම් වූ යම් කලෙක්හි වැඩියක් ඇරඹූ වැර ඇති බැව් ආදියෙන් සිත උදහස් වූයේ වේද, එකල්හි පස්සද්ධි සම්බොධ්‍යාඞ්ගය සමාධි සම්බොධ්‍යාඞ්ගය, උපෙක්‍ෂා සම්බොධ්‍යාඞ්ගය උපදවාලීමෙන් ඒ උදහස් වූ සිත නිග්‍රහ කිරීමයි.

6. සමයෙ චිත්තස්ස සම්පහංසනතා. නම් වූ යම් කලෙක්හි සිත, ප්‍රඥා, වීර්‍ය්‍යයන් මද බැවින් හෝ සන්සුන් බවත් සුවයත් නොලැබීමෙන් හෝ උපසම නම් ලද සුවය නොවිඳීමෙන් හෝ, නිස්තෙජස්ක වූයේ හෝ වේද, එකල්හි අෂ්ට සංවේග වස්තූන් ප්‍රත්‍යවේක්‍ෂා කිරීමෙන් සංවේගයට පමුණුවයිද, රත්නත්‍රය ගුණ නැවත නැවත සිහි කොට පැහැදීම උපදවයිද, එකල්හි ඇති වන්නාවූ සිතෙහි තියුණු බව, සතුටුවන බව කරණකොට ගෙනද, සමාධි සම්බොධ්‍යාඞ්ගය උපදී. අෂ්ට සංවේග වස්තූහු නම්, ජාති, ජරා, ව්‍යාධි, මරණ, අපාදුක්ඛ, අතීතවට්ටමූලික දුක්ඛය, අනාගත වට්ට මූලික දුක්ඛය, වර්‍තමාන ආහාර පර්‍ය්‍යෙෂණ මුල් කොට ඇති දුක්ඛය යන අටය.

7. සමයෙ චිත්තස්ස අජ්ඣුපෙක්ඛණතා නම් වූ කලෙක්හි අරමුණෙහි මැදහත් උපෙක්‍ෂා ඇති බවය. යම් කලෙක්හි සම්‍යක් ප්‍රතිපත්තිය කරණු කොට ගෙන සිත මැලි නුවූයේ, නොහැකිළුණේ, උදහස් නුවූයේ හෝ සන්සුන් වූයේ, තීක්‍ෂණ වූයේ අරමුණෙහි සමව පැවැතියේ, සමාධි සඞ්ඛ්‍යාත විථියට පිළිපන්නේ වේද, එකල්හි මේ යෝගවචර තෙමේ පග්ගහ නිග්ගහ, සම්පහංසන කෘත්‍යයන්හි යත්නය කිරීමට නොපැමිණෙයි. ජවයෙහි සමව පවත්නාවූ අසුන් කෙරෙහි රියැදුරු තෙමේ යත්නය කිරීමට නොපැමිණෙන් නාක් මෙනි. එබැවින් ලීන, උද්ධත භාවයෙන් ඉවත් වූ සිත්හුගේ සමව පවත්නා බව සමාධි සම්බොධ්‍යාඞ්ගයාගේ ඉපදීම පිණිස පවතී.

  1. අසමාහිත පුද්ගල පරිවජ්ජනතා නම් චිත්තෙකග්‍රතාවිරහිත පුද්ගලයන් දුරලීමය, උපචාර සමාධියට හෝ, අර්පණා සමාධියට හෝ නොපැමිණියාවූ එක් අරමුණෙක නොනැවතී, නොපිහිටි සිත් ඇත්තාවූ පුද්ගල යන් දුරින් දුරු කටයුතු.
  2. සමාහිත පුද්ගල සේවනතා නම්වූ චිත්තෙකග්‍රතා සමන්විත පුද්ගලයන් සෙවිනා බවය. උපචාර සමාධියෙන් හෝ අර්පණා සමාධියෙන් හෝ එකඟවූ සිත් ඇති පුද්ගලයන් සේවනය කිරීම භජනය කිරීම, පයුරුපාසනය හෙවත් වෙත එළඹ ඇසුරු කිරීම සමාධියගේ ඉපදීමට උපකාර වේ.
  3. ධ්‍යාන මාර්‍ගඵල ධර්‍මයන් ප්‍රත්‍යවේක්‍ෂා කරන බවය.
  4. සමාධි සම්බොධ්‍යාඞ්ගය ඉපදීමට නැමුණු සිත් ඇති බවය.

මෙසේ උපන්නාවූ සමාධි සම්බොධ්‍යාඞ්ගය අර්හත් මාර්‍ගය හේතුකොට ගෙන සම්පූර්ණවන්නේයයි යෝගාවචර තෙමේ සම්‍යක් ප්‍රකාරයෙන් දනී.

උපෙක්‍ෂා සම්බොධ්‍යාඞ්ගය. උපෙක්‍ෂා සම්බොධ්‍යාඞ්ග යාගේ ප්‍රවත්තිස්ථානවූ ධර්‍මයන්හි යෝනිසො මනස්කාරය බොහෝසේ පුරුදු කිරීම නූපන් උපෙක්‍ෂා සම්බොධ්‍යාඞ්ගයාගේ ඉපදීම පිණිසද, උපන් උපෙක්‍ෂා සම්බොධ්‍යාඞ්ගයාගේ නැවත නැවත වැඩීම පිණිසද, විපුලත්‍වය පිණිසද, ආසේවනය පිණිසද පරිපූර්‍ණ භාවය පිණිසද පවතී.

තවද, පඤ්චවිධ ධර්‍ම කෙනෙක් උපෙක්‍ෂා සම්බොධ්‍යාඞ්ගයාගේ ඉපදීම පිණිස පවත්නාහ.

  1. සත්ත්‍වයන් විෂයෙහි මැදහත් බවය. තමාගේ කර්‍මය හේතුකොට ගෙන අවුත් තමාගේම කර්‍මය හේතුකොට ගෙන යන්නෙහිය අන්‍ය සත්ත්‍වයෝද, තමන්ගේ කර්‍ම හේතුකොට ගෙන අවුත් තමන්ගේ කර්‍ම හේතු කොට ගෙන යන්නාහුය මෙසේ කර්මය ස්වකීය කොට ඇති බව ප්‍රත්‍යවේක්‍ෂා කිරීමෙන්ද, පරමාර්ථ වශයෙන් සත්ත්‍වයෙක් හෝ පුද්ගලයෙක් හෝ නැත. එබැවින් සත්ත්‍ව පුද්ගල නොවූ තමා කවරක්හු ප්‍රියවූවක්හු කෙරෙයිද යනාදි වශයෙන් නිස්සත්ත භාවය ප්‍රතිවේක්‍ෂා කිරීමෙන්ද උපේක්‍ෂා සම්බෝධ්‍යඞ්ගය උපදවා ගන්නේය.
  2. සංස්කාරයන් විෂයෙහි මැදහත් බවය. මේ මැදහත් බව, අස්වාමික භාවය ප්‍රත්‍යවේක්‍ෂා කිරීමෙන්ද, තාවකාලික බව ප්‍රත්‍යවේක්‍ෂා කිරීමෙන්ද සිද්ධකටයුතු. මේ සිවුර ක්‍රමයෙන් පැහැ වෙනස් බවටද, ජීර්ණ භාවයටද. පැමිණ පාපිස්නා පිළිකඩක්වී සැරයටි කොනින් ඉවතලිය යුත්තක් වන්නේය. ඉදින් මේ චීවරයාගේ හිමියෙක් වන්නේ නම්, එසේ හිමියක්හු ඇතිකල්හි මේ සිවුරට වැනසෙන්නට නොදෙන්නේය. මෙකි පරිද්දෙන් අහිමි බව ප්‍රත්‍යවේක්‍ෂා කිරීමෙන්ද, මේ සිවුර දිගු කලක් නොපවත්නේය, තාවකාලිකය යනාදි වශයෙන් සංස්කාරයන්ගේ තාවකාලික බව ප්‍රත්‍යවේක්‍ෂා කිරීමෙන්ද එසේම පාත්‍රාදිවූ අන්‍ය පරිස්කාරයෝද අස්වාමිකයයිද, තාවකාලිකයයිද ප්‍රත්‍යවේක්‍ෂාකරන්නාහට උපේක්‍ෂාසම්බෝධ්‍යාඞ්ගය උපදී.
  3. සත්ත්‍ව, සංස්කාර ධර්මයන් විෂයෙහි මමත්‍වය ඇති පුද්ගලයන් දුරු කිරීමය. යම් පුද්ගලයෙක් ගිහිවූයේව හෝ, තමාගේම පුත්‍රධිත්‍ර ආදීන් පැවිදිවූයේව හෝ, තමාගේම අතවැසියන් සමානෝපාධ්‍යායාදීන් ප්‍රිය වූවන් කෙරෙයිද, සියතින්ම ඔවුන්ගේ කෙස් සිඳීම්, ගෙත්තම් කිරීම්, සිවුරු දෙවීම් ආදිය කෙරෙයිද, මොහොතක් කල් ඔහු නොදක්නේ වීනම් අසවල් සාමණේර නම් හෝ දහර භික්‍ෂුව හෝ කොහි ගියේදැයි තැතිගත් මුවෙක්හු මෙන් ඔබිමොබ නරඹාද, අන් මහණකු විසින් කෙස්සිඳීම් ආදී කටයුත්තක් පිණිස මොහොතක් කල් අසුවල් හෙරණ හෝ අසුවල් දහර භික්‍ෂුව මේ විගස එවා වදාළ මැනවැයි යාඥා කරනු ලබන්නේ වී නමුත්, අපිද ඒ හෙරණ හෝ දහර භික්‍ෂුව ලවා තමාගේ කටයුත්තක් හෝ නොකරවමුය, තොප ඕහු ගෙන වෙහෙසන්නහුය යනාදි වශයෙන් බැන නොදේද, මෙබඳුවූ පුද්ගලතෙම සත්ත්‍ව මමත්‍වය ඇත්තෙක් වේ. යම් පුද්ගලයෙක් සිවුරු පාත්‍ර, සැරයටි ආදීන්හි ප්‍රිය කෙරෙයිද, අන් කෙනෙකුට පහස්නටත් නොදෙයිද. තාවකාලිකව ඉල්වන ලද්දේවී නමුත් අපිදු මේ සිවුරු, පිරිකර ආදිය පරිභෝග නොකරන්නෝ වූ අනුන්ට කෙසේ දෙන්නෙමුද යනාදි වශයෙන් කියාද, එබඳු පුද්ගලයන් දුරු කටයුතු.
  4. සත්ත්‍ව සංස්කාර ධර්‍මයන් විෂයෙහි මැදහත් වූ පුද්ගලයන් සෙවනා බවය. යම් පුද්ගලයෙක් සත්ත්‍ව සංස්කාර යන උභය වස්තුන්හි මැදහත් වූයේ වේද, උදාසීන වූයේ වේද, මෙබඳු පුද්ගලයන් සෙවනය කිරීම උපෙක්‍ෂා සම්බෝධ්‍යාඞ්ගයාගේ ඉපදීම පිණිස පවතී.
  5. උපෙක්‍ෂා සම්බෝධ්‍යාඞ්ගයාගේ ඉපදීමෙහි නැමුනු සිත් ඇති බවය.

මේ ආදී කරුණු හේතු කොට ගෙන උපන්නා වූ උපෙක්‍ෂා සම්බෝධ්‍යාඞ්ගය අර්‍හත් මාර්‍ගය කරණ කොටගෙන සම්පූර්‍ණවන්නීයයි යෝගාවචර තෙමේ සම්‍යක් ප්‍රකාරයෙන් දනි. මෙසේ සප්තබෝධ්‍යාඞ්ග ධර්‍මයන්ගේ වශයෙන් ධම්මානු පස්සනාව වඩන්නා වූ යෝගාවචර තෙමේ තමා කෙරෙහි ඇත්තා වූ බෝධ්‍යාඞ්ග ධර්‍මයන් කෙරෙහිද, අනුන් පිළිබඳව ඇත්තා වූ බෝධ්‍යාඞ්ග ධර්‍මයන් කෙරෙහිද, අධ්‍යාත්ම බාහිර වශයෙන් ඇත්තා වූ බෝධ්‍යාඞ්ග ධර්‍මයන් කෙරෙහිද, බෝධ්‍යාඞ්ග ධර්‍මයන් අනුව බලමින් වාසය කරන්නේ. ඒ බෝධ්‍යාඞ්ග ධර්‍මයන්ගේ උත්පාදය හා විනාශයද මෙනෙහි කරන්නේ, ඤාණයාගේ වැඩීම කරණ කොට ගෙන අර්‍හත්ත්‍වයට පැමිණෙන්නේ ය.