අභිධර්මාර්ථ ප්‍රදීපිකා

ධම්මවිචය සම්බෝධ්‍යඞ්ගය

කුසලාදි ධර්‍මයන්හි යොනිසොමනසිකාරය බොහෝ සේ පුරුදු කිරීම නූපන් ධම්මවිචය සම්බෝධ්‍යඞ්ගයාගේ ඉපදීම පිණිසත්, උපන් ධම්මවිචය සම්බෝධ්‍යඞ්ගයාගේ නැවත නැවත වැඩීම පිණිසත් විපුලත්‍වය පිණිසත්, ආසෙවනය පිණිසත්, පරිපූර්‍ණ භාවය පිණිසත් පවතී.

තවද සප්ත විධ ධර්‍ම කෙනෙක් ධම්ම විචය සම්බෝධ්‍යඞ්ගයාගේ ඉපදීම පිණිස පවත්නාහ. එනම්:

  1. පරිපුච්ඡිකතා නම්වූ ස්කන්‍ධ, ධාතු, ආයතන ඉන්‍ද්‍රිය, බල, බෝධ්‍යඞ්ග, මාර්‍ගාඞ්ග, ධ්‍යාන, සමථ විදර්‍ශනාවන්ගේ අර්‍ත්‍ථ පිළිබඳ කොට ඇති ප්‍රශ්න පිළිවිසීම් බහුල කොට ඇති බවය.
  2. වත්‍ථු විසඳ ක්‍රියතා නම්වූ අධ්‍යාත්මික බාහිරවූ වස්තූන්ගේ නොකිළිටි බැව් පිරිසිදු බැව් කිරීමය. යම් කලෙක යෝගාවචරයාගේ කෙස් ලොම් නියහු දික් වූයේද, ශරීරයෙහි වැඩී ගිය දොස් ඇත්තේ වේද, ඩාදිය මළ වැකී ගියේද එකල්හි අධ්‍යාත්මික වස්තු තෙමේ කිළිටි වූයේ හෙවත් පිරිසිදු නොවූයේ වේ. යම් කලෙක මහණහුගේ සිවුර පැරණි වූයේ, කිළිටි වූයේ, දුගඳ ඇතියේ වේද, සෙනස්නෙහි හෝ කැලි කසල ඇතියේ වේද, එකල්හි බාහිර වස්තු තෙමේ කිළිටි වූයේ හෙවත් පිරිසිදු නොවූයේ වේ. එහෙයින් කෙස් ආදිය සිඳීමෙන්ද, විරෙවනාදිය කොට ශරීරය සැහැල්ලු බව කිරීමෙන්ද, ඇඟ ඉලීම්, නැහැවීම් ආදියෙන්ද, අධ්‍යාත්මිකවූ වස්තුන් පිරිසිදු කටයුතු. එමෙන්ම සිවුරු ගෙත්තම කිරීම ආදියෙන් බාහිර වස්තූන්ද පිරිසිදු කටයුතු. එකී අධ්‍යාත්මික බාහිර වස්තූන් අපිරිසිදු වූ කල්හි උපන්නාවූ චිත්ත චෛතසිකයන් මධ්‍යයෙහිවූ නුවණද, කිළිටි වූයේ, අපිරිසිදු වූයේද වෙයි. පිරිසිදු නුවූ පහන් වැටි තෙල් ආදිය නිසා උපන් පහන්සිළුවගේ ආලෝකය මෙනි.
  3. ඉන්‍ද්‍රිය සමත්ත පටිපාදනතා නම්වූ ශ්‍රද්ධේන්‍ද්‍රියාදීන් සමවන පරිදි පිළියෙල කිරීමය.

යොගාවචර මහණහුගේ ශ්‍රද්ධේන්‍ද්‍රිය බලවත්ව, විරියෙන්‍ද්‍රියාදීහු බෙලහීන වෙත්ද, එකල්හි විරියෙන්‍ද්‍රිය විසින් කට යුතුවූ ප්‍රග්‍රහ කෘත්‍ය හෙවත් උපස්ථම්භන කෘත්‍යයද, සතින්‍ද්‍රිය විසින් කටයුතුවූ අරමුණෙහි වැටහීම් කෘත්‍යයද, සමාධින්‍ද්‍රිය විසින් කටයුතුවූ අවික්‍ෂේප නම් ලද සන්සිඳීම් කෘත්‍යයද, ප්‍රඥේන්‍ද්‍රිය විසින් කටයුතු වූ දර්ශන කෘත්‍යයද කරන්නට නොහැකි වෙයි. එහෙයින් ඒ ශ්‍රද්ධේන්‍ද්‍රිය තෙමේ, ධර්‍ම ස්වභාවය මෙනෙහි කිරීමෙන් හෝ යම් කරුණෙකින් මෙනෙහි කරණුවනට එය බලවත් වේද, ඒ කරුණෙන් මෙනෙහි නොකිරීමෙන් හෝ පිරිහෙළිය යුතුයි.

යම් හෙයකින් වීර්‍ය්‍යෙන්‍ද්‍රිය තෙමේ බලවත් වූයේ වේද, එකල්හි ශ්‍රද්ධේන්‍ද්‍රිය තෙමේ අරමුණෙහි නිශ්චයාකාරයෙන් උපදනා අදහන කෘතිය කරන්නට අසමත් වෙයි. එමෙන්ම සතින්‍ද්‍රියාදීහු අනික් අනික් වැටහීම් ආදී කෘත්‍ය විශේෂය කරන්නට නොහැකි වෙත්. එහෙයින් ඒ විරියෙන්‍ද්‍රිය, පස්සද්ධි සම්බෝධ්‍යඞ්ගාදි භාවනා කරණකොට ගෙන පිරිහෙළිය යුතුයි. මේ ක්‍රමයෙන් විරියෙන්‍ද්‍රියාදීන් අතුරෙන්ද එක් එක් ඉන්‍ද්‍රියයක්හුගේ බලවත් බව ඇති කල්හි අනිකුදු ඉන්‍ද්‍රියයෝ තම තමා අයත් කටයුතුවල යෙදීමට නොසමත්වේ.

මේ ඉන්‍ද්‍රියයන් අතුරෙන්ද, ශ්‍රද්ධා ප්‍රඥා ඉන්‍ද්‍රියයන්ගේද සමාධි වීර්‍ය්‍ය ඉන්‍ද්‍රියයන්ගේද සම බව විශේෂයෙන් සැළකිය යුතු වේ.

බලවත් ශ්‍රද්ධාව හා මද නුවණ ඇත්තාවූ පුද්ගල තෙමේ මුද්ධප්පසන්නයෙක් හෙවත් මුග්ධ ජනයා කෙරෙහි ප්‍රසන්නවූ නොහොත් මූඪවූ ගුණ හීන ජනයා කෙරෙහි ප්‍රසන්න වූවෙක් වෙයි. නොපැහැදිය යුතු වස්තුවෙහි පහදී.

බලවත් ප්‍රඥාව ඇත්තාවූ මද සැදැහැ ඇත්තාවූ පුද්ගල තෙමේ කෛරාටික ජනයාගේ පක්‍ෂයට යෙයි. බෙහෙත් හේතුකොට ගෙන නැංගාවූ රෝගයක් මෙන් පිළියම් කිරීමට නොහැකි වෙයි. සිත ඉපදුන පමණකින්ම කුසල් වේයයි නොමග ගොස් දානාදිවූ පින් නොකොට නරකයෙහි උපදී.

ශ්‍රද්ධා ප්‍රඥෙන්‍ද්‍රියයන්ගේ සම බව හේතුකොට ගෙන පැහැදිය යුතු බුද්ධාදි වස්තුත්‍රයෙහිම පහදී.

බලවත් සමාධිය ඇති, මන්‍ද වීර්‍ය්‍ය ඇති පුද්ගලයා සමාධියාගේ කුසීත පක්‍ෂය අයත් වන බැවින්, කුසීතය තෙමේ මඩියි.

බලවත්වූ වීර්‍ය්‍ය ඇති, මන්‍ද සමාධිය ඇති පුද්ගලයා වීර්‍ය්‍යයාගේ උද්ධච්ච පක්‍ෂය අයත් වන බැවින් උද්ධච්චය තෙමේ මඩියි.

වීර්‍ය්‍යය හා සමකොට යොදන ලද්දාවූ සමාධි තෙමේ වනාහි කුසීතයෙහි වැටීමට නොයෙයි. සමාධිය හා සමකොට යොදන ලද්දාවූ වීර්‍ය්‍ය තෙමේ උද්ධච්චයෙහි වැටීමට නොයෙයි. යම්සේ වීර්‍ය්‍ය සමාධි දෙදෙනාගේ සමවීම හේතුකොට ගෙන අර්‍පණාව වේද, එහෙයින් ඒ වීර්‍ය්‍ය සමාධි දෙදෙනාගේ සමබව ඇති කළයුතු.

අර්‍පණා සමාධි භාවනා කර්‍මයෙහි නියුක්ත යෝගාවචරයා හට බලවත්වූ ශ්‍රද්ධාව වටනේය. එසේ ඇතිකල්හි අර්‍පණා සමාධි කර්‍මයෙහි නියුක්ත පුද්ගල තෙමේ අරමුණු උදහන්නේම අරමුණු කරා නැඹුරුව ගොස් අර්‍පණාවට පැමිණෙන්නේය.

සමාධි ප්‍රඥාවන් හෙවත් සමථවිදර්‍ශනාවන් අතුරෙන් සමථ භාවනා කර්‍මයෙහි නියුක්ත පුද්ගලයාහට බලවත් වූ එකග්ගතාව වටනේය. එසේ ඇති කල්හි ඔහු අර්‍පණාවට පැමිණෙයි. විදර්‍ශනා භාවනා කර්‍මයෙහි නියුක්ත පුද්ගලයාහට බලවත් වූ ප්‍රඥාව වටනේය. එසේ ඇති කල්හි ඔහු අනිත්‍යාදී ලක්‍ෂණ ප්‍රතිවේධය කිරීමට පැමිණෙයි. සමාධි ප්‍රඥාවන් දෙදෙනාගේ සම බව හේතුකොටගෙන අර්‍පණාතොමෝ වේමැයි.

සතිය, සියලු කටයුතුවලදී බලවත් වියයුතුමය. සියලු සූප ව්‍යඤ්ජනයන්හි ලුණු ලෑමක් මෙන් සතිය සියලු යහපත් සිත්හිම තිබිය යුතු.

  1. දුප්පඤ්ඤපුග්ගල පරිවජ්ජනය හෙවත් නුවණ නැති පුද්ගලයන් දුරු කිරීම. ධම්මවිචයසම්බොධ්‍යාඞ්ගය වඩන පුද්ගලයා විසින් ස්කන්‍ධාදී ප්‍රභේදවත් වූ පර්‍ය්‍යාප්ති ධර්‍මයෙහි බැස නොගත්, අඥාන පුද්ගලයන් දුරින් දුරුකටයුතුයි.
  2. පඤ්ඤාවන්ත පුග්ගල සෙවනතා නම් වූ නුවණැති පුද්ගලයන් සෙවනය කිරීම.
  3. ගම්භීරඤාණචරිය පච්චවෙක්ඛණතා නම් වූ ගැඹුරු වූ ස්කන්‍ධාදීන්හි පැවැති ගැඹුරු වූ ප්‍රඥා ප්‍රභේදයන් ප්‍රත්‍යවේක්‍ෂා කිරීමය.
  4. සෑම ඉරියව්හිම ධම්මවිචය සම්බොධ්‍යාඞ්ගය උපදවාලීම පිණිස එයට නැමුණු සිත් ඇති බවය.

මේ කරුණු හේතුකොටගෙන උපන්නා වූ ධම්මවිචය සම්බොධ්‍යාඞ්ගය රහත්මග හේතුකොටගෙන සම්පූර්ණ වන්නේය.