සුගති හා නිර්‍වාණ මාර්ගාඞ්ග
සම්මා දිට්ඨි, සම්මා සඞ්කප්ප, සම්මාවාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මාවායාම, සම්මා සති, සම්මා සමාධි යන ධර්‍මයෝ අටදෙනා සුගති මාර්ගාඞ්ග හා නිර්‍වාණ මාර්ගාඞ්ගද වෙත්.
- සම්මා දිට්ඨිය: දුක්ඛ, සමුදය, නිරොධ, මාර්ග යන චතුස්සත්‍ය ප්‍රතිවෙධය පිණිස පූර්‍ව භාග ප්‍රතිපදා වශයෙන් පිළිපන්නාවූ හෙවත් ආර්‍ය්‍ය මාර්ගඥානය ලැබීම සඳහා යෝග කර්‍මයෙහි නියුක්ත යෝගාවචරයාගේ, අවිද්‍යාව නසන්නාවූද, නිර්‍වාණය අරමුණු කරන්නාවූද, විද්‍යා නම් වූ ප්‍රඥා චක්‍ෂුසය සම්මාදිට්ඨිය නම්. එය අවිපරීත දැකීම ලක්‍ෂණ කොට ඇත්තේය. චතුස්සත්‍යය ප්‍රකාශ කිරීම එහි කෘත්‍ය වේ. අවිද්‍යාන්‍ධකාරය නැසීම එහි වැටහෙන ආකාරය වේ.
මෙසේ මේ සම්මා දිට්ඨි නම් වූ ප්‍රඥා චෛතසිකය ලොකොත්තර සිත්හි උපදනා කල්හි, එය නිවන් අරමුණු කරමින් උපදින බැවින් එයට නිර්‍වාණ මාර්ගඞ්ගයක් යයි කියති. පූර්‍වභාග ප්‍රතිපදා සමයෙහි මාර්ග චිත්තක්‍ෂණයට පෙරටුව උපදනා ගොත්‍රභූ චිත්තය දක්වා උපදින්නාවූ කාමාවචර මහා කුසල් සිත්හි යෙදෙන ප්‍රඥා චෛතසිකය සුගති මාර්ගඞ්ගයක් වූ සම්මා දිට්ඨිය වේ. සප්තකාම සුගතියට පමුණුවන මාර්ගයාගේ අඞ්ගයක් වන හෙයිනි.
- සම්මා සඞ්කප්පය: නිර්‍වාණ මාර්ගඞ්ගයක් වූ සම්‍යග් දෘෂ්ටියෙන් සම්පූර්‍ණ වූ දෘෂ්ටි ඇත්තාවූ පුද්ගලයාගේ, ඒ හා සම්ප්‍රයුක්ත වූ, කාම සඞ්කල්ප, ව්‍යාපාද සඞ්කල්ප, විහිංඝා සඞ්කල්ප වශයෙන් දක්වන ලද මිච්ඡාසඞ්කල්පය ප්‍රහාණය කරමින්, සිත නිර්‍වාණාලම්බනයෙහි ආරොපනය හෙවත් නැංවීම කරන්නේ සම්මාසඞ්කප්ප යයි. සම්මා සඞ්කප්පය සිත මනාව නිවන් අරමුණට නැංවීම ලක්‍ෂණ කොට ඇත්තේය. සිත නිවණෙහි ඇලවීම එහි කෘත්‍ය වේ. කාම සඞ්කල්පාදි මිථ්‍යා සඞ්කල්පයාගේ ප්‍රහාණය එහි වැටහෙන ආකාරය වේ. මෙසේ මාර්ග චිත්තයෙහි උපදනා විතර්‍ක චෛතසිකය සම්මාසඞ්කප්ප නම් වූ නිර්‍වාණ මාර්ගඞ්ගය
- වේ. මාර්ගඥානය පිණිස පිළිපන් යෝගාවචරයාගේ ගොත්‍රභූ චිත්තය දක්වා උපදනා මහා කාමාවචර සිත්හි යෙදුනාවූ විතර්‍ක චෛතසිකය, සප්තකාම සුගතියට පමුණුවන මාර්ගයාගේ අඞ්ගයක් වන බැවින් සම්මාසඞ්කප්ප නම් සුගති මාර්ගඞ්ගයක් ද වේ.
- සම්මාවාචා: මෙසේ නිර්‍වාණ මාර්ගඞ්ග වූ සම්මාදිට්ඨි සම්මා සඞ්කප්පයන්ගෙන් යුක්ත වූ යෝගාවචරයාගේ ඒ හා සම්ප්‍රයුක්ත වූ, මුසාවාද, පිසුණාවාචා, ඵරුසාවාචා සම්ඵප්පලාප යන සතරවාග් දුශ්චරිතයන් ප්‍රහාණය කරමින් මිථ්‍යා වචනයෙන් වැළකීම සම්මාවාචා නම්. එය සම්ප්‍රයුක්ත ධර්‍මයන් මනාකොට නුවණින් ගැණීම ලක්‍ෂණ කොට ඇත්තේය. මිථ්‍යා වචනයෙන් වෙන්වීම කෘත්‍ය කොට ඇත්තේය. මිථ්‍යා වචනයාගේ ප්‍රහාණය වැටහෙන ආකාරය වේ. මෙසේ මාර්ග සිත්හි උපදනා සම්මාවාචා නම් වූ විරති චෛතසිකය සම්මාවාචා නම්වූ නිර්‍වාණ මාර්ගාඞ්ගය නම් වේ. නිවන් මාර්ගය පිණිස පිළිපන් යෝගාවචරයාහට ගොත්‍රභු සිත දක්වා උපදනා කාමාවචර මහා කුසල් සිත් අතුරෙන්, ශීලමය පුණ්‍ය ක්‍රියා වශයෙන් සතරවාක් දුශ්චරිතයෙන් වැළකීමේදී ඇතිවන සම්මාවාචා නම් වූ විරති චෛතසිකය සම්මාවාචා නම් වූ සුගති මාර්ගාඞ්ගය වන්නේය.
- සම්මාකම්මන්ත. නිර්‍වාණ මාර්ගාඞ්ගවූ සම්මාදිට්ඨි සම්මාසඞ්කප්ප සම්මාවාචා යන්ගෙන් යුක්තවූ, යෝගාවචරයාගේ ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිථ්‍යාචාර යන ත්‍රිවිධ කාය දුශ්චරිත හෙවත් මිථ්‍යා කර්‍මාන්තය ප්‍රහාණය කරමින් උපදනා විරති චෛතසිකය සම්මාකම්මන්ත නම්. එය තමා හා සම්ප්‍රයුක්ත ධර්‍මයන් මනාව නගා සිටුවීම ලක්‍ෂණ කොට ඇත්තේය. මිථ්‍යා කර්‍මාන්තයෙන් වැළකීම එහි කෘත්‍ය වේ. මිථ්‍යා කර්‍මාන්තය බැහැර කිරීම වැටහෙන ආකාරය වේ. මෙසේ මාර්ග චිත්තයෙහි විරති චෛතසිකය වශයෙන් උපදනා සම්මාකම්මන්ත චෛතසිකය සම්මාකම්මන්ත නම් වූ නිර්‍වාණ මාර්ගාඞ්ගයවේ. මාර්ග චිත්තයට පෙරටුව උපදනා ගොත්‍රභු චිත්තය දක්වා පහළ වන්නාවූ මහා කුසල් සිත් අතුරෙන් ශීලමය පුණ්‍ය ක්‍රියාවක් වශයෙන් උපදින්නාවූද, කුසල් සිත්හි සම්ප්‍රයුක්තවූ ත්‍රිවිධ කාය දුශ්චරිතයන්ගෙන් වැළකීම නම් වූ, සම්මාකම්මන්ත නම් විරති චෛතසිකය, සම්මාකම්මන්ත සුගති මාර්ගාඞ්ගය නම් වේ.
- සම්මා ආජීවය: සම්මාදිට්ඨි ආදිවූ මාර්ගාඞ්ගයන්ගෙන් යුක්තවූ යෝගාවචරයාගේ ඒ සම්මාවාචා සම්මා කම්මන්ත දෙදෙනාගේ විසුද්ධියවූ, ඒ හා සම්ප්‍රයුක්ත වූ, කුහන, ලපන, නෙමිත්තිකතා, නිප්පෙසිකතා, ලාභෙන ලාභං නිජිගිංසන
- තාදිය ප්‍රහාණය කරමින් මිථ්‍යා ආජීවයෙන් වෙන්වීම නම් වූ යම් විරති චෛතසිකයෙක් වේ නම් එය සම්මා ආජීව නම් වේ එය සම්ප්‍රයුක්ත ධර්‍මයන් පිරිසිදු කිරීම ලක්‍ෂණ කොට ඇත්තේය. මනා ආජීවයාගේ පැවැත්ම එහි කෘත්‍යය වේ. මිථ්‍යා ජීවිකාව ප්‍රහාණය කිරීම එහි වැටහෙන ආකාරය වේ. මෙසේ මාර්ග සිත්හි උපදනා සම්මා ආජීව නම් වූ විරති චෛතසිකය සම්මා ආජීව නම් නිර්‍වාණ මාර්‍ගාඞ්ගය වේ. ගොත්‍රභූ චිත්තය දක්වා මහා කුසල් සිත් අතුරෙන් ශීලමය පුණ්‍ය ක්‍රියාවක් කරණ කාලයෙහි උපදින්නාවූ ද, සප්තවිධ කායවාග් දුශ්චරිතයෙන් වැළකි යහපත් ආජීවයක් ඇති කල්හි පහළවන්නාවූ මහා කුසල් සිත්හි සම්ප්‍රයුක්ත සම්මා ආජීව නම් විරති චෛතසිකය සම්මා ආජීව සුගති මාර්ගාඞ්ගය නම් වේ.
- සම්මාවායාමය: සම්මාදිට්ඨි, සම්මාසඞ්කප්පවශයෙන් ප්‍රඥාවෙන් යුක්තව, සම්මාවාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව සඞ්ඛ්‍යාත සීල භූමියෙහි පිහිටා සිටින්නහුගේ කුසිත බව සිඳින්නාවූ ද උපන් අකුසල් නැසීම ආදී වූ යම් සතර සම්‍යග් ප්‍රධන් වීර්‍ය්‍ය කෙනෙක් වේද එය සම්මා වායාමය නම් වේ. එය උත්සාහ කිරීම ලක්‍ෂණ කොට ඇත්තේය. නූපන් අකුසල් නො ඉපදීම, උපන් අකුසල් පහකිරීම, නූපන් කුසල් ඉපදවීම, උපන් කුසල් වර්‍ධනය කිරීම එහි කෘත්‍යය වේ. මිථ්‍යා ව්‍යායාමය පහකිරීම එහි වැටහෙන ආකාරය වේ. මෙසේ මාර්ග සිත්හි උපදනා වීර්‍ය්‍ය චෛතසිකය සම්මාවායාම නම් නිර්‍වාණ මාර්‍ගාඞ්ගය වේ. ගොත්‍රභූ සිත දක්වා ඒ යෝගාවචරයා හට උපදනා මහා කුසල් සිත්හි සම්ප්‍රයුක්ත වීර්‍ය්‍ය චෛතසිකය සම්මාවායාම නම් වූ සුගති මාර්ගාඞ්ගය නම් වේ.
- සම්මා සති: මෙසේ ප්‍රඥා සීලාදීන්ගෙන් යුක්ත වූ සම්මාව්‍යායාමය ඇති යෝගාවචරයාට කායානුපස්සනා වෙදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා ආදී වශයෙන් ඇතිවන්නාවූ ද, අසුභාදීන්හි සුභ ආදි වශයෙන් වැටහෙන ස්වභාවය බැහැර කරන්නාවූ චිත්තයාගේ නුමුළා බව සම්මාසති නමි. එය ආලම්බනයාගේ යථා ස්වභාවය වැටහීම ලක්‍ෂණ කොට ඇත්තේය. නුමුළා බව එහි කෘත්‍යය වේ. මිථ්‍යා ස්මෘතිය ප්‍රහාණය කිරීම වැටහෙන ආකාරය වේ. මෙසේ මාර්ග සිත්හි සම්ප්‍ර- යුක්ත වූ සති චෛතසික තොමෝ සම්මා සති නම් වූ නිර්‍වාණ මාර්ගාඞ්ගය නම් වේ. ඒ යෝගාවචරයාහට උපදනා භාවනාමය මහා කුසල් සිත්හි සම්ප්‍රයුක්ත සති චෛතසිකය සම්මාසති නම් සුගති මාර්‍ගාඞ්ගය වේ.
8 සම්මා සමාධි: සම්මා දිට්ඨි ආදීවූ අඞ්ග සතකින් යුක්තවූ ඒ යෝගාවචරයාහට ඒ සම්මා සතිය හා සම්ප්‍ර යුක්තවූ මිථ්‍යා සමාධිය නසන බලවත් වූ චිත්තෙකාග්‍රතාවය සම්මා සමාධි නමි. එය ප්‍රථම ධ්‍යාන ද්විතියධ්‍යාන, තෘතියධ්‍යාන චතුර්‍ත්‍ථධ්‍යාන වශයෙන් චතුර්විධ වේ. සම්මා සමාධිය අවික්‍ෂේපය ලක්‍ෂණ කොට ඇත්තේය. මනාව පිහිටීම එහි කෘත්‍යය වේ. මිථ්‍යා සමාධිය ප්‍රහාණය කිරීම එහි වැටහෙන ආකාරය වේ මෙසේ මාර්ග සිත්හි සම්ප්‍ර යුක්තවූ එකග්ගතා චෛතසිකය සම්මා සමාධි නම් වූ නිර්‍වාණ මාර්‍ගාඞ්ගය වේ මාර්‍ගයෙහි පිළිපන් යෝගාවචරයා හට භාවනාමය පුණ්‍ය කර්‍මයක් වශයෙන් උපදනා මහා කුසල් සිත්හි සම්ප්‍රයුක්ත එකග්ගතා චෛතසිකය සම්මා සමාධි නම් වූ සුගති මාර්ගාඞ්ගය නම් වේ.
මේ සම්මාදිට්ඨි ආදීවූ නිර්‍වාණ මාර්‍ගාඞ්ග අට සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අර්හත් යන සතර මාර්‍ගයෙන් ශුෂ්ක විදර්‍ශක යෝගාවචරයාහට හෝ ප්‍රථම ධ්‍යාන පාදක කර ගැනීම් ආදි වශයෙන් මාර්‍ගය ලබන්නාවූ සමථයානික යෝගාව චරයාහට හෝ නොඅඩුවම ලැබෙත්. ද්විතීය ධ්‍යානය පටන් අවශේෂ ධ්‍යානයන් පාදක කිරීම් ආදි වශයෙන් මාර්‍ගය ලබන සමථ යානික යෝගාවචරයාහට සම්මා සඞ්කප්ප නම්වූ මාර්‍ගාඞ්ගය නො ලැබෙන හෙයින් මාර්‍ගාඞ්ගයෝ සත් දෙතෙක් පමණක් ලැබෙත්. මෙසේ සොවාන් ආදී මාර්‍ගයන් ලබන යොගාවචරයන්ගේ මාර්‍ගාඞ්ග අටදෙනා හෝ සත්දෙනා නිර්‍වාණ සඞ්ඛ්‍යාත එතරට ගමන් කරන්නාවූ නැවකට බඳු හෙයින් නිර්‍වාණ මාර්‍ගාඞ්ගයෝ යයි කියනු ලැබේ. ඒ ඒ පුණ්‍ය කර්‍මයන් සිදුකරන්නාවූ කාලයේදී උපදනා කාමාවචර මහා කුසල් සිත් අටෙහි, සම්මා දිට්ඨි ආදීවූ මාර්‍ගාඞ්ග අටෙන් යම් යම් අඞ්ගයෝ යෙදෙත්ද, එකල්හි එය සුගතියට පමුණුවන මාර්‍ගයාගේ අඞ්ග වන හෙයින් සුගති මාර්‍ගාඞ්ග නම් වෙත්. ඒ අට දෙනා අතුරෙන් සම්මා වාචා, සම්මාකම්මන්ත, සම්මාආජීව යන මාර්‍ගාඞ්ග තුන ශීලමය පුණ්‍ය ක්‍රියාවන්හි පමණක් ලැබේ.
ආජීව අට්ඨමක ශීලය සමාදන්ව පිළිපදනා කල්හි ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිථ්‍යාචාර යන ත්‍රිවිධ කාය දුශ්චරිතයන්ගෙන් වෙන්වීමේදී සම්මා කම්මන්ත මාර්‍ගාඞ්ග යද මුසාවාද, පිසුණාවාච, ඵරුසාවාච, සම්ඵප්පලාප යන සතර වාග් දුශ්චරිතයන්ගෙන් වැළකීමේදී, සම්මා වාචා නම් මාර්‍ගාඞ්ගයද, සප්තවිධ කායවාග් දුශ්චරිතයන්ගෙන් වැළකී මිථ්‍යාජීවය පහකොට යහපන්ව දිවිපැවැත්වීමේදී සම්මා ආජීව නම් මාර්‍ගාඞ්ගයද ලැබෙති. ශීලය හැර අන්‍ය වූ දානාදි කුසල් රැස්කරන කාලයෙහිදී, ඒ ඒ කුසල චිත්තයන්හි සුදුසු පරිද්දෙන් ඒ ඒ මාර්‍ගාඞ්ගයෝ හෙවත් ඉතිරි මාර්‍ගාඞ්ග පස වෙන් වෙන් වශයෙන් හෝ සමූහ වශයෙන් හෝ ලැබෙත්. මාර්‍ගාඞ්ග අටම එකවර ලැබෙන්නේ ලොකොත්තර සිත්හි පමණය.
රූපාවචර ප්‍රථම ධ්‍යාන චිත්තයෙහි සම්මාදිට්ඨි, සම්මාසඞ්කප්ප, සම්මාවායාම, සම්මාසති, සම්මාසමාධි යන මාර්‍ගාඞ්ගයෝ පස්දෙනා ලැබෙත්. දුතියධ්‍යානය පටන් නෙව සඤ්ඤා නාසඤ්ඤායතන අරූප ධ්‍යානය දක්වා මහග්ගත චිත්තයන්හි සම්මාසඞ්කප්පය නොලැබේ. එහි යෙදෙන්නේ සම්මාදිට්ඨි, සම්මාවායාම, සම්මාසති, සම්මාසමාධි යන මාර්‍ගාඞ්ග සතර පමණය. මහග්ගත චිත්තයන්හි සම්මාවාචා සම්මාකම්මන්ත, සම්මාආජීව යන විරති සඞ්ඛ්‍යාත මාර්ගාඞ්ගයෝ නොලැබෙත්. ඒ විරතිත්‍රය ලැබෙන්නේ ශීල විසුද්ධි අවස්ථාවේදීය. චිත්ත විසුද්ධි සඞ්ඛ්‍යාතවූ ධ්‍යාන අවස්ථාවේදී සමාධිය ප්‍රකට වේ.
පරමාර්ථ ධර්ම වශයෙන් ගත්කල්හි මේ මාර්ගාඞ්ග දොළොසෙහි, ප්‍රඥා, විතර්ක, සම්මාවාචා, සම්මාකම්මන්ත, සම්මා ආජීව, සති, විරිය, ඒකග්ගතා, දිට්ඨි යන චෛතසික නවය ලැබෙති. එයින් දිට්ඨිය එකාන්ත අකුසල ධර්මයකි. ප්‍රඥා විරතිත්‍රය සහ සතිය එකාන්ත කුසල ධර්මයෝයි. විතර්ක විරිය ඒකග්ගතා යන තුන අන්‍ය සමාන චෛතසික හෙවත් මිශ්‍රක ධර්මයෝයි.