අභිධර්මාර්ථ ප්‍රදීපිකා

ඉන්‍ද්‍රිය ධර්ම

ඉන්‍ද්‍රිය ධර්මයෝ දෙවිස්සකි එනම්.

  1. චක්ඛු ඉන්‍ද්‍රිය
  2. සොත ඉන්‍ද්‍රිය
  3. ඝාණ ඉන්‍ද්‍රිය
  4. ජිව්හා ඉන්‍ද්‍රිය
  5. කාය ඉන්‍ද්‍රිය
  6. ඉත්‍ථි ඉන්‍ද්‍රිය
  7. පුරුෂ ඉන්‍ද්‍රිය
  8. ජීවිත ඉන්‍ද්‍රිය
  9. මන ඉන්‍ද්‍රිය
  10. සුඛ ඉන්‍ද්‍රිය
  11. දුක්ඛ ඉන්‍ද්‍රිය
  12. සොමනස්ස ඉන්‍ද්‍රිය
  13. දොමනස්ස ඉන්‍ද්‍රිය
  14. උපෙක්ඛා ඉන්‍ද්‍රිය
  15. සද්ධා ඉන්‍ද්‍රිය
  16. විරිය ඉන්‍ද්‍රිය
  17. සති ඉන්‍ද්‍රිය
  18. සමාධි ඉන්‍ද්‍රිය
  19. පඤ්ඤා ඉන්‍ද්‍රිය
  20. අනඤ්ඤාතඤ්ඤස්සාමිතින්ද්‍රිය
  21. අඤ්ඤින්ද්‍රිය
  22. අඤ්ඤාතාවින්ද්‍රිය

කුසලාකුසල කර්මයන් කෙරෙහි කිසිවෙකුගේ ඊශ්වරත්වයක් නැති හෙයින් කර්මයට ඉන්ද්‍ර යන නාමය ව්‍යවහාර කෙරේ. ඒ ඊශ්වර භාවය හැඟවීම, දැන්වීම හෝ ප්‍රකාශ කිරීම ඉන්ද්‍ර ලිඞ්ගය නම් වේ. චක්ඛු, සොත, ඝාණ ජිව්හා, කාය, මන ආදීහු කුසලාකුසල කර්මය ඇතිබව ප්‍රකාශ කරන හෙයින් හෙවත් දන්වන හෙයින් ඒ ධර්මයන්ට ඉන්‍ද්‍ර ලිඞ්ගාර්ථයෙන්, ඉන්‍ද්‍රියයෝ යි කියත්.

එමෙන්ම ඒ ඉන්‍ද්‍ර නම් වූ කර්මය විසින් සකස් කරණලද, උපදවනලද, චක්‍ෂුරාදී ධර්මයන්ගේ ස්වභාවය හෝ කර්මය විසින් සකස් කරන ලද්දේය, උපදවන ලද්දේය යන අර්ථයෙන් හෙවත් ඉන්‍ද්‍ර ඉට්ඨාර්ථ යෙන් ද ඉන්‍ද්‍රියයෝ නම් වෙත්.

තවද, චතුරාර්යසත්‍යය අවිපරීතාකාරයෙන් අවබොධ කළා වූ ඉන්ද්‍ර නම් වූ පරමෙශ්වර වූ සර්වඥයන්වහන්සේ විසින් දේශනා කළ ධර්මයාගේ ස්වභාවය හෝ ඉන්ද්‍රදෙසිතාර්ථයෙන් ඉන්ද්‍රිය නම් වේ.

එමෙන්ම ඉන්‍ද්‍ර නම් වූ ඒ භාග්‍යවතුන්වහන්සේ විසින් දක්නාලද හෙවත් ඉන්‍ද්‍ර දිට්ඨාර්ථයෙන් ද ඉන්ද්‍රිය නම් වේ.

එසේම, ඉන්ද්‍ර නම් වූ ඒ තථාගතයන්වහන්සේ විසින් සෙව්නාලද, ආසෙවිත නිසෙවිත ධර්මයාගේ ස්වභාවය හෝ ඉන්ද්‍රජුට්ඨාර්ථයෙන් ඉන්ද්‍රිය නම් වේ.

තවද, අධිපති භාවය සඞ්ඛ්‍යාත වූ නොහොත් ඉන්ද්‍රිය ප්‍රත්‍යභාවය යයි කියනලද ඊශ්වරාර්ථය ප්‍රකාශ කරන හෙයින් ද මේ චක්‍ෂුරාදි ධර්මයන්ට ඉන්ද්‍රියයෝ යි කියති.

චක්‍ෂුරාදී වූ මේ ඉන්ද්‍රිය ධර්මයෝ ඇති තන්හි ඒ ඒ කෘත්‍යයන්හි අධිපති භාවය ප්‍රකාශ කරන්නේය චක්‍ෂුප්‍රසාදාදීන් තීක්‍ෂණ වූ කල චක්‍ෂුර්විඤ්ඤාණාදිය ප්‍රසන්න වන්නේත්, එය දුර්වල වූ කල අප්‍රසන්න වන්නේත් මේ ඊශ්වරත්‍වය බලපවත්නා හැටියටය. මෙසේ ඊශ්වර භාවය හෙවත් පරමාධිපති භාවය කරන ධර්මයෝ දෙවිස්සක් (22) පමණක් ඇති හෙයින් දෙවිසි (22) ඉන්‍ද්‍රියයන් මෙසේ පිළිවෙලින් දේශනා කළ සේක.

  1. චක්‍ෂු ඉන්ද්‍රිය - දර්‍ශන කෘත්‍යයෙහිදී චක්ඛු දසක කලාපයෙහි ඇතුළත්වූ පඨවි, ආපො, තෙජෝ, වායො, වණ්ණ, ගන්‍ධ, රස, ඕජා, ජීවිත යන රූපයෝ නවදෙනා චක්‍ෂු ප්‍රසාද රූපයට අනුව පවත්නා හෙයින්, හෙවත් ඒ රූපයන් නවදෙනා කෙරෙහි චක්‍ෂුප්‍රසාදය අධිපති භාවය සිද්ධ කරන හෙයින් එයට චක්‍ෂුරෙන්‍ද්‍රිය යයි කියති. චක්ඛු විඤ්ඤාණ නම් වූ විපාක සිත ඉපදීමේදී ඉන්‍ද්‍රිය ප්‍රත්‍යයෙන් උපකාරවන හෙයින් හෙවත් තමාගේ ආකාරයට පමුණුවන ස්වභාවය ඇති හෙයින්ද චක්‍ෂුරින්ද්‍රිය නම් වේ. භූමි වශයෙන් කාමාවචර භූමියට ඇතුළත් මේ චක්‍ෂුරෙන්‍ද්‍රිය ය, සෙසු ඉන්ද්‍රියයනට වඩා විදර්‍ශනාව පිණිස, අධ්‍යාත්ම ධර්‍මයක් වශයෙන් මූලික වන හෙයින් චක්‍ෂුරින්‍ද්‍රියය පළමුකොට දේශනා කළ බව දතයුතු. චාර වශයෙන් සලකන කල්හි, යම් යම් ස්වභාවයක් තෙමේ චක්‍ෂුචාරයෙහි ද අධිපති බව කරවයි ද, චක්‍ෂුචාර ස්වභාවයෙන් ඒ චක්‍ෂුචාරයෙහි හටගත්තාවූ චිත්ත චෛතසික යන් රූපාලම්බනයන් ගැනීමේදි තමා කෙරෙහි අනුව පවත්වයිද ඒ චක්‍ෂුචාරයෙහි හටගත්තාවූ චිත්ත චෛතසිකයෝ තුමූ ඒ චක්‍ෂුරින්ද්‍රියට අනුව පවතිත්ද, එහෙයින්ද, එයට චක්‍ෂුරින්ද්‍රිය යයි කියනු ලැබේ. සොතින්ද්‍රිය ආදීවූ අනිකුත් ඉන්‍ද්‍රියයෝද මේ ක්‍රමයෙන්ම දත යුතුය.
  2. සොත ඉන්ද්‍රිය - නම් සොතප්‍රසාදයයි. ශ්‍රවණ- කෘත්‍යයෙහිදී හෙවත් ශබ්දශ්‍රවණයෙහිදී සොතවිඤ්ඤාණයන්ට ඉන්ද්‍රිය ප්‍රත්‍ය භාවය හෙවත් පරමාධිපති භාවය සිද්ධ කරන හෙයින් සොතින්‍ද්‍රිය නම් වේ. කාමාවචර භූමියට අයත් මේ සොතින්‍ද්‍රිය, ඉන්ද්‍රිය ධර්‍මයන් අතුරෙන් දෙවෙනිකොට දක්වන ලද්දේ චක්ඛුන්ද්‍රිය හැරුණුවිට සොතින්ද්‍රිය විදර්ශනාවට අන්‍ය ධර්‍මයන්ට වඩා ප්‍රධාන වන හෙයිනි.
  3. ඝාණ ඉන්‍ද්‍රිය - නම් ඝාණප්‍රසාදය යි ආඝ්‍රාණය කෘත්‍යයෙහිදී හෙවත් ගඳ සුවඳ දැනගැනීමේදී ඝාණවිඤ්ඤාණයන්ට ඉන්‍ද්‍රිය භාවය හෙවත් පරමාධිපති භාවය සිද්ධ කරන හෙයින් ඝාණින්‍ද්‍රිය නම් වේ. මෙයද කාමාවචර ය.
  4. ජිව්හා ඉන්‍ද්‍රිය නම් ජිව්හා ප්‍රසාදයයි. එය සායන කෘත්‍යයෙහිදී හෙවත් රස විඳීමේදී ජිව්හා විඤ්ඤාණයන්ට ඉන්‍ද්‍රිය භාවය හෙවත් පරමාධිපති භාවය සිද්ධ කරන හෙයින් ජිව්හින්‍ද්‍රිය නම් වේ. මෙයද කාමාවචරය.
  5. කාය ඉන්‍ද්‍රිය නම් කායප්‍රසාදයයි. ඵුසන කෘත්‍යය හෙවත් ස්පර්‍ශ කිරීමේදී කාය විඤ්ඤාණයන්ට ඉන්‍ද්‍රිය භාවය හෙවත් පරමාධිපති භාවය සිද්ධ කරන හෙයින් කායින්ද්‍රිය නම් වේ. මෙයද කාමාවචරය.

සත්ත්‍වයන්ගේ රූප කාය පිළිබඳවූද, ප්‍රකටවූද අධ්‍යාත්ම ආයතනයන් ආත්ම දෘෂ්ටි ආදි වශයෙන් ගැනීමෙන් අනර්‍ත්‍ථය සිදුවන බැවින්ද, විදර්‍ශනා වැඩිමට මේ ප්‍රසාද ඉන්‍ද්‍රිය පස උපකාර වන බැවින්ද, මේ පිළිවෙලින් චක්‍ෂුරින්‍ද්‍රිය ආදිකොට ඇති මේ ඉන්‍ද්‍රිය පස පළමුකොට දේශනා කරණ ලදි. එයට අනතුරුව ස්ත්‍රීය, පුරුෂයාය යන ව්‍යවහාරයට හේතු වන්නාවූ භාව ඉන්‍ද්‍රියවය හෙවත් ඉත්‍ථින්ද්‍රිය සහ පුරුසින්‍ද්‍රිය ද දක්වා වදාළ සේක.

  1. ඉත්‍ථි ඉන්‍ද්‍රිය - යනු ස්ත්‍රී භාව රූපයයි. කම්ම, චිත්ත සෘතු ආහාර යන සතර ප්‍රත්‍යයෙන්ම උපදවනලද රූපයන්ට හෙවත් මුළු පඤ්චස්කන්‍ධයටමත් ප්‍රවෘත්ති කාලයෙහිදී, ස්ත්‍රී ලිඞ්ග, ස්ත්‍රී නිමිත්ත, ස්ත්‍රී කුත්ත, ස්ත්‍රී ආකල්ප ආදි වශයෙන් ස්ත්‍රී ආකාරය පහළ කරවීමෙහිදී හෙවත් එකී ස්ත්‍රී ආකාර රචනා කිරීමේදී ඉන්‍ද්‍රිය භාවය හෙවත් පරමාධිපති භාවය සිද්ධකරන හෙයින් ඉත්‍ථින්ද්‍රිය නම් වේ. ස්ත්‍රී ලිඞ්ග යනු ස්ත්‍රී යයි හැඳිනීමට හැකි ආකාරයි ස්ත්‍රී නිමිත්ත නම් ඔවුන්ගේ පයෝධරාදි අවයවයෝ යි ස්ත්‍රී කුත්ත නම් බාල කල සිටම මැහුම් ගෙතුම් ආදියෙන් හා හැලිවලන් ආදියෙන් ක්‍රීඩා කිරීම් ආදිවූ ක්‍රියාවෝ යි ස්ත්‍රී ආකල්ප නම් ඇගේ ගමනාදි ආකාරයෝයි.

ප්‍රතිසන්‍ධික්‍ෂණයේදී පහළවන්නාවූ කාය දසක, භාව දසක, වත්‍ථු දසක යන ත්‍රිවිධ කර්මජ රූපකලාපයන්ට අයත් භාවදසක කලාපයෙහි ස්ත්‍රී භාවරූපය පහළවූයේ නම්, ඇය පිළිබඳවූ චතුසමුට්ඨානික රූපකලාප සමූහයම උපදවන්නේ ස්ත්‍රී ආකාරාදියෙන් යුක්තවමය. මෙසේ වන්නේ ඉත්‍ථින්ද්‍රිය ඒ ඒ රූපයන් කෙරෙහි පරමාධිපතිභාවය සිද්ධ කරන හෙයිනි.

7. පුරුෂ ඉන්‍ද්‍රිය යනු පුරුෂ භාව රූපයයි කර්මාදි චතුසමුට්ඨානික රූපයනට හෝ මුළු පඤ්ච ස්කන්‍ධයටම හෝ ප්‍රවෘත්ති කාලයේදී පුරුෂ ලිඞ්ග, පුරුෂ නිමිත්ත, පුරුෂ කුත්ත පුරුෂ ආකල්පාදි වශයෙන් පුරුෂ ආකාර දැක්වීමේදී හෙවත් රචනා කිරීමේදී ඉන්ද්‍රිය භාවය හෙවත් පරමාධිපති භාවය සිද්ධ කරන හෙයින් පුරිස ඉන්ද්‍රිය නම් වේ. ප්‍රතිසන්‍ධික්‍ෂණයේදී භාව දසක කලාපයට ඇතුළත්ව පුරුෂ භාව රූපය පහළවූයේ නම්, ප්‍රවෘත්ති කාලයේදී ඔහු පිළිබඳ වූ චතුසමුට්ඨානික රූපයෝ පුරුෂාකාරාදියෙන් යුක්තවම උපදී. මේ කාරණයෙන් මෙතෙමේ පුරුෂයකැයි හැඳිනීමට හැකිවේ. මේ භාවෙන්ද්‍රිය දෙකම කාමාවචරය.

මෙසේ ප්‍රසාද ඉන්ද්‍රිය පසද, එයට අනතුරුව භාව රූප දෙක කරණ කොට ගෙණ සත්ත්වයන් ස්ත්‍රී පුරුෂාදි වශයෙන් බෙදාගෙන අනුරාගාදි චේතනා පහළ කරගනිමින් නොමඟ යා හැකි බැවින්, භාවින්ද්‍රියවයද දක්වා, මේ භාව ඉන්ද්‍රියයන් දෙදෙනා ජීවිතෙන්ද්‍රියය ප්‍රතිබද්ධවම හට ගන්නා බැව් දක්වනු පිණිස එයට අනතුරුව ජීවිතෙන්ද්‍රිය දක්වා වදාළ බැව් දතයුතු.

  1. ජීවිතෙන්‍ද්‍රියය: සත්ත්‍වයා ජීව සංඥාව ලබන්නාවූද නාම රූප වශයෙන් විභෙදයක් ඇති, සහජාත නාමරූප ධර්‍මයන්ගේ පරිපාලන කෘත්‍යයෙහිදී ඉන්‍ද්‍රිය භාවය හෙවත් පරමාධිපති භාවය සිද්ධ කරන්නාවූ යම් ධර්‍මයක් වෙනම් එයට ජීවිතෙන්‍ද්‍රිය යයි කියනු ලැබේ. නාමජීවිතෙන්‍ද්‍රියය යනු සියලුම චිත්තයන්හි සම්ප්‍රයුක්තවූ සබ්බචිත්ත සාධාරණ චෛතසිකයක් වූ ජීවිතෙන්‍ද්‍රිය චෛතසිකයයි. රූප ජීවිතෙන්‍ද්‍රිය යනු කර්‍මජ රූප කලාපයන්ට ඇතුළත්ව, සහජාත රූපයන් පාලනය කිරීමෙහි සමත් ජීවිතෙන්‍ද්‍රිය රූපයයි. මේ දෙදනා කරණකොටගෙන නාමරූප ධර්‍මයෝ ජීවත් වෙත්. එය නැති කල්හි ජීවත්වීමක් නොවන්නේය. නාම ජීවිතෙන්‍ද්‍රියය චාතුර්භූමිකය.
  2. මනින්‍ද්‍රිය නම් චිත්තයයි. එය විජානන කෘත්‍යයෙහිදී හෙවත් අරමුණු දැනීම් කෘත්‍යයෙහිදී සහජාත ධර්‍මයන් කෙරෙහි ඉන්‍ද්‍රිය භාවය හෙවත් ඊශ්වර භාවය සිද්ධකරන හෙයින් මනින්‍ද්‍රිය නම් වන්නේය. චාතුර්භූමික වූ මේ මනින්‍ද්‍රිය ය ඇති සැටියෙන් නොදත් බැව් හේතු කොටගෙන ආත්ම දෘෂ්ටි ගෙන අනර්‍ත්‍ථය සිද්ධකරගන්නා හෙයින් රූප ජීවිතින්‍ද්‍රියට අනතුරුව නාම ඉන්‍ද්‍රියයන් අතුරෙන් මනින්‍ද්‍රියය පළමුකොට දක්වන ලදි.
  3. සුඛින්‍ද්‍රිය කුසල විපාක සුඛ සහගත කායවිඤ්ඤාණයෙහි සම්ප්‍රයුක්ත සුඛ වෙදනා තොමෝ සුඛින්‍ද්‍රිය නම් වේ. කාය ස්පර්‍ශ වූ ඉෂ්ටාරම්මණයෙහි මිහිරි රසය අනුභව කිරීමේදී තමා හා එක්ව යෙදුනා වූ හෙවත් සහජාත ධර්‍ම යන් කෙරෙහි ඉන්‍ද්‍රිය භාවය හෙවත් ඊශ්වර භාවය සිද්ධ කරන හෙයින් සුඛින්‍ද්‍රිය නම් වේ. මෙයද කාමාවචරය.
  4. දුක්ඛින්‍ද්‍රිය අකුසල විපාක දුක්ඛ සහගත කාය විඤ්ඤාණයෙහි සම්ප්‍රයුක්ත දුක්ඛ වෙදනා තොමෝ දුක්ඛින්‍ද්‍රිය නම් වේ. කාය ස්පර්‍ශ වූ අනිෂ්ටාරම්මණයෙහි කටුක රසය අනුභව කිරීමේදී සහජාත ධර්‍මයන් කෙරෙහි ඉන්‍ද්‍රිය භාවය හෙවත් ඊශ්වරභාවය සිද්ධ කරන හෙයින් දුක්ඛින්‍ද්‍රිය නම්
  5. වේ. මෙයද කාමාවචරය.
  6. සොමනස්සින්‍ද්‍රිය දෙසැටක් (62) සොම්නස් සහගත සිත්හි සම්ප්‍රයුක්ත සොම්නස් වේදනා තුමූ සොමනස්සින්‍ද්‍රිය නම් වේ. සිතට හමු වූ ඉෂ්ටාරම්මණයෙහි මිහිරි රසය අනුභව කිරීමේදී සහජාත ධර්‍මයන් කෙරෙහි ඉන්ද්‍රිය භාවය හෙවත් ඊශ්වර භාවය සිද්ධ කරන හෙයින් සොමනස්සින්‍ද්‍රිය යයි කියනු ලැබේ. මෙය කාම, රූප, ලෝකෝත්තර යන භූම්ත්‍රයට ඇතුළත් ය.
  7. දෝමනස්සින්‍ද්‍රිය දෝම්නස් සහගත අකුසල් සිත් දෙකෙහි සම්ප්‍රයුක්ත වේදනා තොමෝ දෝමනස්සින්‍ද්‍රිය නම් වේ. ඒ සිතට හමුවන අනිෂ්ටාරම්මණයෙහි අමිහිරි රසය අනුභව කිරීමේදී සහජාත ධර්‍මයන් කෙරෙහි ඉන්ද්‍රිය භාවය හෙවත් ඊශ්වර භාවය සිද්ධ කරන හෙයින් දෝමනස්සින්‍ද්‍රිය නම් වන්නේය. මෙයද කාමාවචරය.
  8. උපෙක්ඛින්‍ද්‍රිය පස්පනස් (55) උපෙක්‍ෂා සහගත සිත්හි සම්ප්‍රයුක්ත වේදනා තොමෝ උපෙක්ඛින්‍ද්‍රිය නම් වේ. සිතට හමුවූ මධ්‍යස්ථාරම්මණයෙහි මිහිරිද නොවූ අමිහිරිද නොවූ රසය අනුභව කිරීමේදී සහජාත ධර්‍මයන් කෙරෙහි ඉන්ද්‍රිය භාවය හෙවත් ඊශ්වර භාවය සිද්ධ කරන හෙයින් උපෙක්ඛින්‍ද්‍රිය නම් වේ. මෙය චතුර් භූමිකය.

සුඛින්ද්‍රිය ආදිකොට ඇති මේ ඉන්ද්‍රිය ධර්‍ම පස ආරම්මණ රසානුභවයෙහිදී සහජාත ධර්‍මයන්ට පරමාධිපතීභාවය සිද්ධ කරත්. ඒ පසම එකම වේදනා චෛතසිකය වේ.

ජීවිතෙන්ද්‍රිය පවත්නාතෙක්ම වේදනාව පවත්නා හෙයින්ද, ඒ සියලු වේදනාවෝ දුක් බව හැඟවීම පිණිසත්, ජීවිතෙන්ද්‍රියයට අනතුරුව සුඛින්ද්‍රියාදි වේදනා පඤ්චකය වදාළහ.

ඉක්බිතිව, ඒ වේදනා ඉන්ද්‍රියයන්ගේ නිරුද්ධ කිරීම පිණිස වැඩිය යුතු ප්‍රතිපත්ති ධර්‍මයන් දක්වනු සඳහා වේදනා ඉන්ද්‍රියයන්ට අනතුරුව ශ්‍රද්ධාදී පඤ්චෙන්ද්‍රියයෝ දක්වන ලදී.

  1. ශ්‍රද්ධා ඉන්‍ද්‍රිය යනු සෝභන සාධාරණ ශ්‍රද්ධා චෛතසිකයයි අශ්‍රද්ධාව නම් වූ ප්‍රතිපක්‍ෂ ධර්‍මය මැඩ පැවැත්වීමේදී හා සම්ප්‍රයුක්ත ධර්‍මයන් ශාන්ත ආකාරාදියට පැමිණවීම නොහොත් බුද්ධාදි අරමුණු ඇදහීමේදී සහජාත ධර්‍මයන් කෙරෙහි ඉන්‍ද්‍රිය භාවය හෙවත් පරමාධිපතිභාවය සිද්ධ කරන හෙයින් සද්ධින්‍ද්‍රිය නම් වේ,
  2. විරියින්‍ද්‍රිය යනු වීර්‍ය්‍ය චෛතසිකයයි. කටයුත්තෙහි මැලි බව දුරුකොට නොපසුබට කරවීමේ කෘත්‍යයෙහිදී හෙවත් උපස්ථම්භක බවට පැමිණවීමේ දී සහජාත ධර්‍මයන්ට ඉන්‍ද්‍රිය භාවය හෙවත් ඊශ්වර භාවය සිද්ධකරන හෙයින් විරියින්‍ද්‍රිය නම් වේ.
  3. සතින්‍ද්‍රිය යනු සති චෛතසිකය වේ. අරමුණු වටහා ගැනීමේදී හෙවත් සිහිකිරීමේදී සිත ආරක්‍ෂාකොට ගෙන, සහජාත ධර්‍මයන්ටද ඊශ්වර භාවය සිද්ධ කරන හෙයින් සතින්‍ද්‍රිය නම් වේ.
  4. සමාධින්‍ද්‍රිය යනු එකග්ගතා චෛතසිකයයි. අරමුණෙහි සිත සමව හා මනාව පිහිටුවීමට හෙවත් නන් අරමුණෙහි විසිරයානොදී මොනවට පිහිටි ආකාරයට සිත් පවත්වා ගැනීමේදී සහජාත ධර්‍මයන්ට ඉන්ද්‍රිය භාවය සිද්ධ කරන හෙයින් සමාධින්‍ද්‍රිය නම් වේ.
  5. පඤ්ඤින්‍ද්‍රිය නම් අමෝහ චෛතසිකයයි. ඒ ඒ වස්තුන් පිළිබඳවූ විශේෂ ලක්‍ෂණ හා අනිත්‍යාදීවූ සාමාන්‍ය ලක්‍ෂණ පිළිබඳ දැනීම ඇතිකරන්නාවූ මේ ප්‍රඥාව, අසම්මෝහ නම්වූ නුමුළා බව සිද්ධ කිරීමේදී සහජාත ධර්‍මයන්ට ඊශ්වර භාවය දක්වන හෙයින් පඤ්ඤින්‍ද්‍රිය නම් වේ.

සද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා යන මේ පඤ්චේන්‍ද්‍රියයෝ චාතුර් භූමිකයෝයි.

මෙසේ ප්‍රතිපත්ති දක්වා ඒ ප්‍රතිපත්තිය නොසිස් බව දක්වනු සඳහා අනඤ්ඤාතඤ්ඤස්සාමිතින්ද්‍රිය ආදී ඉන්‍ද්‍රියයෝ තුන් දෙනා අවසාන වශයෙන් දක්වන ලදී.

  1. අනඤ්ඤාතඤ්ඤස්සාමිතින්ද්‍රිය. මෙය සොවාන් මාර්ග සිතෙහි යෙදෙන ප්‍රඥාවයි. ඒ ප්‍රඥාව අනාදිමත් සංසාරයෙහි පෙර කිසි කලෙක නොදක්නාලද සිව්සස් හා අසඞ්ඛත ධාතු සඞ්ඛ්‍යාත වූ නිර්‍වාණ ධර්‍මයද, පළමුකොට දක්නා හෙයින්ද, මාර්ග චිත්තයෙහි යෙදුනා වූ සත්තිස් බොධි පාක්‍ෂික ධර්‍මයන්ට ඊශ්වර භාවය සිද්ධ කරන හෙයින්ද, අනඤ්ඤාතඤ්ඤස්සාමිතින්ද්‍රිය නම් වන්නේය. සක්කාය දිට්ඨි ආදි ත්‍රිවිධ සංයෝජනයන් ප්‍රහාණය කිරීම හා සම්ප්‍රයුක්ත ධර්‍මයන් ඒ ප්‍රහාණයට අභිමුඛ කිරීම, අනඤ්ඤාතඤ්ඤස්සාමිතින්ද්‍රිය යාගේ කෘත්‍යය වේ.
  2. අඤ්ඤින්ද්‍රිය යනු සොවාන් ඵල චිත්තය, සකෘදාගාමි මාර්ග චිත්තය, සකෘදාගාමි ඵල චිත්තය, අනාගාමි මාර්ග චිත්තය, අනාගාමි ඵල චිත්තය අර්හත් මාර්ග චිත්තය යන ලොකොත්තර සිත් සයෙහි යෙදෙන ප්‍රඥාවට නමෙකි. ප්‍රථම මාර්ගයෙන් දක්නාලද චතුරාර්‍ය්‍ය සත්‍යය හා නිර්‍වාණයද, මේ සිත් සයෙහි යෙදෙන ප්‍රඥාව විසින් හාත්පසින්ම දක්නා හෙයින් ද ඒ චිත්තයන්හි යෙදුනාවූ සත්තිස් බොධි පාක්‍ෂික ධර්‍මයන්ට ඊශ්වර භාවය සිද්ධ කරන හෙයින්ද අඤ්ඤින්ද්‍රිය නම් වේ. කාමරාග, ව්‍යාපාදාදි, සංයෝජනයන්ගේ තුනී කිරීමද, ප්‍රහාණය කිරීමද, සහජාත ධර්‍මයන් තමාගේ වශයෙහි පැවැත්වීමද, මාර්ග සම්ප්‍රයුක්ත අඤ්ඤින්ද්‍රිය යාගේ කෘත්‍යය වේ. ඵලසිත්හි සම්ප්‍රයුක්ත අඤ්ඤින්ද්‍රිය ඒ ඒ සංයෝජනයන් පටිප්පස්සද්ධි වශයෙන් ප්‍රහාණය කිරීම කෘත්‍ය කොට ඇත්තේය.
  3. අඤ්ඤාතාවින්ද්‍රිය යනු අර්හත් ඵල චිත්තයෙහි යෙදුනාවූ ප්‍රඥා චෛතසිකයයි. චතුරාර්‍ය්‍ය සත්‍යය හා නිර්‍වාණය දැනීමේ අවසානයට පැමිණි හෙයින් රහතන් වහන්සේට අඤ්ඤාතාවි යයි කියති: ඒ රහතන් වහන්සේ පිළිබඳවූ ඉන්ද්‍රියයට අඤ්ඤාතාවින්ද්‍රිය යයි කියනු ලැබේ. මේ අඤ්ඤාතාවින්ද්‍රිය ය, පරිඤ්ඤෙය, පහාතබ්බ, භාවෙතබ්බ, සච්ඡිකාතබ්බ ධර්‍මයන් පරිඤ්ඤාණ, පහාණ, භාවනා, සාක්‍ෂාත්කරණ වශයෙන් සියලු කෘත්‍යයන් කොට නිමවා, නිර්‍වාණාභිමුඛවීම හා සහජාත ධර්‍මයන්ගේ නිර්‍වාණාභිමුඛ භාවයට ප්‍රත්‍යය වීමද කෘත්‍ය කොට ඇත්තේය.

මෙසේ අවසාන වශයෙන් දක්වනලද ලෝකෝත්තර ප්‍රඥා නම්වූ අනඤ්ඤාතඤ්ඤස්සාමිතින්‍ද්‍රිය, අඤ්ඤින්‍ද්‍රිය, අඤ්ඤාතාවින්‍ද්‍රිය යන තුන්දෙනා ලෝකෝත්තර භූමියටම ඇතුළත් වේ.