අභිධර්මාර්ථ ප්‍රදීපිකා

දුගති මාර්‍ගාඞ්ග

මේ දොළොස් මාර්‍ගාඞ්ගයන් අතුරෙන් මිච්ඡා දිට්ඨි, මිච්ඡා සඞ්කප්ප, මිච්ඡා වායාම, මිච්ඡා සමාධි යන සතර දෙනා ඒකාන්ත දුගති මාර්‍ගාඞ්ගයෝයි. දොළොස් අකුසල චිත්තයන්හි යෙදෙන්නාවූ මේ ධර්‍මයෝ සතරදෙනා අපායට පමුණුවන්නාවූ මාර්‍ගයාගේ අඞ්ග වන බැවින් හෝ අපායට ගෙනයන්නාවූ නැවකට බඳුවූ හෙයින් හෝ අකුසල මාර්‍ගාඞ්ග හෙවත් දුගති මාර්‍ගාඞ්ග නම් වෙති.

මිච්ඡාදිට්ඨිය - ශාස්වත, උච්ඡේදාදි වශයෙන් හෝ නාස්තික, අහේතුක, අකිරිය ආදි වශයෙන් හෝ දක්වන ලද සියලුම වැරදි දෘෂ්ටීහු මිථ්‍යා දෘෂ්ටි නම් වෙත්. අනිත්‍යාදි ධර්‍ම ස්වභාවයට ප්‍රතිපක්‍ෂවූයේ නිත්‍යාදි වශයෙන් දකිනුයි හෝ තෙමේම වරදවා දකිනුයි හෝ වරදවා දැකීම් මාත්‍රය හෝ මිච්ඡාදිට්ඨි නමි. එය නුනුවණින් ගැනීම ලක්‍ෂණ කොට ඇත්තේය. දැඩිකොට අල්වා ගැණීම කෘත්‍යකොට ඇත්තේය. අයථා ක්‍රමයෙන් මෙනෙහි කිරීම වැටහෙන ආකාරය වේ. බුද්ධාදි ආර්‍ය්‍යයන් නොදක්නා කැමැත්ත ආසන්න කාරණය වේ.

මිච්ඡාදිට්ඨිය - ලෝහමූල දිට්ඨිගත සම්ප්‍රයුක්ත අකුසල් සිත් සතරෙහි යෙදෙන දිට්ඨි චෛතසිකය වේ. අන්‍යවූ අකුසල් සිත් අටෙහි නො යෙදේ. මේ අකුසල මාර්ගාඞ්ගය, සත්ත්‍වයා මරණින් මතු ඒකාන්තයෙන්ම සතර අපායටම පමුණුවන බලවත් අකුසල ධර්මයාගේ හෙවත් දුගති මාර්ගයාගේ අඞ්ගයකි. සම්‍යග්දෘෂ්ටිය උපදවා ගැණීමෙන් එය නැසිය යුතු වේ.

මිච්ඡාසඞ්කප්පය:- කාම විතර්‍ක, ව්‍යාපාද විතර්‍ක, විහිංසා විතර්‍ක වශයෙන් ප්‍රභේද ඇති මේ විතර්‍ක චෛතසිකය අකුසල් සිත්හි යෙදෙන කල්හි, එය දුගතියට පමුණුවන මාර්ගයාගේ අඞ්ගයක්ද වන බැවින් එයට දුගති මාර්ගාඞ්ගයක් යයි කියනු ලැබේ.

කාමරාගය හෙවත් කාමතෘෂ්ණාව වැඩීමට උපකාර වන්නාවූද, කාමයන් පිළිබඳව ඇතිවන්නාවූ යම් වැරදි කල්පනාවක් හෙවත් විතර්‍කයක් වේද එය කාමවිතර්‍ක නමි. මෙය නෙක්ඛම්ම සඞ්කප්පය වැඩීමෙන්ම දුරුකට යුතු වේ.

පටිඝය නොහොත් ව්‍යාපාදය දියුණුවීමට උපකාර වන්නාවූ පටිඝයාගේ වැඩීමක් වේද, නොකැමැති අරමුණක් පිළිබඳව වැරදිවූ අයහපත් කල්පනාවෙක් හෝ විතර්‍කයක් වේද එය ව්‍යාපාද විතර්‍ක නමි. මෙය මෛත්‍රිය හෙවත් අව්‍යාපාද සඞ්කප්පය වැඩීමෙන් දුරුකටයුතු වේ. විහිංසාව වැඩීමට උපකාරවන්නාවූ හෙවත් මෙරමාහට හිංසා කිරීම පිණිස හේතුවන යම් වැරදි කල්පනාවක් හෙවත් අයහපත් විතර්‍කයක් වේද එය විහිංසා විතර්‍ක නම්. කරුණා ගුණය නොහොත් අවිහිංසා සඞ්කල්පය වැඩීමෙන් එය දුරු කටයුතු වේ.

මේ මිච්ඡා සඞ්කප්පය දොළොස් අකුසල් සිත්හි විතර්‍ක චෛතසිකය වශයෙන් යෙදෙමින්, ප්‍රාණඝාතාදි අකුසල කර්‍මයන්ට අනුබල දෙමින් සත්ත්‍වයා සතර අපායට පමුණුවන මාර්‍ගයාගේ අඞ්ගයක් වන බැවින් දුගති මාර්‍ගාඞ්ග යක් වේ.

මිච්ඡාවායාමය: සම්‍යග් ව්‍යායාමයට ප්‍රතිපක්‍ෂවූ අයහ පත් වීර්‍ය්‍යය මිච්ඡා ව්‍යායාමය නම් වේ. ප්‍රාණඝාතාදි අකුසල කර්‍ම පථයන් සිද්ධ කරන්නාවූ කල්හි ඒ අයහපත් ක්‍රියාව සමෘද්ධ කරගැනීමට යම් උත්සාහයක්, වීර්‍ය්‍යයක් උපදවන්නේ නම් එයට මිච්ඡා වායාම යයි කියති. දොළොස් අකුසල් සිත්හිම ලැබෙන මේ වීර්‍ය්‍ය චෛතසිකය, අපායට පමුණුවන මාර්‍ගයෙහි අඞ්ගයක් වන බැවින් එයට දුගති මාර්‍ගාඞ්ගයක් යයි කියනු ලැබේ. සම්‍යග් ව්‍යායාමය වැඩී මෙන් එය දුරුකට යුතු වේ.

මිච්ඡා සමාධිය යනු දොළොස් අකුසල් සිත්හි යෙදෙන එකග්ගතා චෛතසිකයයි. අකුසල කර්‍ම සිදුකිරීමේදී යම් අරමුණක් පිළිබඳව බලවත්වූ අයහපත් ඒකාග්‍රතාවයක් වේ නම් එයට මිච්ඡාසමාධිය යයි කියති. සමථ භාවනා වැඩීමෙන් එය දුරු කටයුතු වේ.

මේ සතර දුගති මාර්‍ගාඞ්ගයන් අතුරෙන් මිච්ඡා දිට්ඨිය හෙවත් දිට්ඨි චෛතසිකය ඒකාන්ත අකුසල මාර්‍ගාඞ්ගයකි. ඉතිරි අන්‍ය සමාන චෛතසික තුන් දෙන හෙවත් විතක්ක, විරිය ඒකග්ගතා යන ධර්‍මයෝ කුසල් සිත්හිද යෙදෙන බැවින් මිශ්‍රක ධර්‍ම නම් වෙත්. මේ ධර්‍ම තුන, අකුසල් සිත්හි යෙදෙන කල්හි පමණක් අකුසල හෙවත් දුගති මාර්‍ගාඞ්ග යයි ව්‍යවහාර කරනු ලැබේ.

දොළොස් අකුසල් සිත් අතුරෙන් දිට්ඨිගත සම්ප්‍රයුක්ත අකුසල් සිත් සතරෙහි පමණක් මේ අපාය මාර්ගාඞ්ගයෝ සතර සතර දෙනා බැහින්ද, අවශේෂවූ අකුසල් අටෙහි මිච්ඡා සඞ්කප්ප, මිච්ඡාවායාම, මිච්ඡා සමාධිය යන අපාය මාර්ගාඞ්ගයෝ තුන්දෙනාද සුදුසු පරිද්දෙන් යෙදෙන බව දතයුතු.

තවද, මිච්ඡාවාචා, මිච්ඡාකම්මන්ත, මිච්ඡා ආජීව, මිච්ඡාසති යන සතර ධර්‍ම කෙනෙක්ද දේශනාවෙහි දක්වා තිබේ. එසේ දක්වන ලද්දේ අකුසල චිත්තොත්පාද වශයෙන් මිස මාර්ගාඞ්ග වශයෙන් නොවේ. මේ සතර ධර්‍මයෝ ඇතුළත් වන චෛතසික ධර්‍ම නැත. මිච්ඡාවාචා යනු මුසාවාදාදි සතරවාග් දුශ්චරිතයෝයි. ප්‍රාණඝාතාදි ත්‍රිවිධ කාය දුශ්චරිතයන්ට මිච්ඡාකම්මන්ත යයි කියති. සප්තවිධ කාය වාග් දුශ්චරිතයන්හි හැසිරෙමින් සිදුවන අයහපත් ජීවිකාවට මිච්ඡාජීවය යයි කියනු ලැබේ. සම්මාසතියට ප්‍රතිපක්‍ෂවූ සිහිමුලා බවට මිච්ඡාසති යයි ව්‍යවහාර වේ. සතිය සෝභන සාධාරණ චෛතසිකයකි. එය අකුසල් සිත්හි නොයෙදේ.