සම්‍යක්ප්‍ර‍ධාන

  1. උපන් අකුශලයන් ප්‍ර‍හාණය පිණිස කරන ව්‍යායාමය,
  2. නූපන් අකුශලයන් නූපදීම පිණිස කරන ව්‍යායාමය,
  3. නූපන් කුශලයන් ඉපදීම පිණිස කරන ව්‍යායාමය,
  4. උපන් කුශලයන් දියුණුවීම පිණිස කරන ව්‍යායාමය,

මෙසේ සම්‍යක්ප්‍ර‍ධාන සතරකි.

“බොහෝ වෙහෙසීම නිසා ශරීරයේ ලේ සිඳී මස් වියළී ගොස් ඇටත් සමත් නහරත් ඉතිරි වන තත්ත්වයට පැමිණියත් ලෝකෝත්තර මාර්ගයට පැමිණීමට කරන මේ වීර්‍ය්‍යය නො නවත්වමි” ය කියා පවත්වන බලවත් වීර්‍ය්‍යය සම්‍යක්ප්‍ර‍ධාන නම් වේ. ඒ වීර්‍ය්‍යය ධර්ම වශයෙන් එකක් වුව ද එයින් සිදුවන කෘත්‍යයන් අනුව සම්‍යක් ප්‍ර‍ධාන සතරක් කොට වදාරා තිබේ.

තමා අතින් යම් පාප කර්මයක් කෙරී ඇති නම්, එබඳු පාපයක් නිවනට පැමිණීම දක්වා තමා අතින් නැව සිදු නො වනු සඳහා සිල් පිරීමෙහි හා ශමථ විදර්ශනා භාවනාවන්හි යෙදීමෙහි පවත්වන බලවත් වීර්‍ය්‍යය පළමු වන සම්‍යක්ප්‍ර‍ධානය ය.

තමා අතින් සිදු වූ බවක් නො දන්නා වූ, අනුන් කරනු දැකීමෙන් ඇසීමෙන් හෝ බණ පොත්වලින් හෝ දැන ගන්නා ලද පාප කර්මයන් තමාගේ සන්තානයෙහි කිසි කලෙක ඇති නො වීම පිණිස, තමා අතින් ඒ පව්කම් නො කෙරෙනු පිණිස, සිල් පිරීමෙහි හා ශමථ විදර්ශනා භාවනාවන්හි යෙදීමෙහි ද පවත්වන වීර්‍ය්‍යය දෙවන සම්‍යක් ප්‍ර‍ධානය ය.

කුශල ධර්මයන් අතුරෙන් එතෙක් තමාගේ සන්තානයෙහි ඇති නො වූ ශීල, ශමථ විදර්ශනා භාවනා කුශලයන් ඇති කර ගැනුම පිණිස කරන ව්‍යායාමය, තවත් ක්‍ර‍මයකින් කියත හොත් සප්ත විශුද්ධීන් අතුරෙන් නොලැබූ විශුද්ධීන් ඇතිකර ගැනීම පිණිස පවත්වන වීර්‍ය්‍යය තුන් වන සම්‍යක් ප්‍ර‍ධානය ය.

පෘථග්ජන පුද්ගලයා විසින් යම් ශීලාදි ගුණයක් ඇති කරගෙන ඇතත් කෙලෙසුන්ට වසඟ වීමෙන් හෝ භවාන්තරයකට පැමිණීමෙන් හෝ ඔහුගේ ඒ ගුණ පිරිහී යා හැකි ය. එසේ නොවනු පිණිස, ලෝකෝත්තර මාර්ගයට පැමිණ ඒ ගුණ ස්ථිර කර ගැනීම සඳහා කරන ව්‍යායාමය සතර වන සම්‍යක් ප්‍ර‍ධානය ය.