ඡන්දාධිපතිය චිත්තාධිපතිය විරියාධිපතිය වීමංසාධිපතිය කියා අධිපති ධර්ම සතරෙකි.
අන්‍යයන් තමන්ට අනුකූල කරවා ගන්නෝ, අන්‍යයන් තමන්ගේ කැමැත්තේ සැටියට හසුරුවන්නෝ අධිපතීහු ය. තමන් හා සම්ප්‍රයුක්ත ධර්මයන් තමාට අනුකූල කර ගන්නා ධර්මයන්ට ද අධිපතිය යි කියනු ලැබේ. ඡන්දාදීහු තමන් හා සම්ප්‍රයුක්ත ධර්මයන් තමන්ට අනුකූල කරවන්නෝ ය. එබැවින් ඒ ධර්මයෝ අධිපතීහු නම් වෙති.
ඡන්දාධිපතිය යනු ද්විහේතුක ත්‍රිහේතුක ජවනයන්හි යෙදෙන ඡන්ද චෛතසිකය ය.
චිත්තාධිපතිය යනු ද්විහේතුක ත්‍රිහේතුක ජවන චිත්තය ය.
විරියාධිපතිය යනු ද්විහේතුක ත්‍රිහේතුක ජවනයන්හි යෙදෙන වීර්‍ය්‍ය චෛතසිකය ය.
වීමංසාධිපතිය යනු ප්‍රඥා චෛතසිකය ය. ඒක හේතුක අහේතුක ජවන චිත්තයන් හා ඒවායේ යෙදෙන වීර්‍ය්‍යයත් අධිපති භාවයට නො පැමිණේ. ඡන්ද-ප්‍රඥා චෛතසික දෙක අහේතුක ඒකහේතුක ජවනයන්හි යෙදෙන්නේ ද නැත.
ඡන්ද-චිත්ත-විරිය-වීමංස යන මේ සතර ම අධිපති ධර්ම වතුදු එක වරකදී අධිපති වන්නේ එයින් එක් ධර්මයක් පමණෙකි. සමහර සිතෙක ඡන්ද-විරිය-වීමංස යන තුන ම යෙදේ. එහෙත් ඒ අවස්ථාවේදී චිත්තය අධිපති වෙතොත්, චෛතසික තුනෙන් එකකුදු අධිපති නො වේ. යම් කිසි අවස්ථාවක ඡන්දය අධිපති වේ නම්, ඒ අවස්ථාවේ චිත්ත-විරිය-වීමංසයෝ අධිපති නො වෙති. විරිය - වීමංසයන් අධිපති වන කල්හි ද එසේ ම ය.
ඉන්ද්‍රිය-අධිපති දෙපක්ෂයේ වෙනස ද තේරුම් ගත යුතු ය. ඉන්ද්‍රියයෝ ද අන්‍ය ධර්මයන් තමන්ට අනුකූල කරගන්නෝ ය. අධිපතීහු ද අන්‍ය ධර්මයන් තමන්ට අනුකූල කරගන්නෝ ය. ඒ දෙපක්ෂයෙන් ඉන්ද්‍රිය ධර්මයන් අධිපති කම් කරන්නේ තමන් විසින් සිදු කරන කෘත්‍ය විෂයෙහි පමණෙකි. එසේ කරන්නේ ද අධිපති ධර්මයට අනුකූල වෙමින් ම ය. එබැවින් ඉන්ද්‍රියයෝ යටත් රජවරුන් වැනි ය. අධිපතීහු අධිරාජයන් වැනි ය.
ඡන්දාධිපතිය යනු යම් කිසිවක් සිදු කිරීමේ බලවත් ඕනෑකම ය. ඕනෑකම ඇති නම්, නොකළ හැකි දෙයක් නැත කියා, ඡන්දය පෙරදැරි කරගත් තැනැත්තා හට ඕනෑ කරන දෙය සිදු කිරීම් වශයෙන් ඔහුගේ අදහස අනුව ඡන්දය සහිත වූ කුසල් වූ හෝ අකුසල් වූ හෝ බොහෝ සිත් ඇති වන්නේ ය. එසේ ඇතිවන සිත් හා ඒවායේ යෙදෙන චෛතසික ද ඡන්දය අධිපති කොට ඇතිවන ධර්මයෝ ය. චිත්තාදිය අධිපති වන සැටි ද මේ නයින් සලකා ගත යුතු ය.