ඉන්ද්‍රිය

star_outline

4 වන පාඩම

චක්ඛුන්ද්‍රිය සෝතින්ද්‍රිය ඝානින්ද්‍රිය ජිව්හින්ද්‍රිය කායින්ද්‍රිය ඉත්ථින්ද්‍රිය පුරිසින්ද්‍රිය ජීවිතින්ද්‍රිය මනින්ද්‍රිය සුඛින්ද්‍රිය දුක්ඛින්ද්‍රිය සෝමනස්සින්ද්‍රිය දෝමනස්සින්ද්‍රිය උපෙක්ඛින්ද්‍රිය සද්ධින්ද්‍රිය විරියින්ද්‍රිය සතින්ද්‍රිය සමාධින්ද්‍රිය පඤ්ඤින්ද්‍රිය අනඤ්ඤාතඤ්ඤස්සාමිතින්ද්‍රිය අඤ්ඤින්ද්‍රිය අඤ්ඤාතාවින්ද්‍රිය කියා ඉන්ද්‍රිය දෙවිස්සෙකි.

තමා හා සම්බන්ධ ධර්මයන් කෙරෙහි අධිපතිකම පවත්වන ධර්මයෝ ඉන්ද්‍රිය නම් වෙති. අධිපතිකම පැවැත්වීමය යනු තමාට අනුකූල කරවා ගැනීම ය. කියන ලද චක්ෂුරාදි ධර්මයෝ තමා හා සම්බන්ධ ධර්මයන් කෙරෙහි අධිපති කම් කරන බැවින් “ඉන්ද්‍රිය” නම් වෙති.

චක්ඛුන්ද්‍රිය යනු චක්ෂුඃ ප්‍ර‍සාද රූප ය. එය චක්ෂුර් විඥානයට අධිපති ය. චක්ෂුර් විඥානයට ඇතිවිය හැක්කේ චක්ෂුඃ ප්‍ර‍සාදය අනුවය. චක්ෂුඃ ප්‍ර‍සාදය බොහෝ දීප්තිමත් වන කල්හි එයට අනුව රූපය හොඳින් දක්නා චක්ෂුර් විඥානයක් ඇති වේ. චක්ෂුඃ ප්‍ර‍සාදයේ දීප්තිය අඩු වත හොත් එයට අනුව අරමුණ හොඳින් නො දක්නා චක්ෂුර් විඥානයක් ඇති වේ. ඇසේ දෝෂ ඇති කල්හි ඇති සැටියට නො පෙනී වස්තූන් කුඩා වී හෝ මහත් වී හෝ පැහැය වෙනස් වී හෝ පෙනෙන්නේ චක්ෂුර්විඥානය චක්ෂුඃ ප්‍ර‍සාදයට අනුකූලව ඇති වන නිසා ය. චක්ෂුර් විඥානයට චක්ෂුඃ ප්‍ර‍සාදයේ ස්වභාවය ඉක්මවා එයට අනුකූල නො වී ඇති විය නො හැකි ය. චක්ෂුර් විඥානය තමාට අනුකූල කරවන නිසා චක්ෂුඃ ප්‍ර‍සාදය එක් ඉන්ද්‍රියයකි.

සෝතින්ද්‍රිය යනු ශ්‍රෝත්‍ර‍ ප්‍ර‍සාදය ය.

ඝානින්ද්‍රිය යනු ඝ්‍රාණ ප්‍ර‍සාදය ය.

ජිව්හින්ද්‍රිය යනු ජිහ්වා ප්‍ර‍සාදය ය.

කායින්ද්‍රිය යනු කාය ප්‍ර‍සාදය ය.

මේ ඉන්ද්‍රියයෝ සතර දෙන ද පිළිවෙළින් සෝත - ඝාන - ජිව්හා - කාය විඤ්ඤාණයන් කෙරෙහි අධිපති කම් කෙරෙති.

ඉත්ථින්ද්‍රිය යනු ස්ත්‍රීභාව රූපය ය.

පුරිසින්ද්‍රිය යනු පුරුෂ භාව රූපය ය.

භාව රූප ස්ත්‍රී ආකාරය හා පුරුෂාකාරය ගැන්වීම් වශයෙන් සම්පූර්ණ රූපයට අධිපතිකම කෙරේ. ස්ත්‍රී පුරුෂය්නගේ අදහස්වල ද සිතිවිලිවල ද වෙනස් කමක් තිබේ. එයට හේතුවත් ස්ත්‍රී පුරුෂ ස්වභාව දෙක ම ය. එබැවින් සාමාන්‍යයෙන් පඤ්චස්කන්ධය කෙරෙහි ම භාව රූපයන්ගේ අධිපතිකම ඇති බව කිය යුතු ය.

ජීවිතින්ද්‍රිය, රූප - අරූප වශයෙන් දෙවැදෑරුම් වේ. ජීවිතින්ද්‍රිය රූපය, රූප ජීවිතින්ද්‍රිය ය. ජීවිතින්ද්‍රිය චෛතසික ය, අරූප ජීවිතින්ද්‍රිය ය. ජීවිතින්ද්‍රිය රූපය කර්මජ රූපයන්ට ද, ජීවිතින්ද්‍රිය චෛතසිකය චිත්ත චෛතසිකයන්ට ද අධිපති බව කෙරේ. ඒ අධිපති බව කිරීම පරම්පරාව චිර කාලයක් පැවැත්වීම සම්බන්ධයෙනි.

මනින්ද්‍රිය යනු සිත ය. ආරම්මණ විජානන ය සම්බන්ධයෙන් තමා හා එක් ව උපදනා ධර්මයන් කෙරෙහි සිත අධිපති කම් කරනු ලැබේ.

සුඛින්ද්‍රිය - දුක්ඛින්ද්‍රිය - සෝමනස්සින්ද්‍රිය - දෝමනස්සින්ද්‍රිය - උපෙක්ඛින්ද්‍රිය යන මේ පස ධර්‍ම වශයෙන් එක ම වේදනා චෛතසිකය ය. එක ම වේදනා චෛතසිකය සුඛින්ද්‍රියාදි වශයෙන් ප්‍රභේදයට පැමිණෙන්නේ ආරම්මණ රසය විඳීමේ ආකාරයෙනි. සුඛ - සෝමනස්ස වේදනා දෙක ඉෂ්ටාකාරයෙන් ආරම්මණ රසය විඳී. දුක්ඛ - දෝමනස්ස වේදනා දෙක අනිෂ්ටාකාරයෙන් ආරම්මණ රසය විඳී. උපේක්ෂා වේදනා මධයස්ථාකාරයෙන් ආරම්මණ රසය විඳී. සුඛ වේදනාදීහු ඒ ඒ ආකාරයෙන් ආරම්මණ රසය විඳීමෙහි සම්ප්‍ර‍යුක්ත ධර්මයන්ට අධිපති කම පවත්වති. ‘සම්ප්‍ර‍යුක්ත ධර්මයෝය’ යි කීයේ ඒ ඒ වේදනා හා බැඳී උපදනා චිත්ත චෛතසිකයන්ට ය.

සද්ධින්ද්‍රිය යනු ශ්‍ර‍ද්ධා චෛතසිකය ය.

විරියින්ද්‍රිය යනු වීර්‍ය්‍ය චෛතසිකය ය.

සතින්ද්‍රිය යනු ස්මෘති චෛතසිකය ය.

සමාධින්ද්‍රිය යනු ඒකග්ගතා චෛතසිකය ය.

(විචිකිච්ඡා සහගත සිතේ ඒකාග්ග්‍ර‍තාව හැර ය.)

පඤ්ඤින්ද්‍රිය යනු ලෞකික සිත්වල ප්‍ර‍ඥාව ය.

මේ ධර්ම පසෙන් ‘ශ්‍ර‍ද්ධාව’ බුද්ධාදි වස්තූන්හි විශ්වාසය තැබීම සම්බන්ධයෙන් සම්ප්‍ර‍යුක්ත ධර්‍මයන්ට අධිපති වේ. ‘වීර්‍ය්‍යය’ ක්‍රියාවෙහි නො පසු බැසීම සම්බන්ධයෙන් ද, ‘ස්මෘතිය’ කළ යුක්ත ඉක්ම යා නො දීම සම්බන්ධයෙන් ද, ‘සමාධිය’ අරමුණෙහි මනාකොට පිහිටීම සම්බන්ධයෙන් ද, ‘ප්‍ර‍ඥාව’ අරමුණේ සැටි දැන ගැනීම සම්බන්ධයෙන් ද සම්ප්‍ර‍යුක්ත ධර්‍මයන්ට අධිපති කම් කරන්නේ ය.

‘අනඤ්ඤාතඤ්ඤාස්සාමිතින්ද්‍රිය’ යනු සෝවාන් මාර්ග චිත්තයේ ප්‍ර‍ඥාව ය. ‘අනඤ්ඤාතඤ්ඤස්සාමිතින්ද්‍රිය’ යන ව-චනයේ තේරුම, ‘නොදන්නා ලද්ද දැනගන්නට ඕනෑය කියා උත්සාහ කරන්නහුගේ ඉන්ද්‍රිය’ ය යනුයි. පෙර කිසි කලෙක නො දත් චතුස්සත්‍ය ධර්මය හෝ නිවන දැන ගනිමිය යන උත්සාහයෙන් විදර්ශනා වඩන්නහුට ඒ උත්සාහය නිසා ඇති වන ඥානය වන බැවින් ප්‍ර‍ථම මාර්ග ඥානය අනඤ්ඤාතඤ්ඤස්සාමිතින්ද්‍රිය නම් වේ.

‘අඤ්ඤින්ද්‍රිය’ යනු සෝවාන් ඵල චිත්තයේ පටන් අර්හත් මාර්ග චිත්තය දක්වා ඇති ලෝකෝත්තර සිත් සයෙහි ප්‍ර‍ඥාව ය. අඤ්ඤින්ද්‍රිය යන වචනයේ තේරුම ‘දැන ගන්නා ඉන්ද්‍රිය’ යනු යි. සෝවාන් මාර්ගඥානයෙන් පෙර නො දන්නා ලද්ද දැන ගත්තේ වී නමුත් ක්ලේශ ප්‍ර‍හාණ කෘත්‍යය නො නිමි බැවින් මේ ඥාන සයෙන් වරක් දැන ගන්නා ලද්ද ම නැවත නැවත බලනු ලැබේ.

‘අඤ්ඤාතාවින්ද්‍රිය’ යනු අර්හත්ඵල චිත්තයේ ප්‍ර‍ඥාව ය. අඤ්ඤාතාවින්ද්‍රිය යන්නෙහි තේරුම ‘දත යුත්ත දැන අවසන් කළ තැනැත්තාගේ ඉන්ද්‍රිය’ යන්න යි.

මෙසේ ඉන්ද්‍රිය දෙවිස්සක් වතුදු ධර්ම වශයෙන් ගන්නා කල්හි වේදනා ඉන්ද්‍රිය පස එක ම වේදනා චෛතසිකය වන බැවින්ද, පඤ්ඤින්ද්‍රියාදි අවසාන ඉන්ද්‍රිය සතර එක ම ප්‍ර‍ඥා චෛතසිකය වන බැවින් ද, එකක් වූ ජීවිතින්ද්‍රිය රූපාරූප වශයෙන් ධර්ම දෙකක් වන බැවින් ද ධර්ම වශයෙන් ඉන්ද්‍රිය ඇත්තේ සොළොසෙකි.

ප්‍ර‍සාද රූප පස ය, භාව රූප දෙක ය, ජීවිත රූපය ය, ජීවිතින්ද්‍රිය චෛතසිකය ය, චිත්තය ය, වේදනාව ය, සද්ධා - විරිය - සති - ඒකග්ගතා - පඤ්ඤා යන චෛතසික පස ය යන මේ ධර්මයෝ සොළොස් දෙන ඉන්ද්‍රිය ධර්මයෝ ය.

ඉන්ද්‍රිය දැන ගැනීමේ ප්‍රයෝජනය

පරමාර්ථ ධර්මයන් නො හඳුනන, ඒවායේ බලය ගැන දැනීම නැති අය ඉන්ද්‍රියයන්ගෙන් කෙරෙන වැඩ “අභ්‍යන්තරයෙහි පවත්නා ආත්මයකින් කෙරෙන වැඩය” යි වරදවා තේරුම් ගනිති. “ඉන්ද්‍රියයන් ම හෝ ආත්මය” යි වරදවා සිතා ගනිති. ඉන්ද්‍රිය ධර්ම තේරුම් ගැනීම, ලෝකයා විසින් ඇති සැටියට සලකන ආත්මය නැති බව තේරුම් ගැනීමට උපකාර වේ. ආත්මයක් ඇතය යි මුළා වී සිටින ජනකාය ඉන් මිදවීම පිණිස තථාගතයන් වහන්සේ විසින් මේ ඉන්ද්‍රිය දෙවිස්ස වදාරා තිබේ.