ලෝභය - ද්වේෂය - මෝහය - මානය - දෘෂ්ටිය - විචිකිත්සාව - ථීනය - උද්ධච්චය - අහිරිකය - අනොත්තප්පය කියා ක්ලේශ දශයෙකි.
සත්ත්ව සන්තානය දවන තවන ධර්මයෝ ය යන අර්ථයෙන් ද, කිලිටි කරන පහත් බවට පමුණුවන ධර්මයෝය යන අර්ථයෙන් ද ලෝභාදි දශය ක්ලේශ නම් වේ. මේ ධර්මයන්ගේ සැටි චෛතසික පරිච්ඡේදයෙහි දැක්වූ පරිද්දෙන් දත යුතුය. මේ ධර්මයන් ගෙන් ද දවන තවන ස්වභාවය අධික ව ඇත්තේ ලෝභ - ද්වේෂ දෙක්හි ය. කිලිටි කරන ස්වභාවය සිය්ලලෙහි ම වෙනසක් නැති ව ඇති බව කිය යුතු ය.
කෙලෙස් එක් දහස් පන්සියය
කෙලෙස් එක් දහස් පන්සියය ගණන් ගන්නා ක්‍රමය මෙසේ ය. සිත් සියල්ල ආරම්මණ විජානන ලක්ෂණයෙන් සමාන බැවින් එක් ධර්මයක් වශයෙන් ගණන් ගනු ලැබේ. සිතය - චෛතසික දෙපනසය යන මේ ධර්ම රාශියට නාම ධර්ම තෙපනසය යි කියනු ලැබේ. නාම ධර්ම තෙපනසය, නිෂ්පන්නරූප අටළොසය, ලක්ෂණ රූප සතරය යන මේ ධර්ම පන් සැත්තෑව ආධ්‍යාත්මික බාහ්‍ය වශයෙන් ද්විගුණ කළ කල්හි එකසිය පනසක් වේ. කෙලෙස් ඇති වන්නේ ඒ ධර්ම එකසිය පනස අරමුණු කොට ය. එබැවින් ඒ ධර්ම එකසිය පනස කෙලෙස් දශයෙන් වැඩි කරනු ලැබේ. එසේ කළ කල්හි එක් දහස් පන් සියයක් වේ. එයට කෙලෙස් එක් දහස් පන්සියය යි කියනු ලැබේ.