අනුශය

2 වන පාඩම

කාමරාගානුසය - භවරාගානුසය - පටිඝානුසය - මානානුසය - දිට්ඨානුසය - විචිකිච්ඡානුසය - අවිජ්ජානුසය කියා අනුශයධර්ම සතෙකි.

කාරණයක් පැමිණි කල්හි නැඟී ආ හැකි පරිදි සත්ත්ව සන්තානයෙහි යටපත් වී පවත්නා කාමරාගාදීහු අනුශය නම් වෙති. වෙන් වෙන් වූ පරමාර්ථ ධර්ම වශයෙන් ඉපද නැති බැවින් ඒවා ඇති බව අප්‍ර‍කට ය. ඇති බව ප්‍ර‍කට වන්නේ කරුණක් ඇති වූ කල්හි ය.

අනුශය අවස්ථාවය - පරිව්‍යුස්ථාන අවස්ථාවය - ව්‍යතික්‍ර‍මණ අවස්ථාවය” යි කාමාරාගාදීන්ගේ අවස්ථා තුනක් ඇත්තේ ය.

ලෝකෝත්තර මාර්ග ඥානය උපදවා එහි බලයෙන් මතු නූපදනා පරිදි කාමරාගාදිය ප්‍ර‍හාණය නො කළ පුද්ගලයන්ගේ සන්තානයෙහි කාමරාගාදිය ප්‍ර‍කට ව නැත ද, ශෝභන ස්ත්‍රී පුරුෂයන් මුණ ගැසීම් ආදියෙන් මතු වී ආ හැකි සැටියට ඒවා යටපත් වී නිදා ඉන්නාක් මෙන් පවත්නේ ය. කාමයන් ගෙන් සම්පූර්ණයෙන් ඈත් ව, වන ගත වී ධ්‍යාන උපදවා ගෙන සිටින මහ තවුසන්ට ද, සමහර අරමුණු මුණ ගැසීමෙන් කාම රාගය නැඟී ඒමෙන් ධ්‍යානයෙන් පිරිහෙන්නේ, ඒවා ඇති බව නො දැනෙන සැටියට සන්තානයෙහි යටපත් වී ඇති බැවිනි. කරුණක් ඇති වූ කල්හි නැඟ ආ හැකි සැටියට කාමරාගාදීන්ගේ යටපත් වී පවත්නා අවස්ථාව ‘අනුශය’ අවස්ථාව ය.

අනුශය අවස්ථාවෙහි පවත්නා කාමරාගාදිය ශෝභන ස්ත්‍රී - පුරුෂ රූප දර්ශනාදි කරුණක් ඇති වූ කල්හි මතු වන්නේ ය. නැඟී එන්නේ ය. නැඟී ඒම ය යි කියනුයේ ජවන චිත්තය හා එක් ව උත්පාදාදි ක්ෂණත්‍ර‍යට පැමිණීම ය. එසේ ජවන චිත්තය හා එක් ව උත්පාදාදි ක්ෂණත්‍ර‍යට පැමිණ සිටීම කාමරාගාදීන්ගේ ‘පරිව්‍යුස්ථාන’ අවස්ථාව ය.

සමහර විට නැඟ ආවා වූ කාමරාගාදිය එපමණින් ම සන්සිඳී යන්නේය. සමහර විටක ඒවා එපමණින් සන්සිඳී නො ගොස් කාය වාග් ද්වාරයන්ට පැමිණ ක්‍රියාවෙහි යෙදෙන්නට වන්නේ ය. නැඟී සිටියා වූ කාමරාගාදිය අනුව වරද කිරීම, කාමරාගාදියේ ක්‍රියාකාරීභාවයට පැමිණීම ය. කාමරාගාදීන් ගේ ක්‍රියා කරන අවස්ථාව ‘ව්‍යතික්‍ර‍මණ’ අවස්ථාව ය. ලෝභාදීන්ගේ මේ අවස්ථා තුනෙන් පළමු වන අනුශය අවස්ථාවේ සිටිනා ලෝභාදීහු අනුශය නම් වෙති. ඔවුහු ඒකාන්ත පරමාර්ථ ධර්මයෝ නො වෙති. පරමාර්ථ ධර්මයන් ගේ එක්තරා අවස්ථාවක් වන බැවින් පරමාර්ථ නො වන්නා හු ද නො වෙති.

කරුණක් ඇති වන විටෙක ඉපදිය හැකි පරිදි යටපත් වී පවත්නා කාම තණ්හාව කාම රාගානුසය නමි. එබඳු වූ රූපාරූප තණ්හාව භවරාානුසය නමි. ද්වේෂය පටිඝානුසය නමි. මාන-දිට්ඨි-විචිකිච්ඡා චෛතසික මානානුසය දිට්ඨානුසය විචිකිච්ඡානුසය නම් වේ. මෝහය අවිජ්ජානුසය නම් වේ. මෙසේ අනුශය සතක් වුව ද කාමරාගානුසය භවරාගානුසය යන දෙක එක ම ලෝභ චෛතසිකය වන බැවින් චෛතසික ධර්ම වශයෙන් ඇත්තේ අනුශය සයෙකි.