කාමච්ඡන්ද නීවරණය, ව්‍යාපාද නීවරණය, ථීනමිද්ධ නීවරණය, උද්ධච්ච කුක්කුච්ච නීවරණය, විචිකිච්ඡා නීවරණය, අවිජ්ජා නීවරණය කියා නීවරණ සයෙකි.
සත්ත්ව සන්තානයෙහි ඇති නොවූ කුශලයන් ඇති නොවන ලෙසත්, ඇති වූ කුශලය නො පවත්නා ලෙසත් ආවරණය කරන, කුශලයට බාධා කරන ධර්මයෝ නීවරණ නම් වෙති.
බලවත් ලෝභය කාමච්ඡන්ද නීවරණය ය. ද්වේෂය ව්‍යාපාද නීවරණය ය. ථීනමිද්ධ නීවරණාදිය ඒ නම් වලින් දැක්වෙන චෛතසිකයෝ ය. අවිජ්ජා නීවරණය මෝහ චෛතසිකය ය.
ලෝභය - ද්වේෂය - ථීනය - මිද්ධය - උද්ධච්චය - කුක්කුච්චය - විචිකිච්ඡාවය - මෝහය කියා චෛතසික ධර්ම වශයෙන් නීවරණ අටක් වේ.
ථීන - මිද්ධ චෛතසික දෙක හා උද්ධච්ච - කුක්කුච්ච චෛතසික දෙකත් එක් එක් නීවරණය වශයෙන් දේශනය කර තිබෙන්නේ, කෘත්‍ය වශයෙන් හා උත්පත්ති හේතු වශයෙන් ද, විරුද්ධ ධර්මයන්ගේ වශයෙන් ද ඇති සමාන කම් නිසා ය. ථීන - මිද්ධ චෛතසික දෙකින් ම සිදු කරන්නේ සිත හැකිළවීම වූ එක ම කෘත්‍යය ය. උද්ධච්ච - කුක්කුච්ච චෛතසික දෙකින් ම සිදු කරන්නේ සිත චඤ්චල කිරීම ය. ථීන - මිද්ධ දෙකට ම හේතු වන්නේ අලස බව හා කය නො සොල්වන බව ය. උද්ධච්ච - කුක්කුච්ච දෙකට හේතු වන්නේ ඥාති ව්‍යසනාදිය ගැන කල්පනා කිරීම ය. ථීන - මිද්ධ දෙක වීර්‍ය්‍යයට විරුද්ධ ය. උද්ධච්ච - කුක්කුච්ච දෙක ශමථයට විරුද්ධය. මෙසේ ඇති සමානකම් නිසා ථීන - මිද්ධ දෙක එක් නීවරණයක් වශයෙන් ද, උද්ධච්ච - කුක්කුච්ච දෙක එක් නීවරණයක් වශයෙන් ද දේශනය කර ඇත්තේ ය.