4. රූපාවචර - අරූපාවචර ප්‍ර‍තිසන්ධි

රූපාවචර ධ්‍යානවල චතුෂ්ක ක්‍ර‍මය, පඤ්චක ක්‍ර‍මය නිසා ක්‍ර‍ම දෙකක් ඇත්තේ ය. චිත්ත පරිච්ඡේදයේ ධ්‍යාන සිත් දැක්වෙන්නේ පඤ්චක ක්‍ර‍මයෙනි. පඤ්චක ක්‍ර‍මය යනු ධ්‍යාන පසක් වන ක්‍ර‍මය ය. චතුෂ්ක ක්‍ර‍මය යනු ධ්‍යාන සතරක් වන ක්‍ර‍මය ය. සූත්‍ර‍‍ පිටකයේ දක්නා ලැබෙන්නේ ධ්‍යානවල චතුෂ්ක ක්‍ර‍මය ය. අභිධර්ම පිටකයේ ක්‍ර‍ම දෙකක් ම දක්වා තිබේ. චතුෂ්ක ක්‍ර‍මය පඤ්චක ක්‍ර‍මයට ඇතුළත් වන බැවින් චිත්තවිභාගය පඤ්චක ක්‍ර‍මය අනුව කර තිබේ. රූපාවචර භූමි ඇත්තේ චතුෂ්ක ක්‍ර‍මය අනුව ය. පඤ්චක ක්‍ර‍මයේ ද්විතීය තෘතීය ධ්‍යාන දෙක චතුෂ්ක ක්‍ර‍මයේ ද්විතීය ධ්‍යානය වේ.

රූපාවචර විපාක සිත්වලින් ප්‍ර‍ථම ධ්‍යාන විපාකය ප්‍ර‍ථම ධ්‍යාන භූමියෙහි ප්‍ර‍තිසන්ධි - භවාඞ්ග - ච්‍යුති වශයෙන් පවතී.

ද්විතීය ධ්‍යාන විපාක සිත හා තෘතීය ධ්‍යාන විපාක සිත ද්විතීය ධ්‍යාන භූමියෙහි ප්‍ර‍තිසන්ධි - භවාඞ්ග - ච්‍යුති වශයෙන් පවතී.

චතුර්ථ ධ්‍යාන විපාකය තෘතීය ධ්‍යාන භූමියෙහි ප්‍ර‍තිසන්ධි - භවාඞ්ග - ච්‍යුති වශයෙන් පවතී.

අසංඥ භූමියෙහි ප්‍ර‍තිසන්ධිය වශයෙන් ඇති වන්නේ ද රූපම ය. ප්‍ර‍වෘත්ති කාලයේ දී ද එහි ඇත්තේ රූපම ය. ඒ භවයෙන් ච්‍යුත වන කාලයේදී ද ඒ රූප පරම්පරාව නිරුද්ධ වේ.

මේ සය රූපාවචර ප්‍ර‍තිසන්ධීහු ය.

රූපාවචර භූමින්හි ආයුඃ ප්‍ර‍මාණය

රූපාරූප ලෝකවල ආයුෂය ඉතා දීර්ඝ බැවින් වර්ෂ ගණන්වලින් නො දැක්විය හැකි ය. ඒවායේ ආයුඃ ප්‍ර‍මාණය දක්වා තිබෙන්නේ කල්පවලිනි. කල්පය අති දීර්ඝ කාලයෙකි. රූපාරූප ලෝකවල ආයුෂය එපමණ දික්වෙන්නේ ඉතා බලවත් කුශලයකින් එහි උපදින නිසා ය.

ප්‍ර‍ථම ධ්‍යාන භූමිවලින් බ්‍ර‍හ්මපාරිෂද්‍යයේ ආයුඃ ප්‍ර‍මාණය අසඞ්ඛ්‍ය කල්පයකින් තුනෙන් පංගුවකි. බ්‍ර‍හ්මපුරෝහිතයෙහි ආයුෂය අසඞ්ඛ්‍ය කල්පයෙන් අඩකි. මහාබ්‍ර‍හ්මයෙහි ආයුෂය එක් අසඞ්ඛ්‍ය කල්පයෙකි. මේ බ්‍ර‍හ්මලෝක තුන කල්පයක් පාසා ම විනාශ වන බැවන් මහා බ්‍ර‍හ්මයෙහි සම්පූර්ණ අසඞ්ඛ්‍ය කල්පයක් ජීවත් වන්නට ලැබෙන්නේ, කල්පය පටන් ගැනීමේ දී එහි උපනුන්ට පමණෙකි. කල්ප විනාශය ළංව තිබිය දී මේ භූමිවල උපදනා අයට සම්පූර්ණ ආයුෂය වළඳන්නට නොලැබේ.

ද්විතීය ධ්‍යාන භූමිවලින් පරිත්තාභයෙහි ආයුෂය මහා කල්ප දෙකකි. අප්පමාණාභයෙහි ආයුෂය මහා කල්ප සතරෙකි. ආභස්සරයෙහි ආයුෂය මහා කල්ප අටෙකි. මතු බ්‍ර‍හ්මලෝකවල ආයුෂය ද මහා කල්ප වලින් ම දත යුතු ය.

තෘතීය ධ්‍යාන භූමිවලින් පරිත්තසුභයෙහි ආයුෂය කල්ප සොළොසකි. අප්පමාණසුභයෙහි කල්ප දෙතිසකි. සුභකිණ්හයෙහි කල්ප සැට සතරෙකි.

චතුර්ථ ධ්‍යාන භූමිවලින් වේහප්ඵල අසංඥ සත්ත්ව භූමි දෙක්හි ආයුෂය කල්ප පන්සියය බැගිනි. අවිහයේ කල්ප දහසෙකි. අතප්පයෙහි කල්ප දෙදහසකි. සුදස්සයෙහි කල්ප සාරදහසෙකි. සුදස්සියෙහි කල්ප අටදහසෙකි. අකනිට්ඨයෙහි කල්ප සොළොස් දහසෙකි.

ආකාසානඤ්චායතනාදි අරූප විපාක සිත් සතර පිළිවෙළින් ආකාසානඤ්චායතනාදි භූමි සතරෙහි ප්‍ර‍තිසන්ධි - භවාඞ්ග - චුති වශයෙන් පවතී. අරූප ප්‍ර‍තිසන්ධි සතරෙකි.

අරූප භූමීන්හි ආයුඃ ප්‍ර‍මාණය

ආකාසානඤ්චායතනයෙහි කල්ප විසි දහසෙකි. විඤ්ඤාණඤ්චා-යතනයෙහි කල්ප සතළිස් දහසෙකි. ආකිඤ්චඤ්ඤායතනයෙහි කල්ප සැට දහසෙකි. නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි කල්ප අසූසාර දහසෙකි.

“අන්තඃ කල්පය, අසඞ්ඛ්‍ය කල්පය, මහා කල්ප ය” යි කල්ප තුනෙකි. මිනිසුන් ගේ ආයුෂය ක්‍ර‍මයෙන් පිරිහී ගොස් දස අවුරුද්ද පරමායුෂය වන කාලයක් පැමිණේ. ඒ කාලයේදී රෝගවලින් හෝ යුද්ධයෙන් හෝ ආහාර නැති වීමෙන් හෝ මහා මිනිස් විනාශයක් වේ. ඉතා ටික දෙනකු පමණක් ඉතිරි වේ. ඉන් පසු මිනිසුන් සුචරිතයෙහි හැසිරෙන්නට පටන් ගැනීමෙන් පරම්පරාවෙන් පරම්පරාව මඳින් මඳ ඔවුන් ගේ ආයුෂය වැඩෙන්නට පටන් ගනී. ඒ වැඩීම වර්ෂ අසඞ්ඛ්‍යය දක්වා වැඩේ. ඉන් පසු දුසිරිතට හැරීමෙන් නැවතත් මිනිස්සු පිරිහෙන්නට පටන් ගනිති. ක්‍ර‍මයෙන් පිරිහී දශ වර්ෂය පරමායුෂය වන කාලයට එළඹේ. ඒ කාලයේ දී නැවතත් මිනිස් විනාශයක් වේ.

මිනිස් ආයුෂය දශ වර්ෂයෙන් පටන් ගෙන අසඞ්ඛ්‍යය දක්වා වැඩී, නැවත දශ වර්ෂය පරමායුෂය වන තෙක් පිරිහීමට ගතවන කාලයට අන්තඃකල්පය යි කියනු ලැබේ.

“සංවර්තය-සංවර්තස්ථායි-විවර්තය-විවර්තස්ථායි” යයි අසඞ්ඛ්‍ය කල්ප සතරෙකි.

ගින්නෙන් හෝ දියෙන් හෝ සුළඟින් හෝ දීර්ඝ කාලයකට වරක් මේ මහ පොළොව දිව්‍ය ලෝක හා ඇතැම් බ්‍ර‍හ්ම ලෝකත් සමග විනාශ වෙයි. ලෝකය වරක් විනාශ වී යෑමටත් ඉතා දීර්ඝ කාලයක් ගත වේ. ලෝකය නැසෙමින් පවත්නා කාලය සංවර්ත කල්ප නම් වේ. ලෝකය විනාශ වීමෙන් පසු විනාශ වන්නට ගත වූ කාලය තරම් කාලයක් සිස් ව පවතී. ඒ කාලය සංවර්තස්ථායී කල්ප නම් වේ. නැවත ලෝකය මඳින් මඳ හැදෙන්නට පටන් ගනී. ලෝකය හැදී සම්පූර්ණ වීමට ගත වන කාලය විවර්ත කල්ප නම් වේ. ලෝකය සම්පූර්ණ වී නැවත විනාශ වන්නට පටන් ගැනීම දක්වා පවත්නා කාලය විවර්තස්තායි නම් වේ. මේ අසඞ්ඛ්‍ය කල්ප සතර එක් මහා කල්පයෙකි. අසඞ්ඛ්‍ය කල්පයක ප්‍ර‍මාණය, අන්තඃ කල්ප විස්සකි. මහා කල්පයේ ප්‍ර‍මාණය අන්තඃ කල්ප අසූවකි.

පිළිවෙළින් සත් වරක් ගින්නෙන් ලෝකය නැසේ. අටවන වාරයේ ජලයෙන් නැසේ. මෙසේ නැසෙන ලෝකය සූ සැට වන වාරයේ දී වායුවෙන් නැසේ. ගින්නෙන් ලෝකය විනාශ වන කල්හි ආභස්සරයෙන් යට සියල්ල නැසේ. ජලයෙන් විනාශ වන කල්හි සුභකිණ්හයෙන් යට ද, වාතයෙන් විනාශ වන කල්හි වේහප්ඵලයෙන් යට ද සියල්ල විනාශ වේ.