5. කර්ම චතුෂ්කය

කර්මය යනු කුශලාකුශල දෙකට ම සාධාරණ නමෙකි. කුශලයට කුශල කර්ම යි ද, අකුශලයට අකුශල කර්මය යි ද කියනු ලැබේ.

සාමාන්‍යයෙන් එකක් වන කර්මය එයින් සිදු කරන කෘත්‍යයන් ගේ වශයෙන් සතරකට ද විපාක දීමේ පිළිවෙළ අනුව සතරකට ද, විපාක දීමේ කාලය අනුව සතරකට ද, විපාක දෙන ස්ථානයන් ගේ වශයෙන් සතරකට ද බෙදා තිබේ.

කෘත්‍ය කර්ම චතුෂ්කය

කුශලාකුශල කර්මවලින් සිදු කරන වැඩ සතරක් ඇත්තේ ය. (1) විපාක සිත් හා රූප ඉපදවීම, (2) යම් කිසි කර්මයකින් උපන් සත්ත්වයාට කලක් ජීවත් වීමට උපකාර කිරීම, (3) සත්ත්වයාහට සැපසේ ජීවත් වන්නට නො දී වරින් වර පීඩා කිරීම, (4) යම් කිසි කර්මයකින් උපන් සත්ත්වයා මරා දැමීම යන මේ සතර කුශලාකුශල කර්මයන් විසින් කරනු ලබන කෘත්‍යයෝ ය.

  1. ජනක කර්මය
  2. උපස්තම්භක කර්මය
  3. උපපීඩක කර්මය
  4. උපඝාතක කර්මය

කියා සිදු කරන කෘත්‍යයන් ගේ වශයෙන් කර්ම සතරක් ඇත්තේ ය. ඒ සතරට කෘත්‍ය කර්ම චතුෂ්කය යි කියනු ලැබේ.

ප්‍ර‍තිසන්ධි ප්‍ර‍වෘත්ති කාල දෙක්හි විපාක සිත් හා රූප උපදවන කුශලාකුශලය ජනක කර්ම නම් වේ. හැම රූපයක් ම කර්මයෙන් නූපදවනු ලැබේ. කර්මයෙන් උපදවන රූප කොට්ඨාසයක් ඇත්තේ ය. ඒවා රූප කාණ්ඩයේ දී දත හැකි වනු ඇත.

සත්ත්වයකු භවයෙහි පළමුවෙන් උපදනා අවස්ථාව ප්‍ර‍තිසන්ධි කාල නම් වේ. ඉපදීමෙන් පසු ජීවත් වන කාලය ප්‍ර‍වෘත්ති කාල නම් වේ. කර්මයෙන් සිදු කරන මහත් දෙය ප්‍ර‍තිසන්ධිය ඇති කිරීම ය. සුගතියට යැවීමය කියන්නේත් අපායට යැවීමය කියන්නේත් ප්‍ර‍තිසන්ධිය ඇති කිරීමට ය. සැම කර්මයකට ම ප්‍ර‍තිසන්ධියක් දීමේ ශක්තිය නැත. ප්‍ර‍තිසන්ධි දාන ශක්තිය ඇත්තේ බලවත් කර්මයන්ට පමණෙකි. ප්‍ර‍වෘත්ති විපාක ඇති කිරීමේ ශක්තිය සියලු කර්මවලට ම ඇත්තේ ය. යම් කිසි කුශලයකින් හෝ අකුශලයකින් හෝ උපන්නා වූ සත්ත්වයා හට අන්තරාය වැළැක්වීමෙන් හා ජීවත් වීමට වුවමනා දෑ ලබා දීමෙන් ද චිර කාලයක් ජීවත් වීමට උපකාර වන කර්මය උපස්තම්භක කර්ම නම් වේ.

කුශල කර්මයෙන් උපන්නා වූ ද අකුශල කර්මයෙන් උපන්නා වූ ද සත්ත්වයනට කුශල කර්මයා ගේ උපස්තම්භනය ලැබේ. ඇතැම් විනිපාතික අසුරාදීන්ට පෙර කළ අකුශල කර්මය චිර කාලයක් ජීවත් වීමට උපස්තම්භනය කරන බව ද කියා තිබේ.

අන්‍ය කර්මයකින් උපන් සත්ත්වයාහට නොයෙක් රෝග ඇති කිරීම්-සතුරන් ඇති කිරීම් - කෙත් වතුවලට හානි පැමිණවීම් - රස්සාව නැති කිරීම් - නින්දා ලබාදීම් - චෝදනා ඇති කිරීම් ආදියෙන් වරින් වර පීඩා කරන්නා වූ කර්මය උපපීඩක කර්ම නම් වේ. කුශලාකුශල දෙකින් ම උපන් සත්ත්වයනට වරින් වර අකුශල කර්මවලින් පීඩා කරන බව කිය යුතු ය. සත්ත්වයන් කෙරෙහි බල පවත්වන කුශල උපපීඩක කර්ම අප්‍ර‍කට ය.

අන්‍ය කර්මයකින් උපන් සත්ත්වයකුට ඒ ජාතියේ සැටියට ජීවත් විය යුතු තරම් කාලයක් ජීවත් වන්නට නො දී අතරදී ජීවිතය නසන කර්මය උපඝාතක කර්ම නම් වේ. උපච්ඡේදක කර්මය යනු ද උපඝාතක කර්මයට තවත් නමෙකි. බොහෝ සෙයින් උපඝාතක වන්නේ ද අකුශල කර්ම ම ය. කුශල උපඝාතක කර්ම ද නැත්තේ නො වේ. ඒවා අප්‍ර‍කට ය.

උපස්තම්භක - උපපීඩක - උපඝාතක වශයෙන් විශේෂ කර්ම කොට්ඨාසයක් නැත්තේ ය. එතෙක් විපාකයක් ඇති කිරීමට අවකාශයක් නොලැබුවා වූ ද, තමාගේ විපාකය ඇති කොට අවසන් කළා වූ ද කුශලාකුශල ජනක කර්මයෝ ඒ ඒ අවස්ථාවලදී උපස්තම්භනාදිය සිදු කෙරෙති. උපස්තම්භනාදි ක්‍රියාවන් නිමිත්ත කොට ජනක කර්මයට ම උපස්තම්භන කර්මාදි නම් කියනු ලැබේ.

උපච්ඡේදක කර්මයන් ගෙන් ඇතැමෙක් සත්ත්වයකුගේ ජීවිතය නැති කිරීම පමණක් කරති. තමාගේ විපාකය ගෙන නො දේ. ඇතැම් උපච්ඡේදක කර්මයක් සත්ත්වයාගේ ජීවිතය නසා ඒ සත්ත්වයා දෙවන ජාතියේ අපායට පැමිණවීම් වශයෙන් තමාගේ විපාකය ද ඇති කෙරේ. බිම්බිසාර රජුට හා සාමාවතී ආදි රාජදේවීන්ට පැමිණි උපඝාතක කර්මයෙන් ඔවුන්ගේ දිවි නැසීම පමණක් කරන ලදී. දේවදත්ත - චිඤ්චමාණවිකාව හා මහාප්‍ර‍තාප රාජාදීන්ට පැමිණි උපඝාතක කර්මවලින් ඔවුන්ගේ දිවි නසා ඔවුන් අපායට පැමිණවීම ද කරන ලදී. අපායට පැමිණවීම උපච්ඡේදක කර්මය තමාගේ විපාකය ඇති කිරීම ය.

කුශලාකුශල කර්මයන්ගේ උපස්ථම්භන උපපීඩන උපඝාතනයන් සත්ත්වයන්ට පමණක් නොව කර්ම වලට ද ඇත්තේ ය. කරන්නාවූ අවස්ථාවේ දී දුබල වන කුශලාකුශල කර්මය පසු ව කරන්නා වූ කුශලාකුශල කර්මවල උපස්තම්භනයෙන් බලවත් වේ. ඒ උපස්තම්භනයෙන් දිළිඳු කුලයක උපදවන කර්මය බලවත් වී පොහොසත් කුලයක උපදවන්නක් වේ. මඳ ආයු ඇති ව උපදවන කර්මය බලවත් වී දීර්ඝායුෂ ඇති තැනක උපදවන්නක් වේ. පහළ දිව්‍ය ලෝකයක උපදවන කර්මය බලවත් වී ඉහළ දිව්‍ය ලෝකයක උපදවන්නක් වේ. අකුශලය ද එසේ ම බලවත් වීමෙන්, තිරිසන් යෝනියෙහි උපදවන අකුශලය බලවත් වී ප්‍රේත ලෝකයෙහි උපදවන්නක් ද, ප්‍රේත ලෝකයෙහි උපදවන අකුශලය නරකයෙහි උපදවන්නක්ද, මඳ දුක් ඇති නරකයක උපදවන කර්මය වඩා දුක් ඇති නරකයක උපදවන්නක් ද වේ.

කරන්නා වූ අවස්ථාවේ දී බලවත් වූ කුශලාකුශල කර්මය පසුව කරන්නා වූ ඒ ඒ කුශලාකුශලයන්ට විරුද්ධ ව කුශලාකුශල කර්මවල පීඩනයෙන් දුබල වේ. රාජකුලාදි උසස් තැනක උපදවන ශක්තිය තුබූ කුශලය, අකුශලයන්ගේ පීඩනයෙන් දුබල වී දිළිඳු කුලයක උපදවන්නක් වේ. ඉහළ දිව්‍ය ලෝකයක උපදවන කුශල කර්මය පිරිහී පහළ දිව්‍ය ලෝකයක උපදවන්නක් වේ. මහා නරකයක උපදවන්නට තරම් බලවත් වූ අකුශලය කුශල කර්මයන්ගේ පීඩනයෙන් දුබල ව කුඩා නරකයක හෝ ප්‍රේත තිරිසන් යෝනිවල හෝ උපදවන්නක් වේ. පව් කම් කළවුන් විසින් ඒවායේ විපාකදාන ශක්තිය හීන කර ගැනීම පිණිස ඒ ඒ පව්වලට විරුද්ධ කුසල් කළ යුතු ය.

ඇතැම් කුශලාකුශල කර්මයක් තවත් කර්මයක විපාකය සම්පුර්ණයෙන් ම වළක්වයි. ලෝකෝත්තර අර්හන්මාර්ග කුශලය ඇති වූ කල්හි අනාගත භවයන්හි විපාක දීමට ඇති කර්ම සියල්ල ම අවිපාක භාවයට පැමිණේ. එබැවින් අර්හන්මාර්ග කුශලය කුශලාකුශල කර්ම සියල්ල ම සිඳින උපඝාත කර්මයෙකි.