අපාය ප්‍රතිසන්ධිය, කාමසුගති ප්‍රතිසන්ධිය, රූපාවචර ප්‍රතිසන්ධිය, අරූපාවචර ප්‍රතිසන්ධිය කියා ප්‍රතිසන්ධි සතරෙකි.
අපාය ප්‍රතිසන්ධි එකකි. එනම්: අකුශල විපාක උපේක්ෂා සහගත සන්තීරණ චිත්තය ය. මරණාසන්න කාලයේ දී අකුශල කර්මයක් හෝ අකුශල කර්ම නිමිත්තක් හෝ අපාය ගති නිමිත්තක් හෝ වැටහුණා වූ සත්ත්වයාට ච්‍යුති චිත්ත නම් වූ වර්තමාන භවයේ අන්තිම සිත නිරුද්ධ වනු සමග ම මරණාසන්නයේ වැටහුණු දෙය අරමුණු කරමින් අකුශල විපාක උපේක්ෂා සහගත සන්තීරණ චිත්තය අපාය භූමියේ පහළ වේ. ඒ සිත පහළ වීම ම ඒ සත්ත්වයා අපායෙහි ඉපදීම ය. අපායට යාම ය. ච්‍යුති චිත්තයට අනතුරුව ම මැරෙන සත්ත්වයාගේ සිත් වැලටම අයත් ව උපන්නා වූ ඒ චිත්තය නිසා අතීත භවය හා වර්තමාන අපාය භවයත් සම්බන්ධ වේ. එබැවින් ඒ සිතට ප්‍රතිසන්ධි සිත යයි කියනු ලැබේ. ඒ සත්ත්වයාට ඉන් පසු ප්‍රතිසන්ධියේ දී ඇති වූ ඒ උපේක්ෂා සහගත සන්තීරණ චිත්තය ඒ අපාය භවයට අයත් සිත් පරම්පරාව නො සිඳී යන පරිදි නැවත නැවත ඇති වන්නට පටන් ගනී. එසේ ඇති වන කල්හි එයට භවාඞ්ග චිත්තය යි කියනු ලැබේ. භවයේ අන්තිම සිත වශයෙන් ඇති වන්නේ ද ඒ සිත ම ය. මෙසේ අපාය භූමියෙහි උපදනා සත්ත්වයනට අකුශල විපාකෝපේක්ෂාසහගත සන්තීරණ චිත්තය ප්‍රතිසන්ධි - භවාඞ්ග - ච්‍යුති වශයෙන් පවතී. එක් සත්ත්වයකුට එක් භවයක දී ප්‍රතිසන්ධිය වන්නේත් භවාඞ්ග චිත්තය වන්නේත් ච්‍යුති චිත්තය වන්නේත් එක ම සිතකි.
කාම සුගති ප්‍රතිසන්ධි නවයෙකි. කුශල විපාකෝපේක්ෂාසහගත සන්තීරණය ය, මහා විපාක අටය යන මේ සිත් නවය කාම සුගති ප්‍රතිසන්ධි සිත් ය.
ජාත්‍යන්ධාදි ඇතැම් හීන මනුෂ්‍යයන්ට ද, භූම්‍යස්ථ දෙවියන් ඇසුරු කරන ඇතැම් විනිපාතික අසුරයන්ට ද කුශල විපාක උපේක්ෂා සහගත සන්තීරණය ප්‍රතිසන්‍ධිය වේ. මේ කුශල විපාක උපේක්ෂා සහගත සන්තීරණය ඉතා දුබල කුශලයක ගේ විපාක වශයෙන් ඇති වන්නකි.
මිනිස් ලොව කුශල විපාක උපේක්ෂා සහගත සන්තීරණයෙන් පිළිසිඳ ගන්නා සත්ත්වයෝ නම් උත්පත්තියෙන් ම අන්ධයෝ ය. බිහිරෝ ය, ගොළුවෝ ය, අඝානකයෝ ය, කෙළතොලුවෝ ය, පිස්සෝ ය, පණ්ඩකයෝ ය, උභතෝබ්‍යඤ්ජනකයෝ ය, නපුංසකයෝ ය, මම්මයෝය යන මොවුහු ය.
අඝානකයෝ නම් ඝ්‍රාණේන්ද්‍රිය නැත්තෝ ය. කෙළතොලුවෝ නම් වම දකුණ පවා නාඳුනන මෝඩයෝ ය. කටේ කෙළ රඳවා ගැනීමට තරම් වත් දැනුමක් ඔවුනට නැති නිසා ඔවුන් ගේ මුවින් කෙළ වැගිරෙයි. එබැවින් ඔවුනට කෙළතොලුවෝ යයි කියති. ස්ත්‍රී පුරුෂ භාවයන් පිළිබඳ විපර්යාස ඇතියෝ පණ්ඩකයෝ ය. ස්ත්‍රී පුරුෂ ලිඞ්ග දෙක ම ඇත්තෝ උභතෝබ්‍යඤ්ජනකයෝ ය. ස්ත්‍රී පුරුෂ භාව නැතියෝ නපුංසකයෝ ය. මහත් උත්සාහයෙන් එක අකුර දෙතුන් වර කියමින් කථා කරන්නෝ මම්මයෝ ය.
විනිපාතික අසුරයෝ නම් තමන් ගේ පිනෙන් ලද වාසස්ථානයක් නැති ගස් ගල් ගුහා සොහොන් බිම් කැලෑ ආදි ජන-ශූන්‍ය ස්ථානවල දුකසේ ජීවත් වන භූත කොට්ඨාසයකි. ඔවුනට යක්ෂයෝය යි ද කියති. ඔවුහු නගරවලට ගම්වලට ගොස් මිනිසුන් අහක දැමූ බත් මාලු ආදිය සොයා අනුභව කෙරෙති. සමහර විට ළදරුවන්ට හා රෝගීන්ටත් තවත් දුබල අයටත් පීඩා කොට ආහාර පාන ලබා ගනිති. කට්ටඩින් දෙන දොළ පිළිගන්නෝ ඔවුහු ය. සියලු ම විනිපාතික අසුරයෝ අහේතුක ප්‍රතිසන්‍ධිකයෝ නොවෙති. ඔවුන් අතර ද්විහේතුක ත්‍රිහේතුකයෝ ද ඇත. ඔවුන් අතර ඇති ත්‍රිහේතුකයෝ සමහරවිට මාර්ගඵලවලට ද පැමිණෙති. විනිපාතික අසුරයන්ට අයත් පියංකරමාතා - පුනබ්බසුමාතා යන යකින්නන් දහම් අසා සෝවාන් ඵලයට පැමිණි බව අටුවාවල දක්වා තිබේ. පරදත්තූපජීවිකාදි ඇතැම් ප්‍රේතයන් හා යකුන් ද මේ ගණයට ඇතුළත් වන බව කියා තිබේ.
මහා විපාක සිත් අට කාමසුගති භූමි සතෙහි ම පටිසන්ධි - භවඞ්ග - ච්‍යුති වශයෙන් පවතී.
අකුශල විපාක උපේක්ෂා සහගත සන්තීරණය, කුසල විපාක උපේක්ෂා සහගත සන්තීරණය, මහා විපාක අටය යන මේ සිත් දශය කාමාවචර ප්‍රතිසන්ධි චිත්තයෝ ය.
කාම සත්ත්වයන් ගේ ආයුෂ
කාම සත්ත්වයන් අතුරෙන් සතර අපායයෙහි සත්ත්වයන්ටත් මිනිසුන්ටත් විනිපාතික අසුරයන්ටත් ආයු නියමයක් නැත්තේ ය.
චාතුර්මහාරාජිකයේ ආයුෂය දිව්‍ය ගණනින් වර්ෂ (500) පන්සියයෙකි. මනුෂ්‍යලෝකයේ අවුරුදු පනසක් චාතුර්මහාරාජිකයේ එක් දිනයෙකි. එබඳු දින තිසක් එහි මාසයකි. එබඳු මාස දොළොසක් වර්ෂයෙකි. එහි අවුරුදු පන්සියය ඒ අවුරුදුවලිනි. ඒ අවුරුදු පන්සියය මිනිස් ගණනින් අවුරුදු (90,00000) අනූ ලක්ෂයෙකි.
තාවතිංසයේ ආයුෂය චාතුර්මහාරාජිකයෙහි මෙන් සතර ගුණයෙකි. මෙසේ පරනිර්මිතවශවර්ති දිව්‍යලෝකය දක්වා දිව්‍යලෝක ආයුෂය එකිනෙක සතර ගුණය බැගින් වන්නේ ය.
තාවතිංසයේ ආයුෂය එහි වර්ෂ ප්‍රමාණයෙන් වර්ෂ (1000) දහසකි. මිනිස්ලොව වර්ෂ සියයක් එහි එක් දිනයෙකි. මිනිස් වර්ෂ ගණනින් තාවතිංසයේ ආයුෂය වර්ෂ (3,60,00000) තුන්කෝටි හැට ලක්ෂයෙකි.
යාමයේ ආයුෂය එහි ගණනින් වර්ෂ (2000) දෙදහසකි. අපේ අවුරුදු දෙසියයක් එහි එක් දිනයෙකි. අපේ ගණනින් එහි ආයුෂය වර්ෂ (14,40,00000) දාහතර කෝටි හතළිස් ලක්ෂයෙකි.
තුෂිත දෙවියන්ගේ ආයුෂය එහි ගණනින් වර්ෂ (4000) සාර දහසෙකි. අපේ වර්ෂ සාරසියයක් එහි එක් දිනයෙකි. අපේ වර්ෂ ගණනින් එහි ආයුෂය වර්ෂ (57,60,00000) සත් පනස් කෝටි සැට ලක්ෂයෙකි.
නිර්මාණරති දෙවියන්ගේ ආයුෂය එහි ගණනින් වර්ෂ (8000) අට දහසකි. අපේ වර්ෂ අට සියයක් එහි එක් දිනයෙකි. අපේ ගණනින් එහි ආයුෂය වර්ෂ (230,40,00000) දෙසිය තිස් කෝටි සතළිස් ලක්ෂයෙකි.
පරනිර්මිත වශවර්ති දෙවියන්ගේ ආයුෂය එහි ගණනින් (16000) දහසය දහසකි. අපේ වර්ෂ එක්දහස් සසියයක් එහි එක් දිනයෙකි. අපේ වර්ෂවලින් එහි ආයුෂය වර්ෂ (921,60,00000) නවසිය විසි එක් කෝටි සැට ලක්ෂයෙකි.