2. රූපාවචර - අරූපාවචර භූමි

බ්‍ර‍හ්මපාරිසජ්ජය, බ්‍ර‍හ්මපුරෝහිතය, මහාබ්‍ර‍හ්මය කියා ප්‍ර‍ථම ධ්‍යාන භූමි තුනෙකි.

පරිත්තාභය, අප්පමාණාභය, ආභස්සරය යි ද්විතීය ධ්‍යාන භූමි තුනෙකි.

පරිත්තසුභ ය, අප්පමාණසුභය, සුභකිණ්හකය යි තෘතීය ධ්‍යාන භූමි තුනෙකි.

වේහප්ඵලය, අසඤ්ඤසත්තය, සුද්ධාවාසය යන මේවා චතුර්ථධ්‍යාන භූමීහු ය.

අවිහය, අතප්පය, සුදස්සය, සුදස්සිය, අකනිට්ඨය කියා සුද්ධාවාස භූමි පසෙකි. මෙසේ රූපාවචර භූමි සොළොසෙකි.

ආකාසානඤ්චායතන භූමිය, විඤ්ඤාණඤ්චායතන භූමිය, ආකිඤ්චඤ්ඤායතන භූමිය, නේවසඤ්ඤානාසඤ්ඤායතන භූමිය කියා අරූපාවචර භූමි සතරෙකි.

කාමාවචර භූමි එකොළොසය, රූපාවචර භූමි සොළොසය, අරූපාවචර භූමි සතරය යි භූමි එක් තිසෙකි.

මිනිස් ලොව පටන් කාම සුගති භූමි එකිනෙකට උඩින් පිළිවෙළින් පිහිටා තිබේ. පරනිර්මිත වශවර්තියට උඩින් ප්‍ර‍ථම ධ්‍යාන භූමි තුන එක් තලයක පිහිටා තිබේ. ඒවාට උඩින් ද්විතීය ධ්‍යාන භූමි තුන එක් තලයක ද, ඒවාට උඩින් තෘතීය ධ්‍යාන භූමි තුන එක් තලයක ද, ඒවාට උඩින් වේහප්ඵල, අසංඥ සත්ත්ව යන චතුර්ථ ධ්‍යාන භූමි දෙක එක් තලයක ද පිහිටා ඇත්තේ ය. එවායින් මතුයෙහි ශුද්ධාවාස භූමි පස එකිනෙකට උඩින් පිහිටා තිබේ. ඒවාට උඩින් අරූප භූමි සතර පිළිවෙළින් පිහිටා තිබේ.

භූමි එක් තිසෙන් අසංඥ භූමියෙහි ඇත්තේ රූපස්කන්ධය වූ එක් ස්කන්ධයක් පමණෙකි. එබැවින් එයට ඒකවෝකාර භූමියයි කියනු ලැබේ. අරූප භූමිවල ඇත්තේ නාමස්කන්ධ සතර පමණෙකි. එබැවින් ඒවාට චතුවෝකාර භූමිය යි කියනු ලැබේ. කාමාවචර භූමි එකොළොසෙහි හා අසංඥ භූමියෙන් අන්‍ය රූපාවචර භූමි පසළොසෙහි ද පඤ්චස්කන්ධය ම ඇත්තේ ය. ඒවාට පඤ්චවෝකාර භූමිය යි කියනු ලැබේ.

පෘථග්ජන පුද්ගලයෝ ද සෝවාන් සකෘදාගාමි පුද්ගලයෝ ද ශුද්ධාවාස භූමිවල නැත්තා හ. අපාය භූමි සතරෙහි හා අසංඥ භූමියෙහි ආර්‍ය්‍යයෝ නැත්තා හ. අනික් භූමිවල ආර්‍ය්‍ය වූ ද, පෘථග්ජන වූ ද සියලු ම පුද්ගලයෝ ඇත්තා හ.

අපාය භූමි සතරෙහි ඇත්තේ දුර්ගති අහේතුකයා පමණෙකි. මනුෂ්‍ය භූමියෙහි හා චාතුර්මහාරාජිකයෙහි දුර්ගති අහේතුකයා හැර අන්‍ය පුද්ගලයන් එකොළොස් දෙනා ම ලැබෙන්නාහ. තාවතිංසයෙහි පටන් පරනිර්මිත වශවර්තිය දක්වා දිව්‍යලෝකවල අහේතුක පුද්ගලයන් හැර ඉතිරි පුද්ගලයෝ දස දෙන ලැබෙන්නාහ. බ්‍ර‍හ්ම පාරිසජ්ජයේ පටන් වේහප්ඵලය දක්වා ඇති රූපාවචර භූමිවල ත්‍රිහේතුක පෘථග්ජනයා ය, ආර්‍ය්‍ය පුද්ගලයෝ අට දෙනා ය යන නව දෙන ලැබෙත්. අසංඥ භූමියේ ලැබෙන්නේ එකම සුගති අහේතුක පුද්ගලයා ය. ශුද්ධාවාස භූමීන්හි උපරිම ආර්‍ය්‍ය පුද්ගලයෝ තිදෙනා ලැබෙත්. අරූප භූමිවල ත්‍රිහේතුක පෘථග්ජනයා ය, සෝවාන් මාර්ගස්ථයා හැර ආර්‍ය්‍ය පුද්ගලයෝ සත් දෙනාය යන අට දෙනා ලැබෙත්. ඒ ඒ භූමිවල ලැබෙන සියලු ම පුද්ගල සඞ්ඛ්‍යාව එකතු කළ හොත් දෙසිය දාහතර දෙනෙක් වෙති.

මිනිස් ලොව ගිහියෝ ද සෝවාන් - සකෘදාගාමි - අනාගාමි - අර්හත් යන මග ඵලවලට පැමිණෙති. රහත් වූ ගිහියෝ පැවිදිවීම හෝ පිරිනිවීම හෝ කෙරෙති. වැඩි කල් ගිහි ව නො වෙසෙති. බූමාටු දෙවිවරු රහත් වුව ද ආයු ඇති තෙක් එසේ ම ජීවත් වෙති. කාමාවචර දිව්‍යලෝකයන්හි අනාගාමීහු බ්‍ර‍හ්ම ලෝකයට හෝ යෙති. රහත් ව පිරිනිවීම හෝ කෙරෙති. දිව්‍ය ලෝකවල අනාගාමීන්ට හා රහතුන්ට වාසය කිරීමට සුදුසු තැන් නැත. රූපාවචර අරූපාවචර භූමිවල සියලු ම ආර්‍ය්‍යයෝ ආයු ඇති තාක් ජීවත් වෙති. රූපාවචර භූමිවලට පැමිණි සෝවාන් සකෘදාගාමි පුද්ගලයෝ ද නැවත කාම ලෝකයට නො එති. වේහප්ඵලය, අකනිට්ඨය, නේවසඤ්ඤානාසඤ්ඤායතනය යන මේ භූමි තුනට පැමිණි අනාගාමීහු නැවත අන් තැනකට නො යෙති. ඒ භූමිවලදී ම රහත් ව පිරිනිවන් පාති.