1. භූමි චතුෂ්කය

අපාය භූමිය, කාම සුගති භූමිය, රූපාවචර භූමිය, අරූපාවචර භූමිය කියා භූමි සතරෙකි. ‘භූමි’ යනු සත්ත්වයන් උපදින - ජීවත්වන ස්ථානයෝ ය.

නරක ය - තිරිසන් යෝනිය-ප්‍රේත විෂය-අසුරනිකාය ය කියා අපාය භූමි සතරෙකි.

සඤ්ජීවය - කාලසූත්‍ර‍ය - සඞ්ඝාතය - රෞරවය - මහා රෞරවය - තාපනය - මහා තාපනය - අවීචිය කියා මහා නරක අටෙකි. මේ මහා නරක, පොළොව ඇතුළෙහි එකිනෙකට යටින් පිහිටා ඇත්තේ ය. ඒවා සතරැස් ය. ඒවායේ බිමත් බිත්තිත් ලෝහයෙන් සෑදී තිබේ. උඩින් ද ලෝහ තහඩුවකින් වැසී තිබේ. ඇතුළ ගිනි දැල්වලින් පිරී ඇත්තේ ය. එක් එක් නරකයකට සතර දිශාවෙහි දොරටු සතර බැගින් ඇත්තේය. නරකයක ඇතුළ ප්‍ර‍මාණයෙන් එක් එක් දිශාවකට යොදුන් සියය බැගින් ඇත්තේ ය.

එක් එක් මහා නරකයකට පිට පැත්තේ එක් එක් දිශාවක කුඩා නරක සතර බැගින් ඇත්තේ ය. ඒවාට ‘ඔසුපත් නරකය’ යි කියනු ලැබේ. එක් මහා නරකයකට ඔසුපත් නරක දහසය බැගින් ඇත්තේ ය. මහා නරක අටෙහි ම ඔසුපත් නරක 128 ක් ඇත්තේ ය. වේතරණී නරකය, අසිපත්‍ර‍වන නරකය, කුක්කුල නරකය, ගූථ නරකය, සිම්බලීවන නරකය, ලෝහකුම්භී නරකය යනාදි නම් කියන්නේ මහා නරකයන් අවට පිහිටි ඔසුපත් නරකවලට ය.

තිරිසන් සත්ත්ව සමූහය ඉතා විචිත්‍ර‍ ය.

ඇසට නො පෙනෙන තරමේ කුඩා සත්ත්වයාගේ පටන් ඉතා මහත් සත්ත්වයා දක්වා නොයෙක් ප්‍ර‍මාණ වන්නා වූ ද, නොයෙක් සටහන් - නොයෙක් පැහැය ඇත්තා වූ ද බොහෝ සත්ත්වයන් ඇති බැවින් තිරිසන් යෝනිය ඉතා විචිත්‍ර‍ ය. ඔවුනට ම වෙන් වූ වාස භූමියක් නම් නැත. තිරිසන් ජාතිය ම තිරශ්චීන භූමිය හැටියට සලකනු ලැබේ.

“මේ ලෝකයෙන් පහව ගිය අය ය,” යන අර්‍ථයෙන් සමහර තැන්වල මළ අයට ද ප්‍රේත යන නාමය ව්‍යවහාර වේ. මේ අපාය කථාවෙහි ප්‍රේත යන නාමය ව්‍යවහාර වන්නේ සැපයෙන් පහ වූ දුඃඛිත සත්ත්ව කොට්ඨාසයකට ය.

ඕපපාතිකි වශයෙන් උපදනා වූ ඒ ප්‍රේතයෝ කර්මානුරූප ව නොයෙක් ප්‍ර‍මාණ නොයෙක් සටහන් නොයෙක් වර්ණ ඇති ව උපදිති. එබැවින් ප්‍රේත නිකාය ද ඉතා විචිත්‍ර‍ ය. ඔවුන්ට ද වෙන් වූ භූමියක් නැත. ප්‍රේත ජාතිය ම හෝ ඔවුන් වාසය කරන තැන හෝ ප්‍රේත භූමිය වශයෙන් සලකනු ලැබේ.

පරදත්තූපජීවිකය, ඛුප්පිපාසිකය, නිජ්ඣාමතණ්හිකය, කාලකඤ්ජිකය කියා ප්‍රේත ජාති සතරක් ඇති බව දක්වා තිබේ.

අනුන් දෙන දෙයින් ජීවත් වන්නෝ පරදත්තූප ජීවිකයෝ ය. ඔවුනට ආහාර පානාදිය ලැබෙන්නේ අනුන් දෙන පින් අනුමෝදන් වීමෙනි. පරදත්තූපජීවික ප්‍රේත ව උපන්නෝ ඥාතීන්ගෙන් පින් බලාපොරොත්තු වෙති.

ඛුප්පිපාසික යනු බත් පැන් නො ලැබීමෙන් නිතර ම සා ගින්නෙන් පිපාසාවෙන් පෙළෙන ප්‍රේත කොට්ඨාසයකි.

නිජ්ඣාමතණ්හික යනු ශරීරයේ ඇතුළත පිටත දෙක නිරතුරුවම දැවෙන ප්‍රේත කොට්ඨාසයකි.

කාලකඤ්ජික යනු ලේ මස් මඳ, වියළී ගිය තුන් ගවුපමණ ශරීර ඇති, කකුළුවන්ගේ මෙන් පිටතට නෙරූ ඇස් හිස් මුදුනේ පිහිටි, ඉතා කුඩා කටකුත් හිස මුදුනේ ම පිහිටා ඇති, හිස පහත් කොට ආහාර ගන්නා ප්‍රේත කොට්ඨාසය කැයි කියා තිබේ.

අසුර යන නාමය සත්ත්ව කොට්ඨාස කීපයකට ම ව්‍යවහාර වන නාමයෙකි. සතර අපායෙන් එකක් වන අසුර නිකායට අයත් සත්ත්වයෝ නම් කාලකඤ්ජික ප්‍රේතයෝ ය. ඔවුනට ද වෙන් වූ වාසස්ථානයක් නැත්තේ ය.

මහමෙර පත්ලෙහි අසුර භවනයෙහි වෙසෙන වේපචිත්ති -පහාරාද - සම්බර - බලි ආදි නම් ව්‍යවහාර කරන ආනුභාව සම්පන්න සත්ත්ව කොට්ඨාසයක් ඇත්තේ ය. දෙවියන්ට සතුරු බැවින් ඔවුන්ට ද අසුර යන නාමය කියනු ලැබේ. ඔවුහු අපායට අයත් සත්ත්වයෝ නො වෙති. ඔවුන් අයත් වන්නේ දේව කොට්ඨාසයකට ය. විනිපාතික අසුර නම් වූ තවත් සත්ත්ව කොට්ඨාසයක් ඇත්තේ ය. ඔවුහු චාතුර්මහාරාජික දේව කොට්ඨාසයට ම අයත් ආහාර පානාදිය අමාරුවෙන් ලබන සත්ත්ව කොට්ඨාසයකි. පියඞ්කරමාතා, උත්තර මාතා යනාදීහු විනිපාතික අසුර කොටසට අයත් වූවෝ ය. වේමානික ප්‍රේත අසුරයෝ ය කියා ද කොටසක් ඇත්තේ ය. ලෝකාන්තරික නරකයේ සත්ත්වයන්ට ද අසුරයෝ යි කියනු ලැබේ.

කාම සුගති භූමි

මනුෂ්‍ය භූමිය, චාතුර්මහාරාජිකය, තාවතිංසය, යාමය, තුෂිතය, නිර්මාණරතිය, පරනිර්මිතවශවර්තය කියා කාම සුගති භූමි සතෙකි. අපාය භූමි සතර ය, මිනිස් ලොව, දිව්‍යලෝක සය ය යන මේ භූමි එකොළොස කාමාවචර භූමිහූ ය.