5. ආරම්මණ සංග්‍ර‍හය

I කොටස

“සිතට දැනෙන හසුවන දේවලට - හිතින් අල්ලා ගන්නා දේවලට ආරම්මණය” යි කියනු ලැබේ.

රූපාරම්මණය, සද්දාරම්මණය, ගන්ධාරම්මණය, රසාරම්මණය, ඵොට්ඨබ්බාරම්මණය, ධම්මාරම්මණය කියා ද්වාර අනුව ආරම්මණ ද සයක් ඇත්තේ ය.

ද්‍ර‍ව්‍යයන්හි ඇත්තා වූ පැහැය රූපාරම්මණය ය. ඇසට පෙනෙන්නේ රූපාරම්මණය පමණෙකි. පැහැය මිස, වස්තූන් ඇසට පෙනෙන්නේ නො වේ. සෑම දෙයක ම පැහැයක් ඇත්තේ ය. එහෙත් ඉතා සියුම් ඒවායේ පැහැය අපේ ඇස්වලට නො පෙනේ.

සෝතින්ද්‍රියට හෙවත් කනට දැනෙන දෙය සද්දාරම්මණ නම් වේ.

නාසයට දැනෙන හොඳ නරක ගන්ධ ගන්ධාරම්මණ නම් වේ.

දිවට දැනෙන රස රසාරම්මණ නම් වේ.

කායින්ද්‍රියට දැනෙන තද බව - මොළොක් බව - සිසිල් බව - උණුසුම් බව යනාදිය ඵොට්ඨබ්බාරම්මණ නමි.

රූපාදි අරමුණු පස හැර සිතට දැනෙන - සිතට හසු වන සියල්ල ධම්මාරම්මණ නම් වේ. ප්‍ර‍සාද රූප - සූක්ෂ්ම රූප - චිත්ත - චෛතසික - නිර්වාණ - ප්‍ර‍ඥප්ති වශයෙන් ධම්මාරම්මණය සයාකාර වේ. ඒවා අනාගතයෙහි දත හැකි වනු ඇත. දැනට කොටස් සය නම් වශයෙන් පමණක් මතක තබා ගන්න.

අතීතය - අනාගතය - වර්තමානය - කාලමුක්තය කියා අරමුණු සතර කොටසකි. ඉපද අභාවප්‍රාප්ත දෙය “අතීතාරම්මණ” නම් වේ. මතු ඇති වන දේ “අනාගතාරම්මණ” නම් වේ. පවත්නා දෙය “වත්තමානාරම්මණ” නම් වේ. මේ කාල භේදය, ඇති වීම් නැති වීම් දෙක ඇත්තා වූ දේවලට ය. නිර්වාණ-ප්‍ර‍ඥප්ති දෙක්හි ඇති වීම්-නැති වීම් දෙක නැත. එබැවින් ඒවා තුන්කාලයෙන් එකකටවත් ඇතුළත් නො වේ. ඒවාට “කාල විමුක්තය” යි කියනු ලැබේ. (මෙය ගැඹුරු කරුණෙකි. වැඩි දුරටත් ගුරුන්ගෙන් අසා දැනගන්න.)

චක්ෂුර්ද්වාරික සිත් සසාළිසට අරමුණු වන්නේ වර්තමාන රූපාරම්මණය පමණකි. අතීතානාගත රූප චක්ෂුර්ද්වාරික සිත්වලට හසු නො වේ. එසේ ම සෝත-ඝාන-ජිව්හා-කාය ද්වාරවලට අයත් සිත්වලට වර්තමාන ශබ්ද - ගන්ධ - රස - ස්ප්‍ර‍ෂ්ටව්‍යයෝ අරමුණු වෙති.

මනෝද්වාරික චිත්තයන්ට වනාහි කාලත්‍ර‍යට ම අයත් වන රූප - ශබ්ද - ගන්ධ - රස - ස්ප්‍ර‍ෂ්ටව්‍ය - ධර්ම යන ෂඩාලම්බනය හා කාලවිමුක්ත වූ නිර්වාණ - ප්‍ර‍ඥප්තීහු ද අරමුණු වෙති.

ද්වාර විමුක්ත චිත්තයන්ට වනාහි අතීතානන්තරභවයෙහි මරණාසන්න ජවනයන්ට අරමුණු වූ කර්මය - කර්ම නිමිත්තය - ගති නිමිත්තය යි කියනු ලබන වර්තමාන වූ ද, අතීත වූ ද, ප්‍ර‍ඥප්ති වූ ද ෂඩාලම්බනයෝ අරමුණු වෙති.

II වන කොටස

ඉහත දක්වන ලද්දේ ද්වාරයන් ගේ වශයෙන් අනියමින් සිත්වල අරමුණුය. නියම වශයෙන් ම ඒ ඒ සිත්වලට හිමි අරමුණ මතු කියැවෙන පරිදි දත යුතු.

චක්ඛුවිඤ්ඤාණ දෙක, රූපය පමණක් අරමුණු කෙරේ. සෝත - ඝාන - ජිව්හා - කාය විඤ්ඤාණයෝ ශබ්ද - ගන්ධ - රස - ස්ප්‍ර‍ෂ්ටව්‍යයන් අරමුණු කෙරෙති.

මනෝධාතුවය යි කියනු ලබන පඤ්චද්වාරාවජ්ජන - සම්පටිච්ඡන සිත් තුන රූපාදි අරමුණු පස අරමුණු කෙරේ.

ද්විපඤ්චවිඤ්ඤාණය හා මනෝධාතුවත් හැර ඉතිරි කාමාවචර විපාක සිත් එකොළොස ය, හසිතුප්පාදය යන සිත් දොළොසින් කාමාවචර ධර්ම අරමුණු කරනු ලැබේ. “කාමාවචර ධර්මය” යි කියනුයේ කාම සිත් සිවුපනස ය, ඒවායේ යෙදෙන චෛතසිකයෝ ය, රූප විසි අටය යන මොවුන්ට ය.

අකුසල සිත් දොළොසය, ඥාන විප්‍ර‍යුක්ත කාමාවචර ජවන් සිත් අටය යන මොවුහු ලෝකෝත්තර ධර්ම නවය හැර, ඉතිරි සියල්ල ම අරමුණු කෙරෙති. “ලෝකෝත්තර ධර්ම නවය” යි කියනුයේ ලෝකෝත්තර සිත් අටට හා නිවනට ය.

ඥාන සම්ප්‍ර‍යුක්ත කාමාවචර කුසල් සිත සතර ය, අභිඥා භාවයට පැමිණි රූපාවචර පඤ්චම ධ්‍යාන කුශලය ය යන සිත් පස අර්හත්මාර්ගය හා අර්හත් ඵලය හැර ඉතිරි සියල්ල අරමුණු කෙරේ.

ඥානසම්ප්‍ර‍යුක්ත මහා ක්‍රියා සිත් සතර ය, අභිඥා භාවයට පැමිණි රූපාවචර පඤ්චම ධ්‍යාන ක්‍රියා සිත ය. මනෝද්වාරාවජ්ජනය ය යන සිත් සයෙන් සියල්ල ම අරමුණු කරනු ලැබේ.

‘සර්වඥතාඥානය’ යි කියනුයේ ලොවුතුරා බුදුවරයන්ට ඇති වන මහා ක්‍රියා ඥාන සම්ප්‍ර‍යුක්ත සිත්වල ඇති ප්‍ර‍ඥාවට ය. ධ්‍යාන ලැබූ පමණින් ම කෙනකුට සෘද්ධි ප්‍රාතිහාර්‍ය්‍ය නො කළ හැකි ය. සෘද්ධි ප්‍රාතිහාර්‍ය්‍ය බලය ඇත්තේ රූපාවචර කුශල ක්‍රියා පඤ්චම ධ්‍යාන සිත් දෙකට පමණෙකි. සාමාන්‍ය පඤ්චමධ්‍යාන සිතටත් ඒ බලය නැත. ඒ බලය ලැබෙන්නට පඤ්චමධ්‍යාන සිත තවත් දියුණු කළ යුතු ය. එසේ දියුණු කළ පඤ්චමධ්‍යාන චිත්තයට “අභිඥාචිත්තය” යි කියනු ලැබේ. සෘද්ධි ප්‍රාතිහාර්ය කවරකු කළත් සැම දෙනා ම එය කරන්නේ අභිඥා චිත්තයෙනි. ලෝකෝත්තර සිත්වලට සෘද්ධි ප්‍රාතිහාර්‍ය්‍ය කිරීමේ සමත් කමක් නැත.

අරූපාවචර සිත්වල විඤ්ඤාණඤ්චායතන සිත් තුනෙන් ආකාසානඤ්චායතන චිත්තය ද, නේවසඤ්ඤා නාසඤ්ඤායතන සිත් තුනෙන් ආකිඤ්චඤ්ඤායතන චිත්තය ද අරමුණු කරනු ලැබේ. ආකාසානඤ්චායතන විඤ්ඤාණඤ්චායතන සිත් මහග්ගත බැවින් ඒවා අරමුණු කරන විඤ්ඤාණඤ්චායතන නේවසඤ්ඤානාසඤ්ඤායතන සිත් සයට “මහග්ගතාරම්මණික සිත් ය” යි කියනු ලැබේ.

රූපාවචර සිත් පසළොස ය, ආකාසානඤ්චායතන සිත් තුනය, ආකිඤ්චඤ්ඤායතන සිත් තුන ය යන මේ සිත් විසි එකෙන් කසිණාදි ප්‍ර‍ඥප්ති අරමුණු කරනු ලැබේ.

ලෝකෝත්තර සිත්වලින් නිර්වාණය අරමුණු කරනු ලැබේ.

කාමාවචර ධර්ම අරමුණු කරන සිත් විසි පහකි. මහද්ගත ධර්ම අරමුණු කරන සිත් සයකි. ප්‍ර‍ඥප්තිය අරමුණු කරන සිත් එක් විස්සකි. නිවන අරමුණු කරන සිත් අටකි. ලෝකෝත්තර ධර්ම හැර ඉතිරි සියල්ල අරමුණු කරන සිත් විස්සකි. අර්හත් මාර්ගය හා ඵලය හැර ඉතිරි සියල්ල අරමුණු කරන සිත් පසකි. සියල්ල ම අරමුණු කරන සිත් සයකි.

ප්‍ර‍ශ්න

  1. අරමුණය යනු කුමක් ද?
  2. අරමුණු කීයක් තිබේ ද?
  3. ඇසට පෙනෙන නො පෙනෙන අරමුණු කවරහු ද?
  4. කාලත්‍ර‍යට අයත් නැති අරමුණු කවරහු ද?
  5. ධම්මාරම්මණය කී ආකාර ද?
  6. චක්ෂුර්ද්වාරික සිත්වල අරමුණ කුමක් ද?
  7. මනෝද්වාරික සිත්වල අරමුණු කවරහු ද?
  8. චක්ෂුර්ද්වාරික සිත්වලට අරමුණු වන්නේ කිනම් කාලයකට අයත් දේ ද?
  9. කාලවිමුක්ත ධර්ම අරමුණු ව්නනේ කිනම් ද්වාරයක සිත්වලට ද?
  10. කාමාවචර ධර්ම පමණක් අරමුණු කරන සිත් කවරහු ද?
  11. සියල්ල ම අරමුණු කරන සිත් කවරහු ද?