I කොටස
සත්ත්ව ශරීරවල පිහිටි සිත් උපදනා ස්ථානවලට මේ ධර්මයෙහි “වස්තු” යන නාමය ව්‍යවහාර කරනු ලැබේ.
චක්ෂු වස්තුව ය, ශ්‍රෝත්‍ර වස්තුව ය, ඝ්‍රාණ වස්තුව ය, ජිහ්වා වස්තුව ය, කාය වස්තුව ය, හෘදය වස්තුව ය කියා වස්තු හෙවත් සිත් උපදනා ස්ථාන සයෙකි.
චක්ෂු වස්තුවය යනු ද්වාර සංග්‍රහයෙහි චක්ෂුර් ද්වාර යයි කියැවුණු චක්ෂුඃ ප්‍රසාදය ය. ශ්‍රෝත්‍ර - ඝ්‍රාණ - ජිහ්වා - කාය වස්තූහු ඒ ඒ ඒ ප්‍රසාද රූපයෝ ම ය.
වස්තූන්ගෙන් විශේෂ දෙය හෘදය වස්තුව ය. එය වනාහි හෘදය කෝෂයෙහි පිහිටි අඩ පතක් පමණ ලේ ආශ්‍රය කර ගෙන පවත්නා වූ එක්තරා සූක්ෂ්ම ධාතුවකි. එය ඇසට නො පෙනෙන - අතට අසු නොවන ඉතා සියුම් දෙයකි. මළවුන් ගේ හෘදය කෝෂයෙහි එය නැත. එය වෛද්‍ය ශාස්ත්‍රයට හසුවන දෙයක් ද නොවේ. එයට වස්තු රූපය යන නාමය ද ව්‍යවහාර වේ. හෘදය කෝෂයේ ලෙස ඉන් පිටතට ගලා යන මුත් සිත් ඇති වීමට ආධාර වන ඒ වස්තු රූපය හෘදය කෝෂයෙන් පිට වී යන ලෙය හා එක් වී පිට වී නො යේ. සිත්වලින් බොහෝවක් ම උපදින්නේ හෘදය වස්තුවෙහි ය.
කාම ලෝකයේ ඉන්ද්‍රිය සම්පූර්ණ සත්ත්වයන්ට වස්තු සය ම ඇත්තේ ය. රූපලෝකයේ බ්‍රහ්මයනට ඝාන - ජිව්හා - කාය වස්තු නැත්තේ ය. අරූපී සත්ත්වයනට එක වස්තුවකුදු නැත්තේ ය.
රූප ලෝකයේ ඝ්‍රාණ - ජිහ්වා - කාය වස්තූන් නැතය යි කීමෙන් රූපාවචර බ්‍රහ්මයනට නාසය - දිව හා කය නැතය යි නො ගත යුතු යි. ඔවුනට නැත්තේ සිත්වලට නිඃශ්‍රය වන ඝ්‍රාණ - ජිහ්වා - කාය ප්‍රසාදයන් ය. බුද්ධ දර්ශන - ධර්ම ශ්‍රවණාදි විශුද්ධියට උපකාර වන කරුණුවලට චක්ෂු වස්තුව හා ශ්‍රෝත්‍ර වස්තුව ප්‍රයෝජන ය. ඝ්‍රාණාදි වස්තු තුනෙන් කාම රසාස්වාදයට මිස අනිකකට ප්‍රයෝජන නැත. කාම විරාග භාවනා කුශල බලයෙන් උපන් බ්‍රහ්මයනට ඝ්‍රාණාදි වස්තු තුන ඇති නොවේ. බුද්ධ දර්ශන - ධර්ම ශ්‍රවණාදිය පිණිස චක්ෂු - ශ්‍රෝත්‍ර වස්තු දෙක ඇති වේ.
වස්තුවක් ඇසුරු කර ම උපදනා සිත් ය, වස්තුවක් ඇසුරු කොටත් නො කොටත් උපදනා සිත් ය, වස්තුවක් ඇසුරු නො කර ම උපදනා සිත් ය කියා සිත් තුන් කොටසක් ඇත්තේ ය.
චක්ඛු විඤ්ඤාණ දෙක චක්ෂු වස්තුව ඇසුරු කොට ම උපදී. සෝත - ඝාන - ජිව්හා - කාය විඤ්ඤාණයෝ ද ඒ වස්තූන් ඇසුරු කර ම උපදිති.
පඤ්චද්වාරාවජ්ජනය ය, සම්පටිච්ඡන දෙක ය, සන්තීරණ තුන ය, මහාවිපාක අට ය, ද්වේෂ මූල දෙසිත ය, සෝවාන් මාර්ග චිත්තය, හසිතුප්පාදය ය, රූපාවචර සිත් පසළොස ය යන සිත් තිස් තුන හෘදය වස්තුව ඇසුරු කොට ම උපදී.
කාමාවචර කුසල් සිත් අටය, අරූප කුසල් සතරය, ලෝභ මූල සිත් අටය, මෝහ මූල සිත් දෙක ය, මනෝද්වාරාවජ්ජනය ය, මහා ක්‍රියා අටය, අරූප ක්‍රියා සතරය, ප්‍රථම මාර්ගය හැර ලෝකෝත්තර සිත් සතය යන සිත් සතළිස් දෙක: කාම - රූප ලෝක දෙක්හි උපදනා කල්හි හෘදය වස්තු රූපය ඇසුරු කොටත්, අරූප ලෝකයෙහි උපදනා කල්හි වස්තුවක් ඇසුරු නො කොටත් උපදී.
අරූප විපාක සතර, වස්තුවක් ඇසුරු නො කොට ම උපදී.
II වන කොටස
වස්තුවක් ඇසුරු කොට ම උපදනා සිත් සතළිස් තුනෙකි. වස්තුවක් ඇසුරු කොටත් නො කොටත් උපදනා සිත් සතළිස් දෙකකි. වස්තුවක් ඇසුරු නො කොට ම උපදනා සිත් සතරකි.
සතළිස් තුනක් සිත් වස්තුවක් ඇසුරු කොට ම උපදින්නේ ඒ සිත් අරූප ලෝකයෙහි නූපදනා බැවිනි.
ඒ සිත් අතුරෙන් ද්විපඤ්චවිඤ්ඤාණ - පඤ්චද්වාරාවජ්ජන - සම්පටිච්ඡන - සන්තීරණ - මහා විපාකයන් අරූප ලෝකයෙහි නූපදනේ ඒවා උපදනා ද්වාර හා ඒ සිත්වලින් සිදු කරන කෘත්‍යයන් එහි නැති බැවිනි.
ද්වේෂ මූල සිත් එහි නූපදනේ ධ්‍යාන ලාභින් කෙරෙහි ඒ සිත් නූපදනා බැවිනි.
හසිතුප්පාද චිත්තය එහි නැත්තේ අරූපී සත්ත්වයන් ගේ සිනාවක් නැති බැවිනි.
සෝවාන් මාර්ග චිත්තය එහි නූපදනේ කන් නැත්තා වූ අරූපී සත්ත්වයන්ට අනුන්ගෙන් දහම් ඇසිය නො හෙන හෙයිනි. ලොවුතුරා බුදුවරයන්ටත්, පසේ බුදුවරයන්ටත් මිස, සෙස්සන්ට අනුන්ගෙන් දහම් ඇසීමක් නො කොට ස්වශක්තියෙන් සෝවාන් මාර්ගය ඉපදවිය නො හැකිය. අරූප ලෝකයෙහි බුදු - පසේබුදුවරයෝ නූපදිති. අරූපී සත්ත්වයනට අනුන් ගෙන් යමක් අසා ගැනීමට ක්‍රමයක් නැත. සෝවාන් වූ තැනැත්තාට අනුන්ගේ උපකාරයක් නැතිව ඉතිරි මගඵලවලට පැමිණිය හැකිය. සමහර විට කාම - රූප ලෝකවලදී සෝවාන් වූවෝ අරූප ලෝකයෙහි උපදිති. ඔවුහු එහිදී ම සකෘදාගාමි - අනාගාමි - අර්හත් යන මාර්ග ඵලවලට පැමිණ පිරිනිවෙති.
ප්‍රශ්න
- “වස්තුව” යි කියනුයේ කුමකට ද?
- වස්තු කොතෙක් ද?
- චක්ෂු වස්තුවය කියනුයේ කුමකට ද?
- හෘදය වස්තුවය කියනුයේ කුමකට ද?
- කාම - රූප - අරූප ලෝක තුනේ ඇති නැති වස්තු කවරහු ද?
- ඇතැම් වස්තූන් රූප ලෝකයෙහි නැත්තේ කුමක් නිසා ද?
- වස්තුවක් ඇසුරු කර ම උපදනා සිත් කවරහු ද?
- වස්තුවක් කිසි කලෙක ඇසුරු නොකරන සිත් කවරහු ද?
- ද්වේෂ මූල සිත් අරූප ලෝකයේ නැත්තේ කුමක් නිසා ද?
- සෝවාන් මාර්ගය අරූප ලෝකයේ නො ලැබෙන්නේ කුමක් නිසා ද?
මෙතෙකින් තෘතීය ප්‍රකීර්‍ණක පරිච්ඡේදය නිමියේ ය.