4. ද්වාර සංග්‍ර‍හය

I කොටස

ඇතුලු වන, පිට වන ස්ථානවලට “ද්වාරය” යි කියනු ලැබේ. රූපාදි අරමුණු සත්ත්ව සන්තානයට ඇතුළු වන්නා වූ ද, සිත රූපාදි අරමුණු කරා යන්නා වූ ද ස්ථාන, සත්ත්වයන් ගේ ශරීරවල ද ඇත්තේ ය. මේ අභිධර්මයෙහි ඒවා ද්වාර නාමයෙන් හඳුන්වනු ලැබේ. රූපාදි ආරම්මණයන් කරා සිත් පරම්පරා ගලාගෙන යන්නේ ඒ ද්වාරවලිනි. එබැවින් අභිධර්මය උගන්නා තැනැත්තා විසින් ඒ ද්වාර ගැන ද දැන සිටිය යුතු ය.

චක්ඛුද්වාරය, සෝතද්වාරය, ඝානද්වාරය, ජිව්හා ද්වාරය, කායද්වාරය, මනෝද්වාරය කියා ද්වාර සයක් ඇත්තේ ය.

ඇසේ කළු ඉංගිරියාව මැද ඉදිරියෙහි ඇති වස්තූන්ගේ ඡායා රූප වැටෙන තැනක් ඇත්තේ ය. එය ප්‍ර‍මාණයෙන් උකුණු හිසක් පමණ බව කියා තිබේ. එයට චක්ෂුඃ ප්‍ර‍සාදය යි ද කියනු ලැබේ. චක්ඛුද්වාරය යි කියනුයේත් එයට ය. ඉදිරියේ ඇති වස්තූන් ගේ ඡායාරූප එහි වැටීම, රූපාරම්මණය සත්ත්ව සන්තානයට ඇතුළු වීම ය. ඒ නිසා පිටත ඇති රූපය පිළිබඳව පඤ්චද්වාරාවජ්ජන - චක්ඛුවිඤ්ඤාණ - සම්පටිච්ඡන - සන්තීරණාදි සිත් පරම්පරාවක් ඇති වීම, එ තැනින් රූපාරම්මණය කරා සිත යාම ය. මෙසේ රූපාරම්මණය ඇතුළු වීමත් සිත් පිට වීමත් සිදු වන බැවින් චක්ෂුඃ ප්‍ර‍සාදය ද්වාරයක් වේ.

කනෙහි ශබ්දය ගැටෙන - ශබ්දය පිළිබිඹු වන තැනක් ඇත්තේ ය. එයට ශ්‍රෝත්‍ර‍ ප්‍ර‍සාදය යි ද කියනු ලැබේ. ඒ ශ්‍රෝත්‍ර‍ ප්‍ර‍සාදය සෝතද්වාරය ය.

නාසයෙහි ද ගන්ධය දැනගන්නා සිත් ඇති වීමට හේතු වන පරිදි ගන්ධයන් ගැටෙන තැනක් ඇත්තේ ය. එයට ඝ්‍රාණ ප්‍ර‍සාදය යි කියනු ලැබේ. ඝානද්වාරය යි කියනුයේ ද එය ය.

දිවෙහි ද රසය ගැටෙන තැනක් ඇත්තේ ය. එයට ජිහ්වා ප්‍ර‍සාදය යි කියනු ලැබේ. ඒ ජිහ්වා ප්‍ර‍සාදය ජිහ්වාද්වාරය ය.

ස්පර්ශය දැන ගැනීමට උපකාර වන එක්තරා සූක්ෂ්ම දෙයක් ශරීරයේ පැතිරී ඇත්තේ ය. එයට කාය ප්‍ර‍සාදය යි කියනු ලැබේ. කායද්වාරය යි කියනුයේ ද ඒ කාය ප්‍ර‍සාදයට ම ය. පඤ්ච ප්‍ර‍සාදයන් පිළිබඳ විස්තර රූප කාණ්ඩයේ දී දත හැකි වනු ඇත.

භවාඞ්ගය යි කියනු ලබන ප්‍ර‍කෘති චිත්තය ම මනෝද්වාරය ය. පඤ්චද්වාරයේ දැන ගන්නට ලැබෙන රූප ශබ්දාදි අරමුණු පසත්, පඤ්චද්වාරයට අවිෂය නොයෙක් දේත් දැන ගැනීමට මනෝද්වාරය උපකාර වේ.

II කොටස

පඤ්චද්වාරාවජ්ජනය, චක්ඛුවිඤ්ඤාණ දෙක ය, සම්පටිච්ඡන දෙක ය, සන්තීරණ තුන ය, ව්‍යවස්ථාපන (මනෝද්වාරාවජ්ජන) සිත ය, කාමාවචර ජවන් විසි නවය ය, තදාලම්බන එකොළොස ය යන සිත් සතළිස් සය චක්ඛුද්වාරයෙහි උපදනා සිත් ය.

පඤ්චද්වාරාවජ්ජනාදි වශයෙන් සිත් දක්වන ලද්දේ චක්ඛුද්වාරයෙහි සිත් උපදනා පිළිවෙළ අනුව ය. කියන ලද පරිදි සිත් ගණන එකතු කළ හොත් සතළිස් නවයක් වේ. එසේ වන්නේ සන්තීරණ තුන තදාලම්බනවලදී නැවතත් අසුවන බැවිනි. නියම වශයෙන් සිත් ගණන ලැබෙන්නට වරක් ගණන් ගත් සන්තීරණය අතහැර දමා තදාලම්බන අටක් වශයෙන් ගණන් ගත යුතු ය. මෙහි තදාලම්බන එකොළොසක් කියන ලදුයේ සන්තීරණ තුන තදාලම්බන වශයෙනුත් ඇති වන නිසා ය.

චක්ෂුර්ද්වාරයෙහි උපදනා සිත් සසාළිස අතුරෙන්, එහි ම උපදනා සිත් ඇත්තේ චක්ෂුර්විඥාන දෙක පමණෙකි. ඉතිරි සිත් සතළිස් සතර සෝත - ඝාන - ජිව්හා - කාය යන ද්වාර සතරෙහි ද උපදී. ඒවායින් කොටසක් මනෝද්වාරයෙහි ද උපදී.

චක්ෂුර්විඥානද්වයය හැර චක්ෂුර්ද්වාරයෙහි උපදනා සිත් සතළිස් සතරය. සෝතවිඤ්ඤාණ දෙකය යන සිත් සසාළිස සෝතද්වාරයෙහි උපදනා සිත් ය.

මුලින් කී සිත් සතළිස් සතරය ඝාන විඤ්ඤාණ දෙකය යන සිත් සසාළිස ඝානද්වාරයෙහි උපදී.

ජිව්හා ද්වාර - කාය ද්වාර දෙක්හි ද සිත් සසාළිස බැගින් ම උපදී. ඉහත කී සිත් සතළිස් සතරට, ජිව්හා විඤ්ඤාණ දෙක හා කායවිඤ්ඤාණ දෙක එකතු කොට සිත් ගණන ගත යුතු ය. චක්ෂුරාදි ද්වාර පසෙහි ම උපදින්නේ කාමාවචර සිත් පනස් සතර ය. රූපාවචර - අරූපාවචර - ලෝකෝත්තර සිත් පඤ්චද්වාරයෙහි නූපදී.

මනෝද්වාරයෙහි මනෝද්වාරාවජ්ජනය ය, ජවන් පනස් පසය, තදාලම්බන එකොළොසය යන සිත් හැට හත උපදී.

ප්‍ර‍තිසන්ධි - භවාඞ්ග - ච්‍යුති කෘත්‍යයන් සිදු කරන සිත් දහනවය ඒවා ම මනෝද්වාරය වන බැවින් ද්වාරවල නූපදින සිත් ය. ඒවා ද්වාරවිමුක්ත චිත්තයෝ ය. ඉතිරි සිත් සැත්තෑව ද්වාරවල උපදින සිත් ය. ඒවා ද්වාරික චිත්ත නම් වේ.

එකුන් අනූවක් වූ සිත් අතර එක ද්වාරයක පමණක් උපදින සිත් ද ඇත්තේ ය. ද්වාර පසක උපදින සිත් ද ඇත්තේ ය. ෂට් ද්වාරයෙහි ම උපදනා සිත් ද ඇත්තේ ය. විටෙක ද්වාරිකත්, විටෙක ද්වාර විමුක්තත් වන සිත් ද ඇත්තේ ය. සෑම කල්හි ම ද්වාරවිමුක්ත සිත් ද ඇත්තේ ය.

ද්විපඤ්ච විඥාන දශය ය, මහද්ගත ලෝකෝත්තර ජවන් සවිස්සය යන සිත් සතිස, එක එක ද්වාරයක පමණක් ඇති වන සිත් ය. මනෝධාතුවය යි කියනු ලබන පඤ්චද්වාරාවජ්ජනය හා සම්පටිච්ඡන දෙක පඤ්චද්වාරික සිත් ය. සෝමනස්ස සහගත සන්තීරණය, මනෝද්වාරාවජ්ජනය, කාම ජවන් එකුන් තිසය යන සිත් එක් තිස ද්වාර සයෙහි ම උපදනා සිත් ය. උපේක්ෂා සහගත සන්තීරණ දෙකය මහාවිපාක අටය යන සිත් දසය විටෙක ෂට් ද්වාරික ද විටෙක ද්වාර විමුක්ත ද වේ. ඒ සිත් තදාලම්බන කෘත්‍යයෙන් ෂට් ද්වාරයෙහි ම උපදී. ප්‍ර‍තිසන්ධි - භවාඞ්ග - චුති කෘත්‍යයන්ගේ වශයෙන් උපදනා කල්හි ද්වාර විමුක්ත වේ. මහද්ගත විපාක නවය සැම කල්හි ද්වාර විමුක්ත ය.

ප්‍ර‍ශ්න

  1. සාමාන්‍යයෙන් කෙනකුට කොතෙක් ද්වාර ඇත්තේ ද?
  2. ඇසට චක්ෂුර්ද්වාරය යි කියනු යේ කුමක් හෙයින් ද?
  3. මනෝද්වාරය යනු කුමක් ද?
  4. චක්ෂුර්ද්වාරයෙහි උපදනා සිත් කොතෙක් ද?
  5. කාය ද්වාරයෙහි පමණක් උපදින සිත් කවරහු ද?
  6. ලෝභ මූල සිත් අට උපදනේ කවර ද්වාරවල ද?
  7. සෝමනස්ස සන්තීරණය උපදින්නේ කවර ද්වාර වලද?
  8. එක් ද්වාරයක පමණක් උපදින සිත් කවරහු ද?
  9. ද්වාරික ද ද්වාර විමුක්තද වන සිත් කවරහු ද?
  10. ඒ සිත් එසේ වන අවස්ථා කවරහු ද?