3. කෘත්‍ය සංග්‍ර‍හය

I කොටස

චිත්ත පරිච්ඡේදයෙහි දැක්වූ සිත් සත්ත්වයන් තුළ ඇති වන්නේ යම් කිසි ක්‍ර‍මයක් අනුව නොයෙක් කෘත්‍යයන් (වැඩ) සිදු කරමිනි. ඒ ඒ කරුණ අනුව සත්ත්වයන් තුළ ඇති වන්නා වූ සිත් වැල්වලට චිත්ත වීථි යන නාමය ව්‍යවහාර කරනු ලැබේ. චිත්ත වීථි දැක්වීමේ දී අකුශල සිතය - ලෝභ මූල සිත ය - ද්වේෂ මූල සිතය යනාදීන් චිත්ත පරිච්ඡේදයේදී සිත්වලට ව්‍යවහාර කළ නම් නො කියනු ලැබේ. වීථි දැක්වීමේ දී සිත් හඳුන්වන්නේ, ඒ ඒ සිත්වලින් සිදු කරන කෘත්‍යය අනුව, ඒ ඒ සිත්වලට ලැබෙන නම් වලිනි. එබැවින් චිත්ත වීථි කාණ්ඩය උගත හැකි වීමට මේ කෘත්‍ය සඞ්ග්‍ර‍හය හොඳින් ප්‍ර‍ගුණ වී තිබිය යුතු ය.

ප්‍ර‍තිසන්ධි කෘත්‍යය ය, භවාඞ්ග කෘත්‍යය ය, ආවර්ජන කෘත්‍යය ය, දර්ශන කෘත්‍යය ය, ශ්‍ර‍වණ කෘත්‍යය ය, ආඝ්‍රාණ කෘත්‍යය ය, ආස්වාදන කෘත්‍යය ය, ස්පර්ශන කෘත්‍යය ය, සම්ප්‍රත්‍යේෂණ කෘත්‍යය ය, සන්තීරණ කෘත්‍යය ය, ව්‍යවස්ථාපන කෘත්‍යය ය, ජවන කෘත්‍යය ය, තදාලම්බන කෘත්‍යය ය, ව්‍යුති කෘත්‍යය ය කියා සිත්වලින් සිදු කරන කෘත්‍ය දාහතරකි.

මේ කෘත්‍යය දාහතරෙන් එක කෘත්‍යයක් වත් සිදු නො කරන සිතක් නැත. ඇතැම් සිතකින් කෘත්‍යය දෙක - තුන - සතර - පහ බැගින් ද සිදු කරනු ලැබේ.

මරණයෙන් සිත් පරම්පරාව සිඳී යන්නට නොදී වර්තමාන භවය හා අනාගත භවය සම්බන්ධ කිරීම ප්‍ර‍තිසන්ධි කෘත්‍යය ය.

අභිනව භවයෙහි උපන් පසු සිත් පරම්පරාව සිඳී යන්නට නො දී පැවැත්වීම භවාඞ්ග කෘත්‍යය ය.

චිත්ත වීථියක් ඇති වන පරිදි යම්කිසි අරමුණකට චිත්ත පරම්පරාව යොමු කිරීම - හැරවීම ආවර්ජන කෘත්‍යය ය.

රූප දැකීම හෙවත් දැන ගැනීම දර්ශන කෘත්‍යය ය.

ශබ්ද ඇසීම හෙවත් දැන ගැනීම ශ්‍ර‍වණ කෘත්‍යය ය.

සුගඳ - දුගඳ ආඝ්‍රාණය කිරීම හෙවත් දැන ගැනීම ආඝ්‍රාණ කෘත්‍යය ය.

ආහාරාදියේ රසය ආස්වාදනය කිරීම හෙවත් දැන ගැනීම ආස්වාදන කෘත්‍යය ය.

ශරීරයේ සැපෙන දේ දැන ගැනීම ස්පර්ශන කෘත්‍යය ය.

චක්ෂුර් විඥානාදියෙන් ගත් රූපාදි අරමුණු පිළි ගැනීම සම්ප්‍රත්‍යේෂණ කෘත්‍යය ය.

සම්ප්‍රත්‍යේක්‍ෂණයෙන් පිළිගත් රූපාදි අරමුණු විමසීම සන්තීරණ කෘත්‍යය ය.

විමසූ අරමුණේ තතු විනිශ්චය කිරීම ව්‍යවස්තාපන කෘත්‍යය ය.

අරමුණ දැන ගැනීම පිළිබඳ වූ ද, දීම් - ගැනීම් ආදි ක්‍රියා පිළිබඳ වූ ද, අධික චිත්ත වේගය ජවන කෘත්‍යය ය.

ජවනයෙන් ගත් අරමුණ ගැනීම තදාලම්බන කෘත්‍ය ය.

භවය කෙළවර කිරීම - භවයෙන් පහවීම ච්‍යුති කෘත්‍යය ය.

සිත්වලින් කරන මේ කෘත්‍යයන් පිළිබඳව දැනට ඔබට නියම අවබෝධයක් ඇති කර ගත නො හැකි ය. ඒවා ගැන නියම වැටහීමක් ඇති වන්නේ චිත්ත වීථි උගෙනීමේ දී ය. දැන් ඔබ විසින් කළ යුත්තේ කෘත්‍ය්‍යන් හා ඒවා සිදු කරන සිත් හොඳින් මතක තබා ගැනීම ය. එසේ නො කළ හොත් වීථි කාණ්ඩය උගෙනීම අපහසු වනු ඇත.

එක් භවයකදී එක් පුද්ගලයකුට ප්‍ර‍තිසන්ධි සිත් ඇති වන්නේ එකකි. ච්‍යුති සිත් ද එකකි. සත්ත්වයන්ට බහුල ව ඇති වන්නේ භවාඞ්ග සිත් ය. එහෙත් ඒවායේ ඇති වීම නො දැනේ. සිත්වල ප්‍ර‍ධාන කොටස ජවන් සිත් ය. භවාඞ්ග සිත් ඇරුණාම සත්ත්වයකු තුළ වඩා උපදින්නේ ජවන් සිත් ය. අරමුණ හොඳට දැන ගන්නේත්, ක්‍රියා සිදු කරන්නේත්, පින් - පව් වන්නේත් ජවන් සිත් ය.

II වන කොටස

උපේක්ෂා සහගත සන්තීරණ දෙකය, මහා විපාක අට ය, මහද්ගත විපාක නවය ය යන මේ සිත් දහනවය ප්‍ර‍තිසන්ධි - භවාඞ්ග - ච්‍යුති යන කෘත්‍ය තුන සිදු කරන සිත් ය. ඒ එක් එක් සිතකින් කෘත්‍ය තුන ම සිදු කරන නමුත් එක වරක දී සිදු කරන්නේ එක් කෘත්‍යයක් පමණෙකි.

පඤ්චද්වාරාවජ්ජනය, මනොද්වාරාවජ්ජනය යන සිත් දෙක ආවර්ජන කෘත්‍ය සිදු කරන සිත් ය.

චක්ෂුර් විඥාන දෙකින් දර්ශන කෘත්‍යය ද, ශෝත්‍ර‍ විඥාන දෙකින් ශ්‍ර‍වන කෘත්‍යය ද, ඝ්‍රාණ විඥාන දෙකින් ආඝ්‍රාණ කෘත්‍යය ද, ජිහ්වා විඥාන දෙකින් ආස්වාදන කෘත්‍යය ද, කාය විඥාන දෙකින් ස්පර්ශන කෘත්‍යය ද, සම්පටිච්ඡන සිත් දෙකෙන් සම්ප්‍රත්‍යේෂණ කෘ කෘත්‍යය ද සිදු කරනු ලැබේ.

සන්තීරණ සිත් තුනෙන් සන්තීරණ කෘත්‍යය සිදු කරනු ලැබේ.

මනෝද්වාරාවජ්ජන චිත්තයෙන් ව්‍යවස්ථාපන කෘත්‍යය ද සිදු කරනු ලැබේ.

අකුසල් සිත් දොළොසය - හසිතුප්පාද සිතය - මහා කුසල් සිත් අටය - මහා ක්‍රියා අටය - මහද්ගත කුසල් නවයය - මහද්ගත ක්‍රියා නවයය - ලෝකෝත්තර සිත් අටය යන මේ සිත් පනස් පස ජවන චිත්තයෝ ය.

මහා විපාක අටය - සන්තීරණ තුනය යන මේ එකොළොස තදාලම්බන කෘත්‍යය ඇති සිත් ය.

උපේක්ෂා සහගත සන්තීරණ දෙක: ප්‍ර‍තිසන්ධි - භවාඞ්ග - ච්‍යුති - සන්තීරණ - තදාරම්මණ යන පස් කිස ම සිදු කරන සිත් ය.

මහා විපාක අට: ප්‍ර‍තිසන්ධි - භවාඞ්ග - ච්‍යුති - තදාරම්මණ යන සිවු කිස ම සිදු කරන සිත් ය.

මහග්ගත විපාක නවය: ප්‍ර‍තිසන්ධි - භවාඞ්ග - ච්‍යුති වශයෙන් කෘත්‍ය තුනක් සිදු කරන සිත් ය.

සෝමනස්ස සන්තීරණයෙන් සන්තිරණ - තදාරම්මණ යන දෙකිස සිදු කරනු ලැබේ.

මනෝද්වාරාවජ්ජනයෙන් ව්‍යවස්ථාපන - ආවර්ජන දෙකිස සිදු කරනු ලැබේ.

ජවන් සිත් පස් පනසය, පඤ්චද්වාරාවජ්ජනයය, සම්පටිච්ඡන දෙක ය, දෙපස් විඤ්ඤාණ දශයය යන සිත් සැට අට එක් කිසක් පමණක් කරන සිත් ය. කෘත්‍ය දෙක තුන සිදු කරන සිත්වලින් ද, එක් වරකට සිදු කරන්නේ එක් කෘත්‍යයක් ම බව දත යුතු ය.

ප්‍ර‍ශ්න

  1. කෘත්‍ය සඞ්ග්‍ර‍හයෙන් ඇති විශේෂ ප්‍රයෝජනය කුමක් ද?
  2. ජවන් සිත් කොතෙක් ද?
  3. කාමාවචර ජවන් කොතෙක් ද?
  4. මහද්ගත ජවන් කොතෙක් ද?
  5. ජවන චිත්තයන් ගෙන් සිදු කරන්නේ කුමක් ද?
  6. සිත්වල ප්‍ර‍ධාන කොටස කවරක් ද?
  7. එක් කෘත්‍යයක් පමණක් සිදු කරන සිත් කවරහු ද?