3. කසිණ භාවනාව

star_outline

5 වන පාඩම

දානය, ශීලය, භාවනාවය කියා පින් තුන් කොටසක් ඇත්තේ ය. දාන ශීල දෙකින් ලැබිය හැකි ඵල සියල්ල ම භාවනාමය කුශලයෙන් ද ලැබෙන්නේ ය. එහෙත් භාවනාමය කුශලයෙන් ලැබෙන උසස් ඵල උසස් අනුසස් භාවනාමය කුශලයෙන් ම මිස, දාන ශීල දෙකින් නො ලැබිය හැකි ය. එබැවින් කුශලයන්ගෙන් උසස් කුශලය භාවනාමය කුශලය බව දත යුතු ය.

බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව පිළිපැදීමෙන් ලබන්නට ඇති උසස් ම දෙය නිර්වාණය ය. එය ලැබිය හැක්කේ නුවණ දියුණු කර ගැනීමෙන් ය. නුවණ දියුණු කිරීම හැර, එය ලබන තවත් ක්‍ර‍මයක් නැත්තේ ය. නිවන් ලබා දෙන ලෝකෝත්තර ඥානය ඇති වන තෙක් නුවණ දියුණු වීමට කරන්නට ඇත්තා වූ එක ම දෙය විදර්ශනා භාවනාව ය. භාවනාවෙන් වුව ද නුවණ දියුණු වීමට සමාධියත් තිබිය යුතු ය. එබැවින් සමාධිය දියුණු වීම සඳහා ශමථ භාවනාව කළ යුතු ය. බුද්ධාගම ඇදහීමෙන් ලබා ගත යුතු උසස් ඵල ලැබීමට නම්, සෑම බෞද්ධයකු විසින් ම යම් කිසි භාවනාවක් ද කළ යුතු ය.

භාවනා කිරීමේ ක්‍ර‍ම දෙකකි. විශුද්ධි මාර්ගාදි පොත්වල විස්තර කර තිබෙන්නේ වර්තමාන භවයේදී ම ධ්‍යාන මාර්ග ඵල ලැබීම සඳහා භාවනා කරන ක්‍ර‍මය ය. එයත් ගිහියකු විසින් කරන ක්‍ර‍මය නො ව, පැවිද්දකු විසින් කරන ක්‍ර‍මය ය. එය කිරීමට ඉතා දුෂ්කර වැඩ පිළිවෙළකි. එය කළ හැක්කේ ද ජීවිතයේ අන් සියලු ම බලාපොරොත්තු හැර දමා, ජීවිතය ධ්‍යානාදි ධර්ම ලැබීම සඳහා ම කැප කිරීමට තරම් ධෛර්‍ය්‍යය ඇති විශේෂ පුද්ගලයන්ට පමණෙකි. ලෝකයෙහි එබඳු අය දුර්ලභ ය. ඇත්තේ දස දහස් ගණනකට එක් කෙනෙක් පමණෙකි. භාවනාමය කුශලය ලබා ගැනීමටත් සසරට පුරුදු කර ගැනීමටත් තමාගේ අනික් වැඩ කරන අතර ම හැකි පමණින් භාවනාවේ යෙදීම භාවනා කිරීමේ අනික් ක්‍ර‍මය ය. එසේ කරන තැනැත්තා විසින් තමාගේ කාලයෙන් යම් කිසි ප්‍ර‍මාණයක් භාවනා සඳහා වෙන් කර ගෙන ඒ කාලයේ දී යම් කිසි භාවනාවක් කළ යුතු ය.

භාවනා කිරීමේ පරමාර්ථය සිතේ තත්ත්වය උසස් කර ගැනීම ය. සිත දියුණු කිරීම ය. එක් එක් පුද්ගලයකුට නාම-කාය ය, රූප - කාය ය කියා දෙකක් (ශරීර දෙකක්) ඇත්තේ ය. රූප - කය යනු ඇසට පෙනෙන්නට ඇත්තා වූ ශරීර ය ය. නාම-කය ය කියනුයේ රූප - කය පාලනය කරන රූප - කය හසුරුවන ඒ රූප - කය තුළ පිහිටි විඤ්ඤාණ ධාතුපරම්පරාව ය. නාම - කය ශරීරයෙන් තුරන් වුවහොත් ඉන් පසු රූප-කයෙන් ගත හැකි ප්‍රයෝජනයක් නැත. එය පසට යට කර දැමිය යුත්තක් වන්නේ ය. වර්තමාන භවයේ රූප-කය අනාගත භවයේදී ලැබෙන රූප-කයට සම්බන්ධ නොවන්නේ ය. අනාගත භව පරම්පරාවට සම්බන්ධ වන්නේ නාම-කාය නම් වූ සත්ත්වයාගේ චිත්ත පරම්පරාව ය. එබැවින් සත්ත්වයාගේ ප්‍ර‍ධාන කොට්ඨාසය රූප-කය නො ව, නාම - කය බව දත යුතු ය. සත්ත්වයාගේ හරයත් එය ම ය. එබැවින් නාම-කයට වැඩි සැලකිල්ලක් කළ යුතුය.

එහෙත් බොහෝ දෙනා රූප - කය වැඩිදියුණු කිරීමට ආරක්ෂා කිරීමට සැරසීමට තමන්ගේ සම්පූර්ණ කාලය ගත කරනවා මිස, නාම-කය ගැන කිසිවක් නො කරති. එය දියුණු කළ යුතු බවක් ආරක්ෂා කළ යුතු බවක් නො දනිති. රූප-කයට වන නපුරකින් සිදුවන පාඩුව, සිදුවන දුක එක භවයකට පමණකි. නාම - කය නරක් වීමෙන් භව පරම්පරාවට ම හානියක් වන්නේ ය. එබැවින් තමාගේ කාලයෙන් යම් කිසි එක් කොටසක් නාම-කය දියුණු කිරීමට ආරක්ෂා කිරීමට තබා ගත යුතු ය. දවසක ඇති පැය විසි හතරෙන් පැය බාගයක් වත් ඒ සඳහා වෙන් කර ගත යුතු ය. ඒ කාලයේ දී යම් කිසි භාවනාවක් කරනු.

ශීලය භාවනාවේ අත්තිවාරම ය. එබැවින් භාවනා කරන තැනැත්තා ගිහියෙක් නම් ගිහියාට නිසි ශීලයක ද පැවිද්දෙක් පැවිද්දෙක් නම් පැවිද්දාට නිසි ශීලයෙහි ද පිහිටා භාවනා කළ යුතු ය. මෙසේ කීමෙන් පිරිසිදු සිල් නැතියකු විසින් භාවනා කළ හොත් එයින් ඔහුට ප්‍රයෝජනයක් නො වේය කියා හෝ නපුරක් වේය කියා හෝ නො සිතිය යුතු ය. පිරිසිදු සිල් නැති තැනැත්තාට ද භාවනාව සුදුසු ය. ශීලය අපිරිසිදු වුව ද භාවනා කළ හොත් භාවනාමය කුශලය ලැබෙන්නේ ය. කලක් භාවනා කරන කල්හි එයින් ඔහුට ක්‍ර‍මයෙන් සිල් රැකිය හැකි ශක්තිය ද ලැබෙන්නේ ය.

කර්මස්ථානයන් අතුරෙන් පඨවි කසිණය සැම දෙනාට ම සුදුසු කර්මස්ථානයෙකි. චරිතයට සුදුසු කමටහන් සෙවිය යුත්තේ, මෙලොව ම ධ්‍යානාදිය ලබනු පිණිස භාවනා කරන අය විසිනි. සාමාන්‍යයෙන් භාවනා කරන්නවුන්ට කවර කමටහනක් වුව ද වරද නැත.

පඨවි කසිණය වැඩි අපහසුවක් නැති ව සාදා ගත හැකි ය. ඒ සඳහා ගත යුත්තේ තරමක රතු පස් ය. තද රතු පස ගත හොත් ලෝහිත කසිණය හා අවුල් වේ. රොඩු හා ගල් කැට ඉවත් කොට මැටි ටික හොඳින් අනා ගත යුතු ය. සරසින් කෝදුවේ අඟල් වලින් අඟල් දහයක් එකොළහක් තරම බන්දේසියක් ඇති නම් ඒ මැටි එයට දමා මට්ටම් කොට වේලා ගත්තා ම පඨවි කසිණය වේ. සමහරවිට වේලීමේදී එහි මට්ටම නැති වී යා හැකි ය. එසේ වුවහොත් නැවත උඩින් මැටි ගා මට්ටම් කර ගත යුතු ය.

පඨවි කසිණය ලෑල්ලක සාදන්නේ මෙසේ ය:- කසිණයේ ප්‍ර‍මාණයට රවුමට ලෑල්ලක් කපා ගත යුතු ය. අඟල් බාගයක් පමණ මතු වී තිබෙන පරිදි එහි සැම තැන ම අඟල් දෙකෙන් දෙකෙන් තරමට කුඩා ඇණ ගසනු. ඉක්බති පදම් කළ රතු මැටි එහි ලා ඇණ යට කොට රොටියක් සේ මණ්ඩලය තනනු. ඇණ ගැසිය යුත්තේ වියළුණු පසු මැටි තට්ටුව ලෑල්ලෙන් ගැලවී නො යාම පිණිස ය. වියළීමෙන් පසු මට්ටම නැති වී ගියහොත් නැවත මට්ටම් කර ගත යුතුය. ලෑල්ලු රවුම් කර ගැනීම අපහසු නම් සතරැස් ලෑල්ලක කවයක් ඇඳ එහි ඇණ ගසා කසිණ මණ්ඩලය සාදා ගත යුතු ය. සුදුසු විවේක තැනක බිම වුව ද කසිණ මණ්ඩලය තනා ගැනීම සුදුසු ය. කසිණ මණ්ඩලය තැනීමේ දී මැටිවලට සිමෙන්ති ස්වල්පයක් මිශ්‍ර‍ කර ගැනීමෙන් ශක්තිමත් මණ්ඩලයක් සාදා ගත හැකි ය. සිමෙන්ති මිශ්‍ර‍ කොට සෑදූ කසිණ මණ්ඩලය වියළුණු පසු උඩින් තුනියට මැටි පමණක් ආලේප කොට මට්ටම් කර ගත යුතු ය.

6 වන පාඩම

කියන ලද පරිදි සාදා ගත් කසිණ මණ්ඩලය ජනයා නො පැමිණෙන ශබ්ද අඩු විවේක ස්ථානයකට ගෙන ගොස්, වාඩිවීමට එක් වියත් සතරඟුලක් පමණ උස් අසුනක් පිළියෙළ කොට, එයට දෙරියන් හමාරක් පමණ දුරින් මණ්ඩලය බිම තබා අසුනෙහි බද්ධ පර්‍ය්‍යඞ්කයෙන් වාඩි වී කසිණ මණ්ඩලය දෙස බලා ගෙන භාවනා කළ යුතු ය. වතුර නා ශරීරය පිරිසිදු කරගෙන පිරිසිදු වස්ත්‍ර‍යක් හැඳ ගෙන භාවනාවට වාඩිවීම ඉතා හොඳ ය. හැම විට ම එසේ කළ නො හෙන බැවින් ශරීරයේ යම් යම් තැනක් අපිරිසිදු වී ඇති නම් ඒ තැන් පිරිසිදු කර ගෙන භාවනාවට වාඩි වෙනු. වාඩි වී පළමුවෙන් තමා දන්නා සැටියට රත්නත්‍රයේ ගුණ සිහි කර සිත ප්‍රීතිමත් කර ගත යුතු ය.

රත්නත්‍රයේ ම ගුණ සිහි කළ නො හැකි නම් බුදු ගුණ පමණවත් සිහි කොට ප්‍රීතිය ඇති කර ගත යුතු ය. ඉක්බිති කීප විටක් ආරක්ෂක දේවතාවන්ට හා සකල සත්ත්වයන්ට මෙත් වඩනු.

ඉක්බිති “මම ද බුද්ධාදි මහෝත්තමයන් වහන්සේලා ගිය මඟ යෙමි, මේ ප්‍ර‍තිපත්තියෙන් මමද බුද්ධාදි මහෝත්තමයන් පැමිණියා වූ නිවනට පැමිණෙමිය” යි සිතා, උත්සාහය ඇති කර ගෙන, ඇස් වඩා අරින්නේත් නැති ව වඩා වසන්නේත් නැති ව කසිණ මණ්ඩලයට යොමු කොට තබා “මාගේ සිත මෙහි ම පිහිටාවා, මින් බැහැරට නොයේවා ය” කියා දෙතුන් වරක් ඉටා ගෙන අතින් යම් කිසිවක් තද කර ගන්නාක් මෙන් සිතින් කසිණ මණ්ඩලය තද කර ගෙන කසිණ මණ්ඩලයෙහි සිත පිහිටුව ගෙන ශරීරය නිශ්චල ව තබා ගෙන ඇසිපිය නො හෙළා “පඨවි - පඨවි” කියා හෝ “පසය - පසය” කියා හෝ මෙනෙහි කරමින් වාසය කරනු.

යෝගාවචරයකුට දුෂ්කර කාරණය ශරීරය ජය ගැනීම ය. ශරීරය ජය ගැනීම ය යනු පැයක් දෙකක් අමාරුවක් නැති ව ශරීරය නිශ්චල ව තැබිය හැකි තත්ත්වයට පමුණුවා ගැනීම ය. ශරීරය නිශ්චල ව තැබිය හැකි වන තුරු සමාධිය නො ලැබේ. ඇස ඇරගෙන බලා සිටිය නො හැකි වූ විට ඇස පියා ගෙන කසිණය සිහි කරනු. ඇස පියා ගෙන කසිණය සිහි කරන විට ඇස හැර බලන කල්හි මෙන් සිතට කසිණය පෙනෙත හොත් ඇස නො හැර ම එය සිහි කරමින් එහි ම සිත පිහිටවා ගෙන වාසය කරනු. නො පෙනෙතොත් නැවත ඇස ඇර බලා ගෙන භාවනා කරනු.

මැස්සකු ඇඟේ වැසුවාට කුහුඹුවකු ඇඟේ ඇවිද්දාට මදුරුවකු විද්දාට ශරීරය නො සොලවන්න. ඒ සියල්ල ඉවසනු. නිශ්චලව සිටීම ශරීරයට නුපුරුදු වැඩකි. එබැවින් නො සෙල් වී ඉන්නා කල්හි ශරීරයේ තැනිත් තැන නොයෙක් වේදනා ඇති වේ. ඒවා ඉවසිමෙන් විඳ දරා ගන්න. කල් යාමෙන් ශරීරය හැඩ ගැසී නිශ්චල ව සිටීමේ දී වේදනා ඇති නො වී අමුතු සනීපයක් දැනෙන තත්ත්වයට පැමිණෙනු ඇත.

ඇස පියා ගෙන කසිණ මණ්ඩලය සිහි කරන කල්හි කසිණ මණ්ඩලයත් සමඟ තවත් නොයෙක් දේ පෙනෙන්නට විය හැකි ය. ඒවායින් ප්‍රයෝජනයක් හෝ නපුරක් නැත. ඒවා ගැන සැලකිල්ලක් නොදක්වනු. ඒ පෙනෙන දේවල් ගැන සතුටු වී ඒවා ගැන බලාපොරොත්තු වුවහොත් ඉමක් කොනක් නැතිව නොයෙක් දේ පෙනෙන්නට වී භාවනාව අවුල් වී යා හැකි ය. ඇස ඇර ගෙන ඉන්නා කාලයේදී ද නොයෙක් දේ පෙනෙන්නට විය හැකි ය. ඒ පෙනෙන කිසිවක් සත්‍ය වශයෙන් ඇති ඒවා නො වේ. ඒවාට නො රැවටෙනු. නොයෙක් දේ පෙනෙන්නට පටන් ගන්නේ තරමක් සමාධිය දියුණු වන කාලයේ දී ය.

භාවනාවෙහි යෙදී ඉන්නා කාලයේ සමහර විට ප්‍ර‍කෘතියෙන් ඉන්නා කල නො ඇසෙන ඉතා කුඩා ශබ්ද පවා ඇසෙන්නට පටන් ගනී. අමුතු ශබ්ද ඇසෙනවාය කියා ඒවා ගැන සැලකිල්ලක් නො කරනු. කැරපොත්තකු - සූනකු එහා මෙහා යන ශබ්දය වැනි කුඩා ශබ්ද මහා ශබ්ද සැටියට ඇසෙන්නට පිළිවන. කොපමණ මහත් ශබ්දයක් ඇසුණත් ගණන් නො ගෙන තමාගේ භාවනාව නිසි පරිදි කර ගෙන යනු. සමහර විට ආලෝකයක් ඇති විය හැකි ය. එයින් ද භාවනාවට ඇති ප්‍රයෝජනයක් නැත. ඒ නිසා අමුතුවෙන් පෙනෙන ඇසෙන කිසිවක් ගණන් නො ගෙන කිසිවකට සිත යොමු නො කොට උත්සාහයෙන් කසිණ මණ්ඩලය ම මෙනෙහි කරන්න.

දිනකට පැයක් පමණ කියන ලද පරිදි මාස කීපයක් දින පතා භවනාවෙහි යෙදුනහොත් තරමක සමාධියක් ඇති වේ. ඉන් පසු ඔහුට භාවනාව මිහිරි වනු ඇත. සැපයක් වනු ඇත. තරමකට සිහි නුවණ දියුණු වනු ඇත. සමාධිය ලැබූ තැනැත්තා පවින් තොර ව වාසය කරන ශාන්ත පුද්ගලයකු වනු ඇත.

වර්තමාන භවයේදී ම ධ්‍යාන ලැබීමේ බලාපොරොත්තුවෙන් සකල දෝෂයන් දුරු කොට මහත් උත්සාහයෙන් කසිණ භාවනාව නියම ක්‍ර‍මයට ම කර ගෙන යන්නා වූ පෙර පින් ද ඇති යෝගාවචරයනට කියන ලද පරිදි කසිණ භාවනාව කලක් කර ගෙන යන කල්හි ඇස පියා කසිණ මණ්ඩලය සිහි කරන කල්හි ද, කිසි අවුලක් නැති ව ඇස හැර බැලීමේ දී පෙනෙන්නාක් මෙන් කසිණ මණ්ඩලය සිතට ම පෙනෙන්නට වන්නේ ය. එසේ පෙනෙන කසිණ නිමිත්තට උද්ග්‍ර‍හ නිමිත්ත යයි කියනු ලැබේ.

උද්ග්‍ර‍හ නිමිත්ත ලද හොත් කසිණ මණ්ඩලය සමීපයේ නො හිඳ අන් තැනකට ගොස් සුවසේ හිඳ උද්ග්‍ර‍හ නිමිත්ත මෙනෙහි කරන්නට පටන් ගත යුතු ය. උද්ග්‍ර‍හ නිමිත්ත මෙනෙහි කරන්නේ ද “පඨවිය, පඨවිය” කියා ම ය. උද්ග්‍ර‍හ නිමිත්ත, වෙන වැඩවල යෙදුන හොත් ඉක්මනින් නැති වන්නකි. එය නැති වන්නට නො දී මහත් උත්සාහයෙන් රැක ගත යුතු ය.

උද්ග්‍ර‍හ නිමිත්ත ලබා එය අරමුණු කොට භාවනාවෙහි යෙදෙන යෝගාවචරයා හට පඤ්චනීවරණයෝ බොහෝ දුරට සන්සිඳෙති. උපචාර සමාධියෙන් සිත ද බොහෝ දුරට සන්සිඳේ. උද්ග්‍ර‍හ නිමිත්ත අරමුණු කොට භාවනාව පවත්වා ගෙන යන යෝගාවචරයාට නීවරණයන් වඩ වඩා යටපත් වී සිත පහන් වන කල්හි යම් කිසි අවස්ථාවක දී ඔප කළ ස්වර්ණ මණ්ඩලයක් සේ, ළහිරු මඬලක් සේ, කසිණ මණ්ඩලය ඉතා පැහැපත් ව වැටහෙන්නට පටන් ගනී. ඒ පැහැපත් ව වැටහෙන කසිණ නිමිත්තට ප්‍ර‍තිභාග නිමිත්ත යයි කියනු ලැබේ. ප්‍ර‍තිභාග නිමිත්ත අරමුණු කොට භාවනාව පවත්වා ගෙන යන යෝගාවචරයා හට වඩාත් නීවරණයන් දුරු වී සමාධිය වැඩී ඒ ආරම්මණයෙහි යම් කිසි අවස්ථාවක දී විතර්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍ර‍තා යන පඤ්චාඞ්ගයෙන් යුක්ත වන ප්‍ර‍ථම රූපාවචර ධ්‍යාන චිත්තය පහළ වන්නේ ය. ඒ ධ්‍යාන චිත්තයට අර්පණා චිත්තය යි ද කියනු ලැබේ.

කොතෙක් දියුණු කළ කාමාවචර ජවන චිත්තය වුව ද වරක් ආවර්ජනා කළ ආරම්මණයෙහි උපදින්නේ සත් වරක් පමණෙකි. ඉන් පසු භවාඞ්ග වේ. රූපාවචර ධ්‍යාන චිත්තය වනාහි වරක් අරමුණ ආවර්ජනය කොට උපදවා ගත් කල්හි දවස මුළුල්ලේ ම වුව ද භවාඞ්ග පතනය නො වී ඒ සිත ම නැවත නැවත උපදිමින් පවතී. කාමාවචර චිත්තයේ හා අර්පණා චිත්තයේ වෙනස එය ය.