2. චරිත සය

star_outline

3 වන පාඩම

කමටහන් බොහෝ ගණනක් ඇත්තේ සෑම දෙනාට ම ඒ සියල්ල ම වැඩීම පිණිස නො ව, තම තමන්ට, වඩා ගැලපෙන කමටහන් තෝරා ගෙන භාවනා කරනු පිණිස ය. නොගැලපෙන කමටහන වඩා, සමාධිය ලැබීම අපහසු ය. ගැලපෙන කමටහන තෝරා ගෙන භාවනා කරන්නා හට ඉක්මනින් සමාධිය ලැබිය හැකි ය. කමටහන තෝරා ගන්නේ චරිතය අනුව ය.

රාග චරිතය, ද්වේෂ චරිතය, මෝහ චරිතය, ශ්‍ර‍ද්ධා චරිතය, බුද්ධි චරිතය, විතර්ක චරිතය කියා චරිත සයක් ඇත්තේ ය. චරිතය යනු ඒ ඒ පුද්ගලයාගේ ප්‍ර‍කෘතිය ය. රාග-ද්වේෂාදි සියල්ල ම කාහටත් ඇති බැවින් චරිතය තේරුම් ගැනීම ඉතා අපහසු ය.

බොහෝ සෙයින් රාගය ඇති වන රාග බහුල තැනැත්තා රාග චරිතයා ය. රාගය යනු ලෝභය ය. මානය, ලෝභය හා එක් ව පවත්නා චෛතසිකයක් වන බැවින් රාග චරිතයාට මානය ද අධික ය. පුද්ගලයන්ට හා වස්තූන්ට තදින් ඇලුම් කරන බව, කොතෙක් ලදත් සෑහීමකට පත් නො වන බව, පමණට වඩා පරෙස්සම් කරන බව, කෑම්-බීම්-ඇඳුම්-පැළඳුම් ආදියට බොහෝ කෑදර බව, වැඩ ලස්සනට කරන බව, ශරීරය හා ඇඳුම් පැළඳුම් ද වාසස්ථාන ද තමාගේ භාණ්ඩ ද ලස්සනට තබා ගන්නා බව, ලස්සන දේවලට කැමති බව යනාදිය රාග චරිතයා ගේ ලක්ෂණයෝ ය.

නිතර අනුන්ට ද්වේෂ කරන, ද්වේෂ බහුල තැනැත්තා ද්වේෂ චරිතයා ය. ද්වේෂය හා එක් ව උපදනා ඉස්සා - මච්ඡරිය - කුක්කුච්චයෝ ද ද්වේෂ චරිතයාට බහුල ය. නිතර කිපෙන බව, ඉතා සුළු කරුණටත් කිපෙන බව, අකාරණයෙහිත් කිපෙන බව, වෛර කරන බව, අනුන් හා වැඩිකල් මිත්‍ර‍ ව නො විසිය හැකිබව, සැම කටයුත්තක දී ම කලබල වන බව, බිය වන බව, ඉක්මනින් වෙනස් වන බව, කවරකට වුව ද වඩා ඇල්මක් නැති බව, කටුක ආහාරවලට කැමති බව යනාදිය ද්වේෂ චරිතයා ගේ ලක්ෂණයෝ ය.

මෝහය අධික තැනැත්තා මෝහ චරිතයා ය. ථීනමිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා යන මේවා ද මෝහ චරිතයාට අධික ය. ගැඹුරු කරුණු තේරුම් ගැනීමට අසමත් බව, රැවටෙන සුළු බව, අනුන්ගේ කීම් අනුව යුතු අයුතුකම් හොඳ නරක සලකන බව, පිළිගත් වැරදි හැඟීම් අතහරවන්නට දුෂ්කර බව, කිනම් දෙයක් වුවත් හරියට කිරීමට නො සමත් බව යනාදිය මෝහචරිතයා ගේ ලක්ෂණයෝ ය.

ශ්‍ර‍ද්ධාව අධික තැනැත්තා ශ්‍ර‍ද්ධා චරිතයා ය. දෙනු කැමති බව, ගුණවතුන් දකිනු කැමති බව, දහම් අසනු කැමති බව, පැහැදිය යුත්තන් කෙරෙහි පහදින බව, ප්‍රීතිය බහුල බව යනාදිය ශ්‍ර‍ද්ධා චරිතයා ගේ ලක්ෂණයෝ ය. ඇතැම් කරුණුවලින් ශ්‍ර‍ද්ධා චරිතයා රාග චරිතයාට සමාන ය.

නුවණ වැඩි තැනැත්තා බුද්ධි චරිතයා ය. සුවච බව, කලණ මිතුරන් ඇති බව, ආහාරයෙහි පමණ දන්නා බව, සිහි නුවණ ඇති බව, ගැඹුරු දේ තේරුම් ගැනීමෙහි සමත් බව, විමසා කටයුතු කරන බව, අනුන් කී පමණින් නො පිළිගන්නා බව, සැම දෙයක් ම ක්‍ර‍මානුකූල ව කරන බව යනාදිය බුද්ධි චරිතයාගේ ලක්ෂණයෝ ය. සමහර කරුණු වලින් බුද්ධි චරිතයා ද්වේෂ චරිතයාට සමානය.

විතර්ක බහුල තැනැත්තා විතර්ක චරිතයා ය. සිත එකඟ කිරීමට අපහසු බව, කතා වැඩි බව, බොහෝ දෙනා හා එක් ව හැසිරෙන බව, නොයෙක් දේ නිතර කල්පනා කරන බව, කුසල් කිරීමෙහි සතුටක් නැති බව, ඉක්මනින් අදහස් වෙනස් කරන බව යනාදිය විතර්ක චරිතයා ගේ ලක්ෂණයෝ ය. ඇතැම් කරුණුවලින් විතර්ක චරිතයා මෝහ චරිතයාට සමාන ය.

චරිතයට සුදුසු කමටහන්

අශුභ දශකය, කායගතාසතිය ය යන මේ කමටහන් එකොළොස රාග චරිතයාට සුදුසු ය. කායගතාසතිය යනු කේශාදි කොට්ඨාසයන් පිළිබඳ භාවනාව ය. රාග චරිතයට විශේෂයෙන් සමාධියට බාධක වන්නේ රාගය ය. මේ කමටහන් එකොළොස රාගයට විරුද්ධ ය. රාගය දුරු කරන භාවනාවය. එබැවින් ඒවා රාග චරිතයාට සත්ප්‍රාස ය.

අප්‍ර‍මාණ්‍ය සතර ය, නීල - පීත - ලෝහිත - ඕදාත කසිණ සතර ය යන කමටහන් අට ද්වේෂ චරිතයාට යෝග්‍ය ය. අප්‍ර‍මාණ්‍ය භාවනා කරතහොත් රාග චරිතයාට භාවනාවට අරමුණු වන පුද්ගලයන් ගැන රාගය සමහර විට ඇති විය හැකිය. නීලාදී වර්ණයන් ගැන ද රාගය ඇති විය හැකි ය. එබැවින් ඒවා රාග චරිතයාට අයෝග්‍ය ය. අශුභයන් අරමුණු කොට භාවනා කරන කල්හි ද්වේෂ චරිතයාට භාවනාරම්මණය ගැන ද ද්වේෂය හෙවත් නො සතුට ඇති විය හැකිය. එබැවින් අශුභ භාවනාව ද්වේෂ චරිතයාට අයෝග්‍ය ය.

ආනාපාන භාවනාව මෝහ චරිතයාට හා විතර්ක චරිතයාට යෝග්‍ය ය. මෝහ චරිතයා ද විතර්ක චරිතයා මෙන් වික්ෂිප්ත පුද්ගලයෙකි. පුද්ගලයා කෙරෙහි නො නැවතී නැවත නැවත ඇති වන ආශ්වාස ප්‍ර‍ශ්වාස, විසිර යන සිත නැවත නැවත තමා වෙත කැඳවන්නාක් මෙන් පවතී. එබැවින් මෝහ - විතර්ක චරිතයනට එය විශේෂයෙන් සුදුසු වේ.

බුද්ධානුස්සති - ධම්මානුස්සති - සඞ්ඝානුස්සති - සීලානුස්සති - චාගානුස්සති - දේවතානුස්සති යන කමටහන් සය ශ්‍ර‍ද්ධා බහුල පුද්ගලයාට ප්‍රිය බැවින් ශ්‍ර‍ද්ධා චරිතයාට සුදුසු ය.

මරණානුස්සතිය, උපසමානුස්සතිය, ආහාරයෙහි ප්‍ර‍තිකූල සංඥාව, චතුර්ධාතු ව්‍යවස්ථානය යන කමටහන් සතර බුද්ධි චරිතයාට සුදුසු ය. ඒවා ගැඹුරු බැවින් බුද්ධි චරිතයාට යෝග්‍ය ය. සෙස්සන්ට වඩා යෝග්‍ය නැත.

පඨවි - ආපෝ - තේජෝ - වායෝ - ආකාශ - ආලෝක යන කසිණ සය හා ආරුප්‍ය සතර ය යන කමටහන් දශය සැම දෙනාට ම යෝග්‍ය ය.

කසිණ භාවනා කිරීමේ දී මහත් වූ කසිණ මණ්ඩලය මෝහ චරිතයාට යෝග්‍ය ය. කුඩා කසිණය වැඩීමේදී මෝහ චරිතයාගේ සිත වඩාත් මුළා විය හැකි ය. එක් වියත් සතර අඟල් පමණ වූ කුඩා කසිණ මණ්ඩලය විතර්ක චරිතයාට යෝග්‍ය ය. මහත් වූ කසිණ මණ්ඩලයෙහි භාවනා කරන කල්හි විතර්ක චරිතයාගේ සිත එහි කොටස්වලට යන බැවිනි. කසිණ භාවනාව සම්පූර්ණ මණ්ඩලය ම එකවර සිතට ගැනීම් වශයෙන් කළ යුත්තකි.

4 වන පාඩම

ඒ ඒ භාවනාව ලැබෙන/නො ලැබෙන කමටහන්

සියලු ම සමසතළිස්කර්මස්තානයන්හි ම පරිකර්ම භාවනාව ලැබේ. බුද්ධානුස්මෘති - ධර්මානුස්මෘති - සඞ්ඝානුස්මෘති - ශීලානුස්මෘති - ත්‍යාගානුස්මෘති - දේවතානුස්මෘති - උපසමානුස්මෘති - මරණානුස්මෘති - ආහාරයෙහි ප්‍ර‍තිකූල සංඥා - චතුර්ධාතු ව්‍යවස්ථාන යන කමහටන් දසයෙහි උපචාර භාවනාව පමණක් සිද්ධ වේ. අර්පණා භාවනාව සිදු නො වේ. අර්පණා භාවනාව සිදු නො වීමය යි කියනුයේ ඒ භාවනා දශයෙන් ධ්‍යාන නො ලැබිය හැකි බව ය. ධ්‍යාන ලැබිය හැක්කේ පහසුවෙන් සිත පිහිටුවා ගත හැකි ප්‍ර‍කට කර ගත හැකි අරමුණකින් ය. බුද්ධ ගුණාදිය ගැඹුරු බැවින් ද, බොහෝ බැවින් ද, ඒවා සිතට හොඳින් හසු කර ගෙන ඒවායේ නිශ්චල කොට සිත පිහිටුවීමට දුෂ්කරය. එබැවින් කියන ලද කමටහන් දශයෙන් උපචාර සමාධිය මිස, රූපාවචරාරූපාවචර ධ්‍යාන නූපදවිය හැකිය. ධ්‍යාන ඉපදවිය හැක්කේ ඉතිරි කමටහන් තිසෙන් පමණෙකි.

ධ්‍යාන ඉපදවිය හැකි කමටහන් සියල්ලෙන් ම ධ්‍යාන සියල්ල ම උපදවන්නටත් නො පිළිවන. ඒ ඒ කමටහන්වලින් ඉපද විය හැකි ධ්‍යාන මතු දැක්වෙන පරිදි දත යුතු ය.

කසිණ දශය ය, ආනාපානය යන මේ කමටහන් එකොළොසින් ධ්‍යාන පස ම ඉපදවිය හැකි ය.

අශුභ දශය ය, කායගතාසතිය යන කමටහන් එකොළොසෙන් ඉපද විය හැක්කේ ප්‍ර‍ථම ධ්‍යානය පමණෙකි. ඒවායින් ප්‍ර‍ථම ධ්‍යානය උපදවා ගත් යෝගාවචරයා විසින් ද්විතීය ධ්‍යානාදිය ඉපදවීමට අනික් කමටහනක් වැඩිය යුතු ය. මළ සිරුරුවල හා කෙස් ලොම් ආදි කුණප කොටස්වල ද; සිහි කරන තැනැත්තාගේ සිත ඒවායින් ඈත් කරන ස්වභාවයක් මිස සිත් ඇදගන්නා ස්වභාවයක් ඇත්තේ ම නැත. සිතට පිළිකුලක් ඇති කරන ස්වභාවය මිස සතුටක් ඇති කර තමා කරා ඇදගන්නා ස්වභාවය මඳකුදු නැති ප්‍ර‍තිකූලාරම්මණයන්හි සිත පිහිට වන්නේ විතර්කයේ බලයෙනි. ද්විතීයාදි ධ්‍යානවල අරමුණ කරා සිත ගෙන යන විතර්කය නැත. එබැවින් අශුභාරම්මණයන්හි විතර්කය නැති ධ්‍යානයෝ නූපදිති.

මෛත්‍රී - කරුණා - මුදිතා යන කමටහන් තුනෙන් ප්‍ර‍ථම ද්විතීය තෘතීය චතුර්ථධ්‍යාන සතර ඉපදවිය හැකි ය. පඤ්චමධ්‍යානය ඒවායින් නො ලැබිය හැකිය. මෛත්‍රිය වනාහි දොම්නසින් හටගන්නා වූ ව්‍යාපාදයට විරුද්ධ ධර්මයෙකි. කරුණාව දොම්නසින් හට ගන්නා වූ හිංසාවට විරුද්ධ ධර්මයෙකි. මුදිතාව දොම්නසින් හට ගන්නා වූ අරති නම් වූ නො සතුට ට විරුද්ධ ධර්මයෙකි. එබැවින් මෛත්‍රී කරුණා මුදිතාවන් බලවත් ව ඇති වීමට සෝමනස්ස තිබිය යුතු ය. ප්‍ර‍ථමාදි ධ්‍යාන සතර සෝමනස්ස සහගත වන බැවින් මෛත්‍රී ආදි තුනෙන් ඒ ධ්‍යාන ඉපදවිය හැකි ය. පඤ්චම ධ්‍යානය උපේක්ෂා සහගත වන බැවින් මෛත්‍රී ආදි තුනෙන් එය නො ඉපද විය හැකි ය.

උපේක්ෂා කර්මස්ථානයෙන් පඤ්චම ධ්‍යානය පමණක් ඉපදවිය හැකි ය. උපේක්ෂා භාවනාව වනාහි සත්ත්වයන් කෙරෙහි මධ්‍යස්ථතාවෙන් කළ යුත්තක් වන බැවින් එයින් උපේක්ෂා සහගත ධ්‍යානයක් ම මිස සෝමනස්ස සහගත ධ්‍යානයක් නො ඉපද විය හැකි ය.

කසිණුග්ඝාටිමාකාසාදි අරූපාවචරාරම්මණ සතර අරූපධ්‍යාන උපදවන කර්මස්ථානයෝ ය.

භාවනා නිමිති

නිමිති අතුරෙන් පරිකර්ම නිමිත්ත හා උද්ග්‍ර‍හ නිමිත්ත සියලු ම කර්මස්ථානවලින් සුදුසු පරිදි ලැබෙන්නේ ය. ප්‍ර‍තිභාග නිමිත්ත වනාහි කසිණ දශය ය, අශුභ දශය ය, කේශාදි කොට්ඨාස භාවනාව ය, ආනාපාන භාවනා ය යන කමටහන් දෙ විස්සෙන් පමණක් ලැබේ. උපචාර අර්පණා සමාධීහු ප්‍ර‍තිභාග නිමිත්ත අරමුණු කොට ඇති වන්නාහ.