7 වන පාඩම
ප්‍රථම ධ්‍යානය ලැබූ යෝගාවචරයා විසින් ද්විතීය ධ්‍යානය ලැබිය හැකි වීම පිණිස ප්‍රථම ධ්‍යානයෙහි ආවර්ජන වශීතාය, සමාපජ්ජන වශීතාය, අධිෂ්ඨාන වශීතාය, ව්‍යුස්ථාන වශීතාය, ප්‍රත්‍යවේක්ෂා වශීතාය යන පඤ්චප්‍රකාර වශීභාවය ඇති කර ගත යුතු ය. ප්‍රථම ධ්‍යානයේ අඞ්ගයන් කල් නො යවා එකින් එක ඉතා ඉක්මනින් මෙනෙහි කිරීමේ ශක්තිය ආවර්ජන වශීතාව ය. ධ්‍යානයට සමවදිනු කැමති වූ විට කල් ගත නො වී වහා සමවැදිය හැකි ශක්තිය සමාපජ්ජන වශීතා නමි. සමවැදුණු ධ්‍යානය තත්පරයක් දෙකක් තරම සුළු කාලයක් වුව ද පවත්වන්නට සමත් බව අධිෂ්ඨාන වශීතා නමි. ඉටාගත් වෙලාව ඉක්ම යා නො දී වෙලාවට ම ධ්‍යානයෙන් නැගිටීමට සමත් බව ව්‍යුස්ථාන වශීතා නම් වේ. එක් එක් වීථියක කාමාවචර ජවනය සත් වරක් ම ඇති වීම සාමාන්‍ය ස්වභාවය ය. විතර්කාදිය මෙනෙහි කිරීමේ දී ප්‍රත්‍යවේක්ෂා වීථිවල ජවන් සතක් ද ඇති නො වන පරිදි ඉතා වේගයෙන් ධ්‍යානාඞ්ග ප්‍රත්‍යවේක්ෂා කිරීමේ සමත් බව ප්‍රත්‍යවේක්ෂා වශීතා නමි.
මෙසේ ප්‍රථම ධ්‍යානයෙහි වශීභාවය ඇති කර ගත් යෝගාවචරයාහට ප්‍රථම ධ්‍යානයේ අඞ්ගයක් වන විතර්කය ඖදාරික දෙයක් සැටියට ද, එය නැතිව ධ්‍යානය ඇති කර ගැනීම හොඳ සැටියට ද වැටහේ. ඔහු විතර්කයෙන් තොර වූ ධ්‍යානයක් ලබනු රිසියෙන් නැවතත් ‘පඨවි, පඨවි’ කියා කසිණ ප්‍රතිභාග මෙනෙහි කරන්නට පටන් ගන්නේ ය. ඔහුගේ ඒ භාවනාව විතර්කය නමැති ඖදාරික ධ්‍යානාඞ්ගය දුරු කිරීමට කරන්නක් බැවින් විතර්ක විරාග භාවනා නම් වේ. ඒ විතර්ක විරාග භාවනාවේ බලයෙන් ඔහුට යම් කිසි අවස්ථාවක දී ඒ පඨවි කසිණ නිමිත්තෙහි විචාර ප්‍රීති - සුඛ - ඒකාග්‍රතා යන චතුරඞ්ගයෙන් යුක්ත වන ද්විතීය ධ්‍යාන චිත්තය උපදනේ ය.
ද්විතීය ධ්‍යානයෙහි වශීභාවය ඇති කර ගත් යෝගාවචරයාහට විචාරය ඖදාරිකාඞ්ගයක් වශයෙන් පෙනෙන්නට වන්නේ ය. තෘතීය ධ්‍යානය ලබා වශී භාවය ඇති කර ගත් යෝගාවචරයාහට ප්‍රීතිය ඖදාරිකාඞ්ගයක් වශයෙන් ද, චතුර්ථ ධ්‍යානය ලබාගත් යෝගාවචරයා හට සුඛය ඖදාරිකාංගයක් වශයෙන් ද පෙනෙන්නට වේ. ඖදාරිකාඞ්ගය ඉක්මවීමේ අදහසින් පඨවි කසිණ නිමිත්තෙහි පරිකර්ම කිරීමෙන් ක්‍රමයෙන් තෘතීය චතුර්ථ පඤ්චම ධ්‍යානයෝ ද උපදනාහ. ආපෝ කසිණාදි ඉතිරි කසිණ නවයෙන් ධ්‍යාන ඉපදවීම කරන්නේ ද කියන ලද ක්‍රමයෙන් ම ය.
අරූප ධ්‍යාන
එක් කසිණයකින් ධ්‍යාන ලබා ගත් යෝගාවචරයාට කසිණ මණ්ඩල සාදා භාවනා කිරීමක් නො කොට ඒ ඒ කසිණයන් සිතීමෙන් ම නිමිත්ත උපදවා තමාගේ ධ්‍යානය කැමති කසිණයකට පමුණුවා ගත හැකිය. එසේ ම කසිණ නිමිති ද වුවමනා තරමට සිතින් ම මහත් කර ගත හැකි ය. අරූපධ්‍යාන උපදවන්නේ කසිණ නිමිතිවලින් උපුටා ගන්නා ආකාශ නිමිත්තෙහි පරිකර්ම කිරීමෙනි. ආකාශය උපුටා ගත හැකි වන්නේ ආකාශ කසිණය හැර අනික් කසිණ නවයෙනි. ආකාශ කසිණ නිමිත්තෙන් තවත් ආකාශයක් නො ලැබිය හැකි ය.
අරූපධ්‍යාන උපදවනු කැමති යෝගාවචරයා විසින් පළමු කොට රූපාවචර පඤ්චම ධ්‍යානයෙහි පඤ්චප්‍රකාර වශීභාවය ඇති කර ගත යුතු ය. ඉක්බිති ආකාශකසිණය හැර අන් කසිණයක පඤ්චම ධ්‍යානයට සමවැදී ඉන් නැගිට ධ්‍යාන චිත්තයට අරමුණු වූ කසිණ නිමිත්ත පැතිර විය යුතු ය. පැතිර වීම යයි කියනුයේ කසිණ නිමිත්ත මහත් කිරීම ය. යෝගාවචරයා සිතන සිතන සැටියට ඔහුට කසිණ නිමිත්ත මහත් වී පෙනෙන්නට වන්නේ ය. ඉක්බිති ඒ මහත් කර ගත් කසිණ නිමිත්ත පඨවි කසිණ නිමිත්ත නම් එය පඨවියක් වශයෙන් නො සිතා: ‘ආකාශය - ආකාශය’ කියා හෝ අනන්තාකාශය - අනන්තාකාශය’ කියා හෝ සිතිය යුතු ය. එසේ භාවනා කරන කල්හි රූප කසිණ නිමිත්ත නො පෙනී ගොස් ඒ කසිණ නිමිත්ත පෙනුණු පෙදෙසෙහි ආකාශය පෙනෙන්නට වන්නේ ය. කසිණයෙන් ගන්නා ලද්දක් වන බැවින් ඒ පෙනෙන ආකාශයට ‘කසිණුග්ඝාටිමාකාසය’ යි කියනු ලැබේ. එහි තේරුම කසිණයෙන් උපුටා ගත් අහසය යනුයි. කසිණුග්ඝාටිමාකාසයෙහි සිත පිහිටවා ගෙන අනන්තාකාශය කියා භාවනාවෙහි යෙදෙන යෝගාවචරයා හට යම් කිසි අවස්ථාවක දී ඒ ආරම්මණයෙහි ප්‍රථම අරූපධ්‍යාන චිත්තය වන ආකාසානඤ්චායතන ධ්‍යාන චිත්තය ඇති වන්නේ ය.
ආකාසානඤ්චායතන ධ්‍යානය ප්‍රගුණ කරගත් යෝගාවචරයා වැඩිදුරටත් රූපයෙන් ඈත්වීම පිණිස ආකාසාරම්මණය හැර දමා ආකාශය අරමුණු කොට පැවති ආකාසානඤ්චායතන චිත්තය ගෙන එය අරමුණු කරමින් “විඤ්ඤාණය අනන්තය, විඤ්ඤාණය අනන්තය” කියා භාවනා කරන්නට වන්නේ ය. එසේ කරන යෝගාවචරයා හට යම්කිසි අවස්ථාවක දී ප්‍රථමාරූප විඤ්ඤාණය අරමුණු කොට දෙවන අරූපධ්‍යාන චිත්තය වන විඤ්ඤාණඤ්චායතන චිත්තය උපදනේ ය.
විඤ්ඤාණඤ්චායතන ධ්‍යානය උපදවා ගත් යෝගාවචරයාහට ප්‍රථම අරූපාවචර චිත්තයේ නැති බව අරමුණු කොට “නත්ථි කිඤ්චි - නත්ථි කිඤ්චි” යි භාවනා කිරීමෙන් ආකිඤ්චඤ්ඤායතන ධ්‍යාන චිත්තය උපදනේ ය.
ආකිඤ්චඤ්ඤායතන ධ්‍යාන උපදවා ගත් යෝගාවචරයාහට තුන්වන අරූපධ්‍යාන චිත්තය වූ ආකිඤ්චඤ්ඤායතන චිත්තය අරමුණු කොට “සන්තමේතං පණිතමේතං” යනුවෙන් මෙය ම ශාන්තය මෙය ම ප්‍රණීතය යි භාවනා කිරීමෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතන ධ්‍යාන චිත්තය උපදනේ ය.