1. කර්මස්ථාන සංග්‍ර‍හය

ඉහත පරිච්ඡේද, අටෙහි දැක්වුණු ප්‍ර‍ත්‍යය සහිත නාම - රූප විභාගය උගෙනීමෙන් දැන ගැනීමෙන් ලැබිය යුතු උසස් ඵලය නම්, ඒ දැනීම පිහිට කර ගෙන භාවනාවෙහි යෙදී සකල දුඃඛයට හේතු වන අවිද්‍යා තෘෂ්ණා ප්‍ර‍ධාන ක්ලේශ සමූහය දුරු කොට, ස්වසන්තානය පිරිසිදු කරගෙන, ලෝකෝත්තර නිර්වාණ ධාතුව පසක් කර ගැනීම ය. අතිශයින් ගැඹුරු වූ පරමාර්ථ ධර්මයන්ගේ සැබෑ තත්ත්වය පොත උගෙනීමෙන් පමණක් නො දත හැකි ය. උපක්‍ර‍මයෙන් දියුණු නොකළ සාමාන්‍ය ඥානය ඒ ධර්මයන්ගේ තතු හරියට සොයා ගැනීමට දැක ගැනීමට ප්‍ර‍මාණ නො වේ. ඒ ධර්මයන් හරියට තේරුම් ගත හැකි වීමට භාවනාවෙහි යෙදීමෙන් දියුණු කළ සමාධියක් හා ඥානයක් වුවමනා ය. එබැවින් උගෙනීමෙන් ලැබූ ධර්ම ඥානය පිරිසිදු කර ගත හැකි වීමටත් භාවනාවෙහි යෙදීම කළ යුතු ය. ධර්ම ඥානය දියුණු කර ගත හැකිවීමටත් නිවන් පසක් කර ගත හැකි වීමටත් මේ පරිච්ඡේදයේ දැක්වෙන යම්කිසි භාවනාවක් පුරුදු කළ යුතු ය.

කර්මස්ථාන

යෝගාවචරයන් විසින් තමන් කරන යෝග කර්මයට අරමුණ වශයෙන් ගන්නා වූ කසිණාදි ප්‍ර‍ඥප්ති හා නාම - රූප ධර්ම කර්මස්ථාන නම් වේ. කර්මස්ථාන යන වචනයේ තේරුම: ‘යෝග කර්මයට ස්ථාන වන දෙය ය’ යනු යි. පළමු පළමු පවත්වන යෝග ක්‍රියාව හෙවත් භාවනාව ද, මතු මතුයෙහි කරන භාවනාවට අත්තිවාරම වන බැවින් කර්මස්ථාන නම් වේ. ශමථ කර්මස්ථානය - විදර්ශනා කර්මස්ථානය කියා කර්මස්ථාන දෙවර්ගයෙකි.

රාගාදි ක්ලේශයන් හා විතර්කාදි ඇතැම් ඖදාරික චිත්තාඞ්ගයන් සන්සිඳවන ඒකාග්‍ර‍තාව ශමථ නම් වේ. සමාධි යනු ද එයට ම නමෙකි. සමාධි භාවනාවට ස්ථාන වන කසිණාදි ප්‍ර‍ඥප්ති සමථ කර්මස්ථාන නමි. ඒවා අරමුණු කොට කරන භාවනාව ද ශමථ කර්මස්ථාන නම් වේ. ශමථ කර්මස්ථානයෙන් ලැබිය හැකි උසස් දෙය ධ්‍යානාභිඥා හා සුගතියෙහි ඉපදීම ය. ඒ සමාධිය විදර්ශනාවට ද උපකාර ය.

සාමාන්‍ය ජනයා විසින් සත්ත්වයන් පුද්ගලයන් ස්ත්‍රී පුරුෂයන් සැටියට දක්නා වූ ද, නිත්‍ය දෙයක් හොඳ දෙයක් සැටියට දක්නා වූ ද පඤ්චස්කන්ධය නාම-රූප ධර්ම රාශියක් සැටියට ද, අනිත්‍ය දෙයක් නො මනා දෙයක් සැටියට ද විශේෂයෙන් දක්නා වූ, පඤ්චස්කන්ධය ඇති සැටියට ම දක්නා වූ ඥානය ‘විදර්ශනා’ නම් වේ. විදර්ශනාව අරමුණු වශයෙන් ගන්නා වූ නාම-රූප ධර්ම හා විදර්ශනා භාවනාවන් විදර්ශනා කර්මස්ථාන නම් වේ. ලෝකෝත්තර මාර්ගඵල ලබාදී සත්ත්වයා නිවනට පමුණුවන්නේ විදර්ශනා කර්මස්ථානයෙනි.

ශමථ කර්මස්ථාන සතළිස.

කසිණ දශය ය, අශුභ දශය ය, අනුස්මෘති දශය ය, අප්‍ර‍මාණ්‍ය සතර ය, එක් සංඥාවක් ය, එක් ව්‍යවස්ථානයක් ය, ආරුප්‍ය සතර ය කියා ශමථ කර්මස්ථාන සතළිසකි.

කසිණ දශය

පඨවි කසිණය, ආපෝ කසිණය, තේජෝ කසිණය, වායෝ කසිණය, නීල කසිණය, පීත කසිණය, ලෝහිත කසිණය ඕදාත කසිණය, ආකාස කසිණය, ආලෝක කසිණය කියා කසිණ දශයෙකි.

යෝගාවචරයන් විසින් පිහිටවා ගැනීම සඳහා ගන්නා වූ, මැටියෙන් කළ මණ්ඩලය ‘පඨවි කසිණ, නම් වේ. සෑම කසිණයක් ම කුඩා කොට ගන්නා කල්හි එක් වියත් සතර අඟලක් පමණ විය යුතු ය. මහත් කොට ගන්නා කල්හි කුඩයක් පමණට කමත් පමණට කසිණය ගැන්මට ද වටනේ ය. පඨවි කසිණය සඳහා ගත යුත්තේ තරමකට රතු පස් ය. තද රතු පස හෝ අන් පැහැයක පස හෝ කසිණය තැනීමට නො ගත යුතු ය. බිම ම හෝ ලෑලි ආදි යම් කිසිවක හෝ මැටි ගා එය තනා ගැනීම සුදුසු ය. මැටි හොඳින් අනාගෙන කඩතොලු නැති සැටියට මට්ටමට එය සාදා ගත යුතු ය. පඨවි මණ්ඩලාදියට කසිණ යයි කියනුයේ, භාවනා කිරීමේ දී සැම තැන ම අරමුණු කොට භාවනා කළ යුතු නිසා ය.

මණ්ඩලාකාරයෙන් පිහිටි ජලය ‘අපෝ කසිණය’ ය. යම් කිසි අමුතු පැහැයක් ඇති ජලය ආපෝ කසිණයට නො ගත යුතු ය. පාත්‍රාදි වට වූ මුව ඇති බඳුනකට පිරිසිදු ජලය පුරවා ගෙන ආපෝ කසිණ භාවනාව කළ හැකිය.

මණ්ඩලාකාරයෙන් පෙනෙන ගින්න ‘තේජෝ කසිණය’ ය. හොඳ දරවලින් ගිනි ගොඩක් පිළියෙළ කොට එක් වියත් සතරඟුල් පමණ කවාකාර සිදුරක් ඇති තහඩුවක් ඒ ගින්න සමීපයේ තබා ඒ සිදුරෙන් පෙනෙන ගින්න අරමුණු කොට තේජෝ කසිණ භාවනාව කළ හැකි ය.

වාතය සැපෙන යම් කිසිවක් අනුව තමාගේ සිතින් සලකා ගන්නා සුළං වැටිය ‘වායෝ කසිණය’ ය. වායුව සැපී සෙලවෙනු පෙනෙන යම් කිසිවක් අනුව, තමාගේ සිතින් ම වායුධාරාවක් ඇති සැටියට සලකා ගැනීමෙන් හෝ යම් කිසි සිදුරකින් අවුත් තමාගේ ශරීරයේ සැපෙන වායුව සිහි කිරීමෙන් හෝ වායෝ කසිණ භාවනාව කළ හැකිය.

නිල් පැහැය ඇති මණ්ඩලය ‘නීල කසිණය’ ය. කහ පැහැය ඇති මණ්ඩලය ‘පීත කසිණය’ ය. රතුපැහැය ඇති මණ්ඩලය ‘ලෝහිත කසිණය’ ය. සුදු පැහැය ඇති මණ්ඩලය ‘ඕදාත කසිණය’ ය. ඒ ඒ පැහැය ඇති සායම් යම් කිසිවක ආලේප කොට වර්ණ කසිණ සාදා ගත හැකි ය. පාට කරදාසිවලින් හා රෙදිවලින් ද ඒවා සාදා ගත හැකි ය. එක් වියත් සතරඟලක් පමණට ඝන කරදාසියක සිදුරක් කපා ගෙන තමාට වුවමනා පැහැය ඇති කරදාසියක් එයට යටින් තබා ගැනීම ඉතා පහසුවෙන් වර්ණ කසිණ සාදා ගැනීමේ ක්‍ර‍මය ය.

ආකාස මණ්ඩලය ‘ආකාස කසිණය’ ය. යම් කිසිවක එක් වියත් සතර අඟලකට සිදුරක් සාදා ඒ සිදුර තුළ ආකාශය මෙනෙහි කිරීම් වශයෙන් ආකාස කසිණ භාවනාව කළ හැකි ය.

ආලෝක මණ්ඩලය ‘ආලෝක කසිණය’ ය. බිමට හෝ බිත්ති ආදි යම් කිසි තැනකට හෝ එක් වියත් සතරඟුල් පමණට ආලෝකයක් වැටෙන්නට සාදා ගෙන ඒ ආලෝකය බලාගෙන ආලෝක කසිණ භාවනාව කළ හැකි ය. ටින් එකක සිදුරක් කොට එහි පහනක් දල්වා සිදුරෙන් ආලෝකය යම්කිසි තැනකට වැටෙන්නට සලස්සා ආලෝක කසිණය සාදා ගත හැකි ය. මැටි බඳුනකින් ද එය සාදා ගත හැකිය. විදුලි බලය ඇති තැන්වල ඉතා පහසුවෙන් ආලෝක කසිණය සාදා ගත හැකිය.

2 වන පාඩම

අශුභ දශය

උද්ධුමාතකය, විනීලකය, විපුබ්බකය, විච්ඡිද්දකය, වික්ඛායිතකය, වික්ඛිත්තක ය, හතවික්ඛිත්තකය, ලෝහිතකය, පුලවකය, අට්ඨිකය කියා අශුභ දශයෙකි.

ඉදිමී ගිය මළ සිරුර උද්ධුමාතක නමි. ඉදිමී නිල් වූ මළ සිරුර විනීලක නමි. පැසවා ඒ ඒ තැනින් සැරව ගලන මළ සිරුර විපුබ්බක නමි. යුද්ධ භූමි ආදියෙහි දෙකට කපා දමා ඇති මළ සිරුර විච්ඡිද්දක නමි. බලු සිවල් ආදීන් විසින් තැනින් තැනින් කා දමන ලද මළ සිරුර වික්ඛායිතක නමි. බලු සිවල් ආදීන් විසින් කැබලි කොට ඒ ඒ තැනට කැබලි ඇද දමා ඇති මළ සිරුර වික්ඛිත්තක නමි. මුළු සිරුර ම කාකපාදාකාරයෙන් තුවාල කොට පසු ව කඩ කඩ කොට විසුරුවා දමා ඇති මළ සිරුර හතවික්ඛිත්තක නමි. ලේ ගලන මළ සිරුර ලෝහිතක නමි. පණුවන් ගැවසුණු මළ සිරුර පුලවක නමි. ලේමස් නැති ඇට සමූහය අට්ඨික නම්.

අනුස්මෘති දශය

බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සඞ්ගානුස්සතිය, සීලානුස්සතිය, චාගානුස්සතිය, දේවතානුස්සතිය, උපසමානුස්සතිය, මරණානුස්සතිය, කායගතාසතිය, ආනාපානසතිය කියා අනුස්මෘති කර්මස්ථාන දශයෙකි.

  1. අර්හත්වාදි බුද්ධ ගුණයන් සිහි කිරීම බුද්ධානුස්සති කර්මස්ථානය ය.
  2. ස්වඛ්‍යාතතාදි ධර්ම ගුණයන් සිහි කිරීම ධම්මානුස්සති නමි.
  3. සුප්‍ර‍තිපන්නතාදි සඞ්ග ගුණයන් සිහි කිරීම සඞ්ඝානුස්සති නමි.
  4. තමාගේ ශීල ගුණය සිහි කිරීම සීලානුස්සති නමි.
  5. තමාගේ ත්‍යාග ගුණය සිහි කිරීම චාගානුස්සති නමි.
  6. දේවත්වයට පමුණුවන තමාගේ ශ්‍ර‍ද්ධාදි ගුණ දෙවියන් සාක්ෂ්‍යස්ථානයෙහි තබා සිහි කිරීම දේවතානුස්සති නමි.
  7. සකල දුඃඛයන්ගේ ම සන්සිඳීම වූ නිර්වාණයේ ගුණ සිහි කිරීම උපසමානුස්සති නමි.
  8. මරණය සිහි කිරීම මරණානුස්සති නමි.
  9. කේසාදි ශාරීරික කොට්ඨාසයන් සිහි කිරීම කායගතාසති නමි.
  10. ආශ්වාස ප්‍ර‍ශ්වාස වායුව සිහි කිරීම ආනාපානසති නමි.

මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව යන මේ සතර අප්‍ර‍මාණ්‍යයෝ ය. බ්‍ර‍හ්මවිහාර යනු ද ඒවාට නමෙකි.

එක් සංඥාවක්ය යනු ආහාරයෙහි ප්‍ර‍තික්කූල සංඥාව ය. ආහාරයේ පිළිකුල් බව අනේකාකාරයෙන් සිහි කිරීම ය.

එක් ව්‍යවස්ථානයක් ය යනු ශරීරයෙහි වූ පෘථිවි ආපෝ තේජෝ වායෝ යන ධාතු සතර ලක්ෂණාදි වශයෙන් වෙන වෙන ම බැලීම ය. එයට “චතුර්ධාතු ව්‍යවස්ථානය” යි කියනු ලැබේ.

ආරුප්‍ය සතරය යනු ආකාසානඤ්චායතනාදි අරූප ධ්‍යාන සතරට අරමුණු වන කසිණයෙන් උපුටා ගත් ආකාශ ප්‍ර‍ඥප්තිය ආදි අරමුණු සතර ය.

මෙතෙකින් කර්මස්ථාන සතළිස කොටින් දක්වන ලද්දේ ය.

භාවනා තුන

පරිකර්ම භාවනාව - උපචාර භාවනාව - අර්පණා භාවනාව ය කියා භාවනා තුනෙකි.

කසිණාදි ආරම්මණයක සිත පිහිටුවා ගෙන එය ම නැවත නැවත මෙනෙහි කිරීම් වශයෙන් ඇසට පෙනෙන්නාක් මෙන් ඒ අරමුණ සිතට පෙනෙන පරිදි පුරුදු කරන්නා වූ යෝගාවචරයාගේ ඒ භාවනාව පරිකර්ම භාවනා නමි.

භාවනාරම්මණය සිතට ගෙන කාමච්ඡන්දාදි නීවරණයන් යටපත් කර ගත් තැන් පටන් අර්පණාචිත්තය ඇති වීමට ළං වන තුරු භාවනාව උපචාර භාවනා නමි.

මහග්ගත ලෝකෝත්තර භාවයට පැමිණි භාවනාව අර්පණා භාවනා නම් වේ.

අරමුණට පිවිසෙන්නාක් මෙන් පවත්නා බැවින් විතර්කය අර්පණා නම් වේ. එය ප්‍ර‍ධාන කොට පවත්නා බැවින් සියලු ම මහද්ගත ලෝකෝත්තර ධ්‍යාන ධර්මයන්ට ඒ නම ව්‍යවහාර කරනු ලැබේ.

නිමිති තුන

පරිකර්ම නිමිත්තය, උද්ග්‍ර‍හ නිමිත්තය, ප්‍ර‍තිභාග නිමිත්තය කියා නිමිති තුනෙකි. පළමුවෙන් ම භාවනාව පටන් ගෙන පෘථිවි මණ්ඩලාදියෙහි නිමිත්ත, සිතට ගන්නා වූ යෝගාවචරයා ගේ ඒ භාවනා නිමිත්ත පරිකර්ම නිමිත්ත නම් වේ. ඇසට පෙනෙන්නාක් මෙන් සිතට පෙනෙන්නට පටන් ගත් භාවනා නිමිත්ත උද්ග්‍ර‍හ නිමිත්ත නම් වේ. උද්ග්‍ර‍හ නිමිත්ත සිහි කරමින් ඉන්නා කල්හි නීවරණයන් වැඩි දුරටත් දුරු වී යෑමෙන් සිත පිරිසිදු වී, භාවනා නිමිත්ත සකල දෝෂයන් ගෙන් තොරව, ඉතා පිරිසිදු වී සිතට පෙනෙන්නට වන්නේ ය. ඉතා පිරිසිදු වූ ඒ භාවනා නිමිත්ත ප්‍ර‍තිභාව නිමිත්ත නම් වේ.