ප්‍ර‍තිපද් ඥාන දර්ශන විශුද්ධිය

star_outline

16 වන පාඩම

සම්මර්ශන ඥානය, උදයව්‍යය ඥානය, භඞ්ගානුදර්ශන ඥානය, භයතුපට්ඨාන ඥානය, ආදීනවානුදර්ශන ඥානය, නිර්විදානුදර්ශන ඥානය, මුඤ්චිතුකම්‍යතා ඥානය, පටිසඞ්ඛානුපස්සනා ඥානය, සංස්කාරෝපේක්ෂා ඥානය, අනුලෝම ඥානය කියා විදර්ශනාඥාන දසයක් ඇත්තේ ය.

සම්මර්ශන ඥානය

නාමරූප ධර්මයන්ගේ අනිත්‍යාදි ලක්ෂන තුන දැන ගන්නා වූ ඥානය සම්මර්ශන ඥාන නම් වේ. එය මාර්ගාමාර්ගඥාන දර්ශන විශුද්ධිය ඇති කර ගෙන සිටින යෝගාවචරයා විසින් දැනට ලබා ගෙන ඇත්තේ ය. ඔහුට ඉදිරියට ඇත්තේ උදයව්‍යය ඥානාදි ඥාන නවය ඇති කර ගැනීමට භාවනා කිරීම ය. මාර්ගාමාර්ගඥාන දර්ශනවිශුද්ධිය ඇති කර ගත් තැනැත්තා හට ඉදිරියට විදර්ශනා කිරීමේ දී ඇති වන උදයව්‍යය ඥානයේ පටන් අනුලෝම ඥානය දක්වා ඇති විදර්ශනා ඥාන නවය ප්‍ර‍තිපද් ඤාණ දර්ශන විශුද්ධිය ය.

උදයව්‍යය ඥානය

කලින් නො තිබී අලුත් අලුත් සංස්කාරයන් උපදින සැටිත් උපනුපන් සංස්කාර සියල්ල බිඳි බිඳී යන සැටිත් දක්නා විදර්ශනා ඥානය ‘උදයව්‍යය ඥාන’ නමි.

භඞ්ගානුදර්ශන ඥානය

තමා ගේ සිතට හසුවන හසුවන සංස්කාරයන් ගේ ඉපදීම් බිඳීම් දෙක බැලීම් වශයෙන් විදර්ශනා කරන යෝගාවචරයා ගේ ඥානය දියුණු තියුණු වීමෙන් ඉතා ඉක්මනින් ඔහුගේ සිතට බොහෝ සංස්කාරයන් වැටහෙන්නට, ඒ සියල්ලෙහි ම ඉපදීම් බිඳීම් දෙක සිහි කරන්නට ඔහුට කාලයක් නැති වන්නේ ය. ඉන් පසු යෝගාවචරයා වැටහෙන සංස්කාරයන් ගේ ඉපදීම මෙනෙහි කිරීම අත හැර ඒවායේ භඞ්ගය පමණක් බලන්නට වන්නේ ය. ඔහුට වැසි වටනා අවස්ථාවෙක ජලාශයක් දෙස බලා ඉන්නා කල්හි දිය බුබුලු බිඳි බිඳී යනවා පෙනෙන්නාක් මෙන් ස්වසන්තානයෙහි සංස්කාරයන් බිඳි බිඳී යන සැටි නුවණට පෙනෙන්නට වන්නේ ය. සංස්කාරයන් ගේ බිඳීම ද දක්නා වූ ඒ ඥානය ‘භඞ්ගානුදර්ශන ඥාන’ නම් වේ.

භයතුපට්ඨාන ඥානය

කාම-රූප-අරූප සඞ්ඛ්‍යාත භවත්‍රයෙහි සැම තැන ම කබලක අබ පුපුරන්නාක් මෙන් සංස්කාරයන් බිඳි බිඳී යනු දක්නා යෝගාවචරයා හට බිඳි බිඳී යන සංස්කාර සමූහය බිය විය යුත්තක් හැටියට පෙනෙන්නට වන්නේ ය. සංස්කාරයන් භයානක සැටියට දක්නා ඒ විදර්ශනා ඥානය ‘භයතුපට්ඨාන ඥානය’ නම් වේ.

ආදීනවානුදර්ශන ඥානය

සංස්කාරයන් ගේ බිඳීම කාහටවත් කවර උපායකින්වත් නො නැවැත්විය හැකි ය. ඒවාට කිසිම පිහිටක් නැත. අසරණය. සංස්කාරයන් ගේ ඒ අසරණ බව දක්නා විදර්ශනා ඥානය ‘ආදීනවානුදර්ශන ඥානය’ ය.

නිර්විදානුදර්ශන ඥානය

අතීතයෙහි යෝගාවචරයා විසින් මම ය මගේ ය කියා ඇලුම් කරමින් සිටි සංස්කාර ධර්ම සමූහය අසරණ බව පෙනීමෙන් යෝගාවචරයා ඒවා ගැන කලකිරීමක් ඇති වන්නේය. සංස්කාර රාශිය යෝගාවචරයාට එපා වන්නේ ය. සංස්කාරයන් කෙරෙහි කලකිරුණු ස්වභාවයෙන් යුක්ත වන විදර්ශනා ඥානය ‘නිර්විදානුදර්ශන ඥානය’ නම් වේ.

මුඤ්චිතුකම්‍යතා ඥානය

කලකිරුණා වූ ඒ සංස්කාරයන් කෙරෙන් මිදීමේ අදහස සහිත වූ විදර්ශනා ඥානය ‘මුඤ්චිතුකම්‍යතා ඥාන’ නම් වේ.

පටිසඞ්ඛානුපස්සනා ඥානය

සංස්කාරයන් කෙරෙන් මිදෙනු කැමති යෝගාවචරයා විසින් ඒවායින් මිදීමේ උපායයක් වශයෙන් සංස්කාරයන් අනේකාකාරයෙන් විස්තර වශයෙන් විදර්ශනා කරන්නා වූ පෘථුල විදර්ශනා ඥානය “පටිසඞ්ඛානු පස්සනා ඥාන” නම් වේ.

සංස්කාරෝපේක්ෂා ඥානය

පටිසඞ්ඛානුපස්සනා ඥානයෙන් සංස්කාරයන්ගේ මහා ආදීනව රාශිය දැක, දැන් ‘දුකින් මිදීමේ උපාය ලදිමි’ යි සතුටු ව සංස්කාරයන් විමසීම සඳහා බලවත් උත්සාහය හැර සම වූ ව්‍යායාමයෙන් පවත්වන විදර්ශනා ඥානය ‘සංස්කාරෝපේක්ෂා ඥානය’ ය. සංස්කාර විමසීමේ උත්සාහයෙන් තොර වුව ද මේ ඥානය පළමු ඥාන සියල්ලට ම වඩා බලවත් ය. අහසට ගෙ ගොස් අත්හළ ගල නිරුත්සාහයෙන් ඉතා වේගයෙන් පොළොව දෙසට එන්නාක් මෙන් මේ ඥානය ද ඉබේ ම සංස්කාරයන්ගේ අනිත්‍යාදි ලක්ෂණයන්හි ඉතා වේගයෙන් පවතී.

අනුලෝම ඥානය

සංස්කාරෝපේක්ෂා ඥානය දියුණු වී ලෝකෝත්තර මාර්ගඥානය උපදින්නට ඉතා සමීප වූ කාලයේ දී ඇතිවන උදයව්‍යය ඥානාදි විදර්ශනා ඥාන අටට හා ලෝකෝත්තර මාර්ග ඥානයට අනුකූලව පවත්නා විදර්ශනාඥානය ‘අනුලෝම ඥාන’ නම් වේ.