ඥාන දර්ශන විශුද්ධිය

කියන ලද පරිද්දෙන් භාවනාවෙහි යෙදෙන්නා වූ යෝගාවචරයා හට විදර්ශනා ඥානය දියුණු වී අර්පණා නම් වූ ලෝකෝත්තර මාර්ග චිත්තය උපදින්නට ඉතා ම ළං වූ කල්හි භවාඞ්ග චිත්ත පරම්පරාව සිඳී උපන්නා වූ මනෝද්වාරාවජ්ජන චිත්තයට අනතුරු ව, අනිත්‍යාදි ලක්ෂණත්‍රයෙන් යම් කිසිවක් අරමුණු කරමින් විදර්ශනා සිත් දෙකක් හෝ තුනක් පරිකර්ම, උපචාර, අනුලෝම යන නම්වලින් ඉපද නිරුද්ධ වන්නේ ය. වුට්ඨාන (ව්‍යුත්තාන) යනු ද ලෝකෝත්තර මාර්ග චිත්තයට ව්‍යවහාර කරන නාමයෙකි. විදර්ශනාවට අරමුණු වූ සංස්කාර නිමිත්තෙන් ද, සංයෝජනයන්ට වස්තු වන ස්වභාවයෙන් ද, නැඟී සිටින බැවින් ලෝකෝත්තර මාර්ග චිත්තය උට්ඨාන නම් වේ. එය ඇති වන පුද්ගලයා පෘථග්ජන භාවයෙන් හා සංසාරයෙන් ද නගා සිටවන බැවින් ද, මාර්ග චිත්තය වුට්ඨාන නම් වේ. පරිකර්ම, උපචාර, අනුලෝම නාමයෙන් ඇති වන විදර්ශනා චිත්තයන්ට අනතුරු ව ඥාන සම්ප්‍ර‍යුක්ත කාමාවචර කුශලයන් අතුරෙන් යම් කිසි සිතක් නිර්වාණය අරමුණු කරමින් යෝගාවචරයා ගේ පෘථග්ජන භාවය නැති කරමින් ඔහු ආර්ය භාවයට පමුණුවමින් ගෝත්‍ර‍භූ යන නාමයෙන් උපදනේ ය. එයට අනතුරු ව දුඃඛ සත්‍යය පිරිසිඳ දනිමින්, සමුදය සත්‍යය ප්‍ර‍හාණය කරමින්, නිරෝධ සත්‍යය අරමුණු කිරීම් වශයෙන් ප්‍ර‍ත්‍යක්ෂ කෙරෙමින්, මාර්ග සත්‍ය සඞ්ඛ්‍යාත ලෝකෝත්තර අෂ්ඨාඞ්ගික මාර්ගය හා සම්ප්‍ර‍යුක්ත වන සෝවාන් මාර්ග චිත්තය ජවන කෘත්‍යයෙන් එක් වරක් උපදනේ ය. එයට අනතුරු ව සෝවාන් ඵල චිත්තය දෙවරක් හෝ තුන් වරක් ඉපදීමෙන් පසු භවාඞ්ග පතනය වන්නේ ය. මෙය සිදුවීමෙන් යෝගාවචරයා පෘථග්ජන භාවය ඉක්මවා සෝවාන් පුද්ගලයාය කියනු ලබන ආර්ය පුද්ගලයා වන්නේ ය.

ඉක්බිති ඒ සෝවාන් පුද්ගලයා තමා පැමිණි මාර්ගයත්, එයින් ලැබූ ඵලයත්, තමාට ප්‍ර‍හීන ක්ලේශත්, ඉතිරි ක්ලේශත්, නිර්වාණයත් ප්‍ර‍ත්‍යවේක්ෂා කරන්නේ ය. සියලු ම ආර්‍ය්‍යයෝ එසේ ප්‍ර‍ත්‍යවේක්ෂා කරන්නාහ. අර්හත් පුද්ගලයාට ඉතිරි ක්ලේශයක් නැති බැවින් අනික් කරුණු සතර පමණක් ප්‍ර‍ත්‍යවේක්ෂා කරන්නේ ය.

සෝවාන් පුද්ගලයා ද සකෘදාගාමි මාර්ගයට ඵලයට පැමිණෙනු කැමති කල්හි පෙර සේ ම සංස්කාරයන් විදර්ශනා කරන්නේ ය. ඉහත කී පරිදි සංස්කාරෝපේක්ෂා ඥානය තියුණු වී ඇති වූ අවස්ථාවක දී අනුලෝම ගෝත්‍ර‍භූ ඥානයන් ඉපද සකෘදාගාමි මාර්ග චිත්තය හා ඵල චිත්තය උපදනේ ය. අනාගාමි අර්හත් මාර්ග ඵල උපදින්නේ ද ඒ ක්‍ර‍මයෙන් ම ය.

මෙසේ උපදනා වූ ලෝකෝත්තර මාර්ග සතරට ඥාන දර්ශන විශුද්ධිය යි කියනු ලැබේ.

(බොහෝ පොත්වල මෙතැන්හි විමෝක්ෂ භේදය දක්වා ඇතත් සාමාන්‍ය ජනයාට එයින් එතරම් ප්‍රයෝජනයක් නැති බැවින් මෙහි නො දක්වනු ලැබේ. විදර්ශනා භාවනා ක්‍ර‍මය පොතේ 6 වන පරිච්ඡේදය)