15 වන පාඩම
අවභාසය, ප්‍රීතිය, ප්‍රශ්‍රබ්ධිය, අධිමෝක්ෂය, ප්‍රග්‍රහය, සුඛය, ඥානය, ස්මෘතිය, උපේක්ෂාව, නිකාන්තිය යනඳ”ඬ’ඟ මේ දශය විදර්ශනෝපක්ලේශයෝ ය. විදර්ශනෝපක්ලේශයෝ ය යනු යෝගාවචරයා නො මඟ යවන විදර්ශනාවට බාධක කරුණු කොටසකි. විදර්ශනාව මැනවින් නො කළ යෝගාවචරයන්ට ද ඒවා ඇති නො වේ. ඒවා ඇති වීම එතෙක් විදර්ශනාව හොඳින් කැරුණු බවට ලකුණෙකි.
අවභාසය යනු විදර්ශනා බලයෙන් ම ඇති වන යෝගාවචරයාට පමණක් පෙනෙන - සෙස්සන්ට නො පෙනෙන ආලෝක විශේෂයකි. එය ඇතැම් යෝගාවචරයයනට තමන් ගේ ශරීරය පමණක් පෙනෙන සැටියට ද, ඇතැමුන්ට තමන් ඉන්නා කාමරය සැම තැනම පෙනෙන සැටියට ද, ඇතැමකුට ගවු ගණනක් - යොදුන් ගණනක් දුර පෙනෙන සැටියට ද ඇති වේ.
ප්‍රීතිය යනු විදර්ශනා ඥානය යහපත් වීම නිසා, සංස්කාරයන්ගේ උදය - ව්‍යය දෙක ඉතා හොඳින් පෙනීම නිසා හට ගන්නා බලවත් ප්‍රීතිය ය.
ප්‍රශ්‍රබ්ධිය යනු විදර්ශනාවෙන් ඇති වන කාය - චිත්ත දෙක්හි සන්සිඳීම ය. ඒ සන්සිඳීම නිසා කිසිදු අපහසුවක් නැති ව යෝගාවචරයාට කැමති තාක් කල් භාවනාවෙහි යෙදිය හැකි වේ. කාලය ගත වන බව පවා නො දැනේ.
අධිමෝක්ෂය යනු බලවත් ශ්‍රද්ධාව ය. මේ අවස්ථාවේ දී යෝගාවචරයා හට විදර්ශනා චිත්තය සමග අතිශයින් සිත ප්‍රසන්න කරන බලවත් ශ්‍රද්ධාවක් ඇති වේ.
ප්‍රග්‍රහය යනු වීර්‍ය්‍යය ය. මේ අවස්ථාවෙහි දී යෝගාවචරයා හට විදර්ශනා චිත්තය සමග ඉතා ලිහිල් නො වූ ද, ඉතා වේගවත් නො වූ ද යහපත් වීර්‍ය්‍යයක් ඇති වේ.
සුඛය යනු විදර්ශනා චිත්තය හා ඇති වන සකල ශරීරයේ ම පැතිර යන සකල ශරීරය පිනවන බලවත් සුඛයෙකි.
ඥානය යනු රූපාරූප ධර්මයන් කෙරෙහි විනිවිද යන ඉතා තියුනු විදර්ශනා ඥානය ය.
ස්මෘතිය යනු විදර්ශනා චිත්ත සම්ප්‍රයුක්ත ස්මෘති චෛතසිකය ය. මේ අවස්ථාවෙහි යෝගාවචරයා හට තමා ගේ සිත පර්වතයක් සේ නො සෙල්වී විදර්ශනා කරන සංස්කාරයන් කෙරෙහි පිහිටන බලවත් සිහියක් ඇති වේ.
උපේක්ෂාව යනු තත්‍රමධ්‍යස්ථතා උපේක්ෂාවය ආවර්ජනෝපේක්ෂාව ය යන උපේක්ෂා දෙක ය.
නිකාන්ති යනු ආලෝකාදියෙන් ප්‍රතිමන්ඩිත විදර්ශනයට ඇලුම් කරන සූක්ෂ්ම තෘෂ්ණාව ය. එය ක්ලේශයක් බව දැන ගැනීමට අපහසු වන ඉතා සියුම් ලෝභයෙකි. නියම විදර්ශනෝපක්ලේශය ඒ නිකාන්තිය ය. ආලෝකාදිය උපක්ලේශ වන්නේ නිකාන්තියට හේතු වන නිසා ය.
ආලෝකාදිය පහළ වූ කල්හි අව්‍යක්ත යෝගාවචරයා “මට මින් පෙර මෙබඳු ආලෝකයක් - මෙබඳු ප්‍රීතියක් - මෙබඳු නුවණක් කිසි කලෙක ඇති වූයේ නැත. දැන් මා හට මේ පුදුම දේවල් ඇති වන්නේ මාර්ගයට ඵලයට පැමිණ ඇති නිසා ය” කියා භාවනාව හැර දමන්නේ ය. සෝවාන් නො වීම සෝවාන් වූයෙමි යි කියා හෝ රහත් නොවීම රහත් වූයෙමි යි කියා හෝ හැසිරෙන්නේ ය. ව්‍යක්ත යෝගාවචරයා වනාහි ආලෝකාදිය ගැන සියුම් තෘෂ්ණාවක් ඇති වන බව තේරුම් ගෙන එය වැඩුණ හොත් තමා නිර්වාණ මාර්ගයෙන් පහ වී නැවතත් සංසාර මාර්ගයට වැටෙන බවත් තේරුම් ගෙන, ඒ තණ්හාව දුරු කරනු පිණිස මේ ආලෝකය අනිත්‍ය ධර්මයෙකි, බිය ඇති කරන බැවින් දුකෙකි. අසාර බැවින් අනාත්මයෙකි යනාදීන් විදර්ශනා කොට ආලෝකාදිය ගැන ඇති වන තණ්හාව දුරු කරන්නේ ය. ආලෝකාදි විදර්ශනාවට බාධක ධර්මයන් එසේ අනිත්‍යාදි වශයෙන් සලකා තෘෂ්ණාව දුරු කර ගෙන සිටින්නා වූ යෝගාවචරයා ගේ මාර්ගාමාර්ග දෙක්හි ලක්ෂණ තේරුම් ගන්නා වූ ඥානය මාර්ගාමාර්ග ඥාන දර්ශන විශුද්ධිය යි.