14 වන පාඩම
විදර්ශනා භාවනාව කරගෙන යන්නා වූ යෝගාවචරයා හට ආලෝකාදි උපක්ලේශයන් පහළ වීමෙන් මඟ වැරදිය හැකි තැන් ඇති වන්නේ ය. ඒ අවස්ථාවන්හි “නියම මාර්ගය මේ ය, අමාර්ගය මේ ය” යි මාර්ගාමාර්ග දෙක නො වරදවා දැන ගන්නා වූ ඥානය මාර්ගාමාර්ගඥාන දර්ශන විශුද්ධිය ය.
ප්‍රත්‍ය සහිත, නාම - රූපයන් පිරිසිඳ දැන ගත්තා වූ යෝගාවචරයා විසින් ඉදිරියට කළ යුත්තේ ත්‍රිලක්ෂණ භාවනාව ය.
ත්‍රිලක්ෂණය
අනිත්‍ය ලක්ෂණය, දුඃඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය කියා සංසාරයන් ගේ ලක්ෂණ තුනක් ඇත්තේය.
ඉපදීමෙන් පසු ස්ථිරව නො පවත්නා බව - බිඳී යන බව සංස්කාරයන් ගේ අනිත්‍ය ලක්ෂණය ය. අනිත්‍ය ලක්ෂණයෙන් යුක්ත වන බැවින් සංස්කාරයේ අනිත්‍යයෝ ය.
ස්ථිර නො වන ඒකාන්තයෙන් ම බිඳෙන සංස්කාර සමූහයක් මමය කියා සලකා ගෙන මාගේ ය කියා ඒවාට ඇලුම් කර ගෙන සිටින්නහුට ඒ සංස්කාරයන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ද, බිඳී යන ඒවා වෙනුවට අලුත් සංස්කාර ඇති කර ගැනීම සම්බන්ධයෙන් ද බොහෝ වෙහෙසෙන්නට සිදු වේ. සංස්කාරයන් බිඳී යාම ගැන ඔහුට නිතර බියක් ද ඇති වේ. බියක් වෙහෙසක් ඇති කර දීම සංස්කාරයන් ගේ ස්වභාවය ය. එය සංස්කාරයන් ගේ දුඃඛ ලක්ෂණය ය. දුඃඛ ලක්ෂණයෙන් යුක්ත වන බැවින් සංස්කාරයේ දුඃඛයෝ ය.
ආත්මයක්ය කියා සලකත හොත් සැලකිය යුත්තේ ස්ථිර සාර දෙයක්ය. දිර දිරා බිඳි බිඳී යන සංස්කාරයන්හි ඒ ස්ථිර සාර ස්වභාවය නැත. ඒවායේ ඇත්තේ ස්ථිර සාර ස්වභාවයට විරුද්ධ ස්වභාවයෙකි. ස්ථිර සාර ස්වභාවයක් නැති බව සංස්කාරයන් ගේ අනාත්ම ලක්ෂණය ය. අනාත්ම ලක්ෂනයෙන් යුක්ත වන බැවින් සංස්කාරයේ අනාත්මයෝ ය.
අනුපස්සනා තුන.
“අනිච්චානුපස්සනා - දුක්ඛානුපස්සනා - අනත්තානුපස්සනා” යි අනුපස්සනා තුනෙකි. අනුපස්සනා යනු භාවනාව ය.
රූපය අනිත්‍යය, වේදනාව අනිත්‍යය යනාදීන් නාම - රූපයන් හා ඒවායේ අනිත්‍යතාව නැවත නැවත සිත සිතා නුවණින් බැලීම අනිච්චානුපස්සනාව ය. තවත් ක්‍රමයකින් කියත හොත් අනිත්‍ය භාවනාව ය.
රූපය දුකෙකි. වේදනාව දුකෙකි යනාදීන් නාමරූපයන් හා ඒවායේ දුඃඛ ලක්ෂණය නැවත නැවත සිතා බැලීම දුක්ඛානුපස්සනාව ය.
රූපය අනාත්මය, වේදනාව අනාත්මය යි නාම - රූපයන් හා ඒවායේ අනාත්ම ලක්ෂණය නැවත නැවත සිතා බැලීම අනත්තානුපස්සනාව ය.
කාංක්ෂාවිතරණ විශුද්ධිය ඇති කර ගත් යෝගාවචරයා විසින් ඉදිරියට කළ යුත්තේ, සංස්කාරයන් අනිත්‍යාදි වශයෙන් නැවත නැවත සිහි කිරීම් - බැලීම් වශයෙන් භාවනාවෙහි යෙදීම ය. තවත් ක්‍රමයකින් කියත හොත් ත්‍රිලක්ෂණ භාවනාව කිරීම ය. එය කිරීමෙහි දී සංස්කාරයන් එකින් එක ගෙන ඒවායේ අනිත්‍යාදි ලක්ෂණ බලන්නට ගිය හොත් එය ඉවර කළ නො හෙන වැඩක් බැවින් එසේ ද නො කළ යුතු ය. සකල සංස්කාරයන් ම එක වරට ම සිතින් ගෙන ඒවායේ අනිත්‍යාදිය සිතුවත් සංස්කාර ඉතා බොහෝ බැවින් පිරිසිදු වැටහීමක් ඇති කර ගත නො හැකි ය. එබැවින් සංස්කාර විදර්ශනා කරන යෝගාවචරයා විසින් ස්කන්ධාදි ක්‍රමවිල්න ඒ ඒ සංස්කාරයන් කලාප වශයෙන් ගෙන, රූපය අනිත්‍යය - වේදනාව අනිත්‍යය යනාදීන් නොයෙක් ක්‍රමවලින් විදර්ශනා කළ යුතු ය. සංස්කාරයන්ගේ අනිත්‍යාදි ලක්ෂණ තුන හොඳින් වැටහුණු පසු, ඒ නාම රූපයන්ගේ ඉපදීම් බිඳීම් දෙක බැලීමට පටන් ගත යුතු ය. එය මේ මේ හේතූන් ඇති කල්හි මේ මේ ධර්ම වෙනවාය හේතු නැති කල්හි නැති වෙනවාය කියා හේතූන් අනුව ද කළ යුතු ය. හේතූන් අපේක්ෂා නො කොට නාම රූපයන්ගේ ඇති වීම් නැති වීම් බැලීම ද කළ යුතු ය. සංස්කාරයන්ගේ ඉපදීමට ‘උදය’ යි ද බිඳීමට ‘ව්‍යය’ යයි ද කියනු ලැබේ. සංස්කාරයන්ගේ ඉපදීම් බිඳීම් දෙක බලමින් ඉන්නා යෝගාවචරයා හට උදයව්‍යය ඥානය දියුණු තියුණු වන කල්හි විදර්ශනෝපක්ලේශයෝ පහළ වෙති.