කාංක්ෂා විතරණ විශුද්ධිය

“මේ නාම - රූප කෙසේ ඇති වී ද, මේවා මෙසේ ම අතීතයේදීත් තුබුණා ද, අනාගතයේ දීත් ඇති වෙනවා ද” යනාදි සැකයන් දුරු කරන නාම-රූපයන් ගේ උත්පත්ති හේතූන් දන්නා වූ ඥානය කාංක්ෂා විතරණ විශුද්ධි නම් වේ.

නාම රූපයන් ගේ තතු සොයා ගැනීමෙන් දෘෂ්ටි විශුද්ධිය ඇති කර ගත් යෝගාවචරයා හට දැන් කරන්නට ඇත්තේ කාංක්ෂා විතරණ විශුද්ධිය ඇති කර ගැනීම පිණිස නාම - රූපයන් ගේ ප්‍රත්‍ය සෙවීම ය. එය සංක්ෂේපයෙන් ද කළ හැකි ය. විස්තර වශයෙන් ද කළ හැකි ය. චක්ෂුරාදි වස්තූන් හා රූපාදි ආරම්මණයන් නිසා චක්ෂුර්විඥානාදි නාමයෝ ඇතිවන්නාහ යි ද, චිත්ත - සෘතු - ආහාරයන් නිසා රූපයෝ ඇති වන්නාහ යි ද, අවිද්‍යා - තෘෂ්ණා - උපාදාන - කර්ම යන මේවා නිසා නාම - රූප දෙකොටස ම ඇති වන්නේය යි ද සලකා ගැනීම, කොටින් නාම - රූපයන් ගේ ප්‍ර‍ත්‍යය සලකා ගැනීම ය. මෙහි අට වන පරිච්ඡේදයෙහි දැක් වූ පටිච්චසමුප්පාද ක්‍ර‍මය, ප්‍ර‍ත්‍යය සලකා ගැනීමේ විස්තාර ක්‍ර‍මය ය. ආදිකර්මිකයන් විසින් ප්‍ර‍ස්ථාන ක්‍ර‍මයෙන් ප්‍රත්‍යය සොයන්නට නො යා යුතු ය. එය ඔවුනට අවිෂය ය.

නාම - රූපයන්ගේ ප්‍ර‍ත්‍යයන් විමසන්නා වූ යෝගාවචරයාහට නාම - රූප ධර්ම සමූහය සම්පූර්ණයෙන් ම ප්‍ර‍ත්‍යයෙන් හට ගන්නා බව පෙනීමෙන් අහේතුක දෘෂ්ටිය ප්‍ර‍හීණ වේ. ඒ ඒ නාම - රූප ධර්මය ඇතිවීමට නිසි හේතුවන් ම මිස, අනික් ආකාරයකින් ඒ නාම - රූපයන් ඇති නො වන බව පෙනීමෙන් මේ නාම රූපයන් දෙවියන් විසින් මවනවා ය, කාලය විසින් ඇති කරනවාය, යනාදීන් පවත්නා විෂම හේතු දෘෂ්ටිය ද ප්‍ර‍හාණය වේ. නාම - රූපයන් ගෙන් අන්‍ය වූ කර්ම කරන්නකු හා විපාක විඳින්නකු ඇතය යන දෘෂ්ටිය ද ප්‍ර‍හීණ වේ. අනවරාග්‍ර‍ සංසාරයෙහි හේතු - ඵල පරම්පරා වශයෙන් නාම - රූප දෙක, ඇති වීම දැකීමෙන් මම අතීතයෙහි දීත් වූයෙම් ද, අනාගතයෙහි ඇති වන්නෙම් ද” යනාදීන් පවත්නා සැක දුරු වේ. බුදුරජාණන් වහන්සේ ගේ දේශනය සත්‍ය බව පෙනීමෙන් බුද්ධාදි අට තැන්හි ඇතිවන සැකය දුරු වේ.